බණ්ඩාර වන්නියන්ගේ 221 වැනි ගුණ සමරුව වවුනියාව ස්මාරකය අබියසදී

29

බි්‍රතාන්‍ය පාලන සමයේ අවසන් දෙමළ රජු මෙන්ම ප්‍රාදේශීය පාලකයා වශයෙන් සලකනු ලබන බණ්ඩාර වන්නියන්ගේ 221 වැනි ගුණ සමරුව වවුනියාවේ පිහිටි බණ්ඩාර වන්නියන් ස්මාරකය අබියසදී 25 වැනිදා සමරනු ලැබීය.

වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි බණ්ඩාර වන්නියන්ගේ ස්මාරකයට විශාල පිරිසක් මල්දම් පළඳවා පහන් හා ඉටිපන්දම් දල්වා බණ්ඩාර වන්නියන් විසින් වන්නි පළාතට සිදු කරන ලද සේවාව අගය කළේය.

වන්නියේ අවසන් පාලකයා ලෙසත්, අවසන් දෙමළ රජු ලෙසත් හඳුන්වා දෙනු ලබන බණ්ඩාර වන්නියන් විසින් එකල මුලතිව්හි පිහිටා තිබූ බි්‍රතාන්‍ය බලකොටුව අත්පත් කරගැනීමේ ජයග්‍රාහී දිනය වන්නේද අගෝස්තු මස 25 වැනිදාය.

ලන්දේසි යුගයේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීම හේතුවෙන් ඕලන්ද පාලකයෝ බණ්ඩාර වන්නියන් ඔහුගේ තනතුරෙන් නෙරපා දැමීමට කටයුතු කළ අතර 1796 දී බි්‍රතාන්‍ය පාලකයින් විසින් ඔහුට යළි ප්‍රාදේශීය පාලක තනතුර ලබා දී ඇත.

නමුත් පසුකාලීනව බි්‍රතාන්‍ය ජාතිකයින්ව ශ්‍රී ලංකාවෙන් පලවා හැරීමේ අරගලයට බණ්ඩාර වන්නියන් පූර්ණ සහයෝගය ලබා දී ඇති අතර විශාල සේනාවක් රැස්කරගත් බණ්ඩාර වන්නියන් 1803 වසරේ දී අගෝස්තු මස 25 වැනිදා සේනාවක් සමග පැමිණ බි්‍රතාන්‍යයන්ට එරෙහිව සටන් කර මුලතිව් බලකොටුව අත්පත් කරගනිමින් විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. බණ්ඩාර වන්නියන් විසින් බි්‍රතාන්‍යයන්ගෙන් රාජ්‍ය බලය ලබාගත් අගෝස්තු 25 වන දින ජයග්‍රාහී දිනය ලෙස සැමරීම සෑම වසරකම සිදු කරනු ලබන අතර වවුනියාවේ හා මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශයේ ඉදිකොට ඇති බණ්ඩාර වන්නියන් ස්මාරකය අබියසදී ගුණ සමරු උත්සව එදා සිට මේ දක්වාම පැවැත්වේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment