බත් දුන් පියා සහ වැට් දුන් පියා!

564

මේ සතිය ආරම්භ වූයේම සිත් පිත් නැති ආකාරයකටය. ඒ මේ රටේ ලක්ෂ දෙසිය විස්සකට නො අඩු ජනතාවගෙන්, අතිමහත් බහුතරයක් කොක්කේ එල්ලා තැබෙන හිතක් පපුවක් නොමැති වැට් බද්දක් වැඩි ඡන්දයෙන් සම්මත කරමින්ය. කොහොමටත් ආණ්ඩුව ඔළුගෙඩි සංඛ්‍යාව අනුව ශක්තිමත් යැයි කිව හැකිය. ඒ නිසා ආණ්ඩුවට ඕනෑ ඕනෑ විධියට පනත් සම්මත කර ගැනීමට බාධාවක් නැතැයි ඔවුන් කල්පනා කරනු ද විය හැකිය. එහෙත් ඒවාට වන්දිත් සමග ගෙවීමට සිදුවන දවසක් ද එන බව ආණ්ඩුවල සියල්ලෝම මතක තබා ගත යුතු වෙති. මේ රට තිබෙන්නේ අන්තිම අසීරු අඩියකය. රටවැසියාගෙන් විශාල ප්‍රතිශතයක ඉරණම ද ඉතා දුක්බරය. එබඳු අසීරු අවස්ථාවක් බැරෑරුම්ව වටහා ගෙන කිසියම් ජාතික පොදු වැඩපිළිවෙළක් සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට ආණ්ඩුවට හා විපක්ෂවලට නොහැකි විය. එයට බොහෝ හේතු සාධක ද දැක්විය හැකිය. ඉතා සැකෙවින් කිවහොත් අපේ දේශපාලනයේ පදනම ඊළඟ පරම්පරාව නොව ඊළඟ මැතිවරණය ජය ගැනීමය. ඒ පිළිබඳව ඊට වඩා කතා කළ යුතු නැත. ඒ කුමක් වුවත් මේ ආණ්ඩුවේ නොසණ්ඩාල ගමන ගැන කලකිරීමට වඩා කුපිත වූ ජනතාවක් සිටින බව නම් නිසැකය.

ආණ්ඩුවට හිතක් පපුවක් නැතැයි යන චෝදනාව නඟන්නේ අප නොව මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කතිරය ගැසූ අය ඇතුළු විවිධ ජන කොටස්ය. මේ සතියේදී සම්මත කරන ලද අලුත් වැට් බද්ද පිළිබඳව සාමාන්‍ය ජනතාව විසින් දක්වන ලද අදහස වූයේ එය අන්ත දුෂ්ට හා සාහසික ප්‍රහාරයක් බවය. පොදු වෙළෙඳපොළේදී මාධ්‍යවේදියකුගේ මයික්‍රෆෝනයකට එක් අයෙක් ලබාදුන් පිළිතුර වූයේ “ආණ්ඩුව මිල වැඩි කරන්නේ පුළුවන් නම් කාල වරෙල්ලා” කියන ආකාරයට බවය. ඒ ජන විඥානය තුළ ඇත්තේ ජීවන ගැටලු හා දරිද්‍රතාව විසින් කුළුගන්වන ලද තියුණු කෝපයකි. ආණ්ඩුව වෙනුවෙන්ම කතා කරන හා ලියන අයට ඒ පාලනය ගැන විවේචනයක් තිබිය නොහැක. එහෙත් කිසිදු ළතෙත් බවක් නොමැතිව නිරන්තරවම ඉහළ යන මිල ගණන් සමග කඹුරමින් ජීවත් වන අය ගැන ආණ්ඩුවට වගේ වගක් නැත. එදා සමගි පෙරමුණු පාලන සමයෙහි ඇති වූ ආහාර හිඟය හා භාණ්ඩ මිල ඉහළ යෑමේදී තාප්පවල ඇලවුණු එක් පෝස්ටරයක සඳහන් වූයේ “කන්නේ තොපේ කැවුතුද?” යනුවෙනි. අදත් සමාජ මාධ්‍යවල ප්‍රතිචාර ඊටත් වඩා දැඩිය. ඇතැම්විට ප්‍රචණ්ඩකාරී ද වේ.

2024 අයවැය විවාදයට මාසයකටත් වැඩි කාලයක් ගත වුවත් එහිදී අයවැයට වඩා විවාදයට ලක් වූයේ වෙනත් කරුණුය. ආණ්ඩුවේ ප්‍රමුඛතම හා ආර්ථික දේශපාලන දිශාන්තය සනිටුහන් කරනු ලබන ලේඛනය අයවැය වුවත් මේ විවාදයට උදාසීන ඇල්මැරුණු එකක් බව අපගේ විවේචනයයි. ඒ කාලයේදී පාර්ලිමේන්තුව උණුසුම් වූයේ අයවැයට අදාළව නොව වෙනත් දේශපාලන ප්‍රතිචාර නිසාය. ඒ පිළිබඳව සමාජ දේශපාලන අංශවල ප්‍රාමාණිකයන්ගේ විවේචනය වූයේ රටේ දේශපාලන සදාචාරය පිරිහී තිබෙන බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වටිනාකම් හා මූලධර්ම පවා අනතුරකට ලක්ව තිබෙන බවය. රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ප්‍රමුඛ කණ්ඩායමකට වගකීම පටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගැන විපක්ෂය මතු කළ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව කැළඹීමකට පත් කිරීමට ද හේතු විය.

කෙසේ හෝ අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රමුදිතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වී තිබිණි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලංකාවට ලබාදීමට එහි බලධාරීන් තීරණයකට එළඹී සිටීම නිසාය. එසේම ආන්දෝලනාත්මක වැට් බදු සංශෝධනය නිසා ජනතාවට සිදු වී තිබෙන ගැටලු හා දුෂ්කරතා ගැන ද ජනාධිපති රනිල් සිහිපත් කළේය. එහෙත් ජනාධිපතිවරයා සඳහන් කළේ වැට් නිසා එක් කණ්ඩායමක් අසීරුතාවකට පත් වී සිටින බවය. ඒ අදහස ජනාධිපතිවරයාගේ ද නැතහොත් ඔහුගේ කතා සම්බන්ධයෙන් උපදෙස් දෙන වෙනත් අයකුගේ දැයි අපි නොදනිමු. එසේ වුව ද ඒ අසීරුතාව මෙරටේ අතිමහත් බහුතරයකට තිබෙන බව නම් සෘජුවම සඳහන් කළ යුතුය. ආණ්ඩුව දිගින් දිගටම කළේත් තවමත් කරමින් සිටින්නේත් මේ රටේ සමස්ත බහුතර ජනතාව පිට ආර්ථික බර පැටවීමකි.

මේ වනවිටත් වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ගුරු ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් විසින් බදු බර ලිහිල් කරන්නැයි වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටිති. රාජ්‍ය හා වෙනත් ආයතනවල ජනතාව රු. 20,000 ක දීමනාවක් ඉල්ලා විරෝධතා දක්වති. මේ කිසියම් වැටුපක් ආදායමක් තිබෙන කොටස්ය. එහෙත් කුඩා කර්මාන්ත, ස්වයං රැකියා මෙන්ම දෛනික වැටුපකට ජීවිතය දිය කරන ජනතාවගේ ඉරණම කුමක්ද? කොළඹ සිට ගම දෙස බලන වරප්‍රසාද සහිත පන්තියට ගමේ ඇතුළත ගිනි, පීඩා නොපෙනීම පුදුම නැත. විධිමත් ලෙස සිදු නොවූවත් ජනසවිය, සමෘද්ධි මෙන්ම මේ ආණ්ඩුවේ අස්වැසුම ද ආර්ථික වශයෙන් පීඩාවට පත් ජන කොටස් ඉලක්ක කර ගත් සුබසාධන කටයුතු බව ජනාධිපති නොදැන සිටිය නොහැක. ආණ්ඩුවේ වැට් බද්ද මේ ජන කොටස්වලට දරාගත නොහැකි, ඔවුන්ට ඔරොත්තු දෙන යෝජනාවක් බව රටේ නායකයා පළමුව වටහාගත යුත්තකි. ජනාධිපති රනිල් අසංවේදී දේශපාලනඥයෙක් බවට දැඩි විවේචනයක් තිබේ. එ. ජා. ප. යේ සිටි ඩඩ්ලි සේනානායක පන්නයේ නායකයන් ගැන අදත් ජනතාව සිහි කරන්නේ දෙවිවරුන් ලෙසය.

බත් දුන් පියා සහ වැට් දුන් පියා!

මෙරටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එයට මුහුණ දී රට භාර ගැනීමට ධෛර්යක් අද කතා කරන වීරයන්ට නොවූ බව ජනාධිපති රනිල් සිය විශේෂ ප්‍රකාශයේදීත් සඳහන් කර තිබිණි. එසේම ඔහුගේ ආර්ථික සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයත් යන කරුණු මත පදනම් වී තිබෙන බව ද ඔහු පවසා ඇත. ජනාධිපති රනිල්ට රාජපක්ෂවරුන් විසින් ඇති කළ ආර්ථික අර්බුදයත්, ඒ සමගම හිස ඔසවමින් තිබුණු අරාජිකත්වයත් කළමනාකරණය කිරීමට හැකි වූ බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් අද මේ රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයත්, සමාජ දේශපාලන ආර්ථිකයත් සම්බන්ධයෙන් තිබෙන විවේචන බරපතළය. ඔහුට සහාය දෙන පොහොට්ටුවේ ඔළුගෙඩි සංඛ්‍යාව මෙන්ම හමුදා පොලිසිය ද මෙහෙයවීමට ද ඔහු සමත්ව සිටියි. එහෙත් ජනතාවගේ පැත්තෙන් බලන දේශපාලනයක් ඔහුට නැත. සත්තකින්ම ජනාධිපති රනිල් ඇතුළු මේ ආණ්ඩුවේ බහුතරයක් දුප්පත් ජනතාවගේ ආහාර වේල ගැන කල්පනා නොකරති.

දේශපාලන ලෝකයේ සුප්‍රකට චරිතයක් වූ මාවෝ සේතුං විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් තිබේ. පරිමාණ යුද්ධයකින් ලෝක ජනගහනයෙන් සියයට අනූවක් මියගියත් ඉතිරි වන සියයට දහයෙන් වුව ද සමාජවාදය ගොඩනංවන බවකි. ඒ න්‍යාය අනුව යමින් දුප්පත් ජනතාව මැරෙන්ට හැර, දුප්පත්කම හා විරැකියාව ද නැති කර ඉතිරි වන එවුන් සමග සෞභාග්‍යවත් රටක් හැදිය හැකි යැයි කවුරුන් හෝ ජනාධිපතිට ලණුවක් දී තිබේ දැයි නොදනිමු. වැට් බදු පැනවිය යුතු භාණ්ඩ අතර ගොවි උපකරණ, පොහොර මෙන්ම තවත් දේවල් ද වේ. මෙරටේ ගොවීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 70 ක් පමණ වේ. ගොවියාගේ උදැල්ලට වැට් බදු ගහන ආණ්ඩුවක කෘෂිකර්ම ඇමැතිවරයා ලැජ්ජා විය යුතුය. ගොවි ගෙදර පමණක් නොව ගම්බද බොහෝ ගෙවල්වල කැත්ත, උදැල්ල මන්නාපිහිය වැනි දේවල් තිබේ. ඒවාත් වැට් බද්දට අයත් දැයි නොදනිමු. කොහොම හරි බුලත් මඩිස්සලේත් හුණු කිල්ලෝටයත් වැට් චක්‍රවර්තීලාට අසු වී නැති බව පෙනේ.

අයවැය විවාදයේ සමාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති රනිල් ඔහුගේ ප්‍රියතම උපුටා ගැනීම් යළිත් සිහිපත් කර තිබේ. ජගත් කීර්තිධර නාට්‍යවේදී බර්ටෝල්ඩ් ටේ‍රෂ්ට්ගේ ද කොකේෂියන් චෝක් සර්කල් ඇසුරින් හෙන්රි ජයසේන අනුවර්තනය කළ “හුණුවටයේ කථාවේ වැල්පාලමේ” ගීතය ද ජනාධිපති යොදා ගන්නේ අපට ද අයිඑම්එෆ් හැර වෙනත් මගක් නැති බව කීමටය. ගෲෂා සිය පුතුට කියන්නී “අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ” යනුවෙනි. ගෲෂා යනු හුණුවටයේ එන ප්‍රබල මෙන්ම ජනාදරය දිනූ චරිතයකි. ඇය දැඩි සෙනෙහසින් හදා ගත් දරුවා සිය මවට දීමට නොරිසිවන්නීය. රජගෙදර සේවිකාවක වූ ඇයට ඒ දරුවා හිමි වූයේ රජ බිසවක වූ දරුවාගේ මව මාලිගාවෙන් පලා යද්දී (කැරැල්ලක් නිසා) දරුවා එහි දමා යෑම නිසාය. රජ බිසව ආපසු දරුවා සොයා එන්නී රාජ්‍ය උරුමය බව සතුවීම නිසාය. බ්‍රෙෂ්ට් මේ මානුෂික පුවත ධනවාදී සමාජයක නග්න විලාසය, නීතියේ දූෂිත බව පෙන්වා දීමට උපයෝගි කර ගත්තේය. එය ගැඹුරු සමාජ විවරණයක් සේ පැසසුමට ලක්වූ නාට්‍යයක් ද වේ. වෙළෙඳපොළට යටවී ගිය මානව වටිනාකම් නිසා ඇති වන සමාජ ඛේදවාචකය පෙන්වා දීමට බ්‍රෙෂ්ට්ට වුවමනා විය.

දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු
කී ලෙස දන පොරණ
ලැබිය යුතු අයමය ලැබිය යුතු

මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
රියැදුරු මනාව
ලැබිය යුතුමය අස්රිය

මව්ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවිදන මනා වූ
දිනිය යුතු සේම ගම් බිම්

බ්‍රෙෂ්ට් පෙන්වා දෙන මෙම සත්‍යය යටපත් කර තමන්ගේ කූට බුද්ධියට සරිලන උපුටා ගැනීම් කිරීම නොමනා බව ද කිව යුතුය. යුක්තිය හා සාධාරණය උදෙසා සිය නිර්මාණ භාවිතා කළ බ්‍රෙෂ්ට් මාක්ස්වාදී කලාකරුවෙකි. ඔහු තත්කාලීන සමාජය වසා ගත් වෙළෙඳ වටිනාකම් හෙලා දුටුවේය. (මේ බ්‍රෙෂ්ට්ගේ අවධාරණයයි what I have seen in mankind’s markets, I have seen how humanity is traded, then I show)

හුණුවටය නැරඹූ ප්‍රේක්ෂකයෝ ද බ්‍රෙෂ්ට්ගේ තියුණු උත්ප්‍රාසනීය දේශපාලන ඇඟවීම් දනිති. නිසැකයෙන්ම අද අප දකින්නේ සුදුස්සාට, ලැබිය යුත්තාට බොහෝ දේ අහිමි කිරීමය. මිනිසාගේ වේදනාත්මක ඉරණමට හේතු ඔහු පෙන්වා දෙයි. “දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු” යන්නත් මාක්ස්වාදී පාඨයකි.

මේ අනුව වත්මන් සමාජ ආර්ථික හා දේශපාලන පරිහානියට හේතු වී ඇත්තේ සමාජ ආධිපත්‍ය රඳවා ගෙන සිටින වැඩවසම් ප්‍රභූ පැළැන්තිය බව ඉතා පැහැදිලිය. ඔවුහු සියල්ල තමන් සතුකර ගැනීමේ නොමනා තෘෂ්ණාවෙන් ගිලන්ව සිටින්නෝය. ඔවුහු සමජීවකතා සංකල්පයෙහි සතුරෝය. ඔවුන්ගේ පාලනය පවත්වා ගත හැක්කේ මර්දනය, මෙන්ම මානව හිමිකම් ද නිර්දය ලෙස මර්දනය කිරීමෙන් බව ආණ්ඩුව දනී. ඒ වෙනුවෙන් රැගෙන ආ පනත් ගණනාවක්ම ජනතා විරෝධය නිසා මග හිර වී තිබේ.

කෙසේ හෝ මෙවර ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය නිදහස් කිරීමේදීත් මූල්‍ය ආයතන නිලධාරීන් විසින් දූෂණ විරෝධී ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කර තිබිණි. විනිවිදභාවයෙන් යුතු දූෂණ විරෝධී කොමිසමක් ආර්ථික ප්‍රතිපත්තියට අත්‍යවශය බව ඔවුන්ගේ අවධාරණය වී ඇත. කුමක් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් පිරිසකට ලබා දෙන ලද තීන්දුව මේ නිලධාරීන් නොදැන සිටීමට හේතුවක් නැත. ආර්ථිකය බිඳ වැටීමේ වගකීම රට පාලනය කළ අයට පැවරීම බරපතළ කාර්යකි. ඇත්ත වශයෙන්ම ගෝඨාභය යුගයේදී පවා දූෂණ ගනුදෙනු සිදු වී ඇති බව කියති. ඊට පෙර රාජපක්ෂ සහෝදරයන්ගේ ක්‍රියාකාරකම් ගැන ද විවේචන ඇත. මේවාට උඩින් පනිමින් රනිල්ට තමන් රවටාගත හැකිය. මේ අවුලේ වගකීම්වලින් රාජපක්ෂ පාලනය නිදහස් නැති බව ද ජනාධිපති රනිල් ජාත්‍යන්තර මාධ්‍යවේදිනියකට ද පවසා තිබේ. මේ අතරම විදුලිබල මාෆියාවේ දූෂිතයන් රැකීමට ආණ්ඩුවට අවශ්‍යද? යන සැකයක් ද වේ. සූර්යබල ව්‍යාපෘතියක් සිදු නොවූයේ නිලධාරි මැදිහත්වීමකින් බව ජනාධිපතිවරයා ද තහවුරු කර ඇත. ඒ ජා. ජ. බ. නායක අනුර කුමාර විසින් විදුලි ව්‍යාපෘතියක් පසුපස ආණ්ඩුවේ ප්‍රබලයකු ද සිටින බවට කළ විවේචනයකදීය. මේ විදුලිබල මාෆියාව ගැන වෙනත් අය ද චෝදනා කරති. මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිට ගෙදර යෑමට පවා සිදුවූයේ මේ නිලබල ප්‍රබල නිසාය.

2024 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන වැට් බදු සංශෝධන පනතට කථානායක අත්සන් කිරීමටත් පෙර වෙළෙන්දෝ එය ක්‍රියාත්මක කළ බව වෙළෙඳපොළ ආරංචි තහවුරු කරයි. ජනවාරියේ අඩු වේ යැයි කියන විදුලි බිල ජනතාවට හොඳ පුවතකි. එහෙත් මේ දෙසැම්බර් මාසය තුළ උග්‍ර වී තිබෙන භාණ්ඩ මිල ජනතාව කබලෙන් ලිපට දැමීමකි. වෙළෙඳ හා කෘෂිකර්ම ඇමැතිවරුන්ගේ විහිළුවලට අපට සිනාසිය නොහැකි වුවත් ගංවතුරක් මෙන් නගින බඩු මිල පාලකයන්ගේ නොහැකියාව මෙන්ම අසංවේදී බව ද යළි යළිත් තහවුරු කරන්නකි. වසරක් ගෙවී අලුත් වසරක් එළඹීම මැති ඇමැතිවරුන්ට මහත් උත්කර්ෂයකින් පිළිගැනීමට සූදානම්ව සිටින බව ද කියති. සමහරුන්ට රටින් බැහැරව මේ කරච්චලවලින් මිදිය හැකි වුවත් අඩුම තරමින් බතක් සමග හොද්දක් හදා ගැනීමට බැරි අයත් මේ රටේ සිටිතියි අපි බලධාරීන්ට මතක් කරමු. රට දැන් බංකොලොත් නැතැයි උදම් ඇනිය හැකි තත්ත්වයක් ඇත්තේ කීයෙන් කී දෙනාටද? බදු හොරුන්, බැංකුවලට පොලු තැබූ චෞරයන් බෙහෙත්වලින් ගසා කමින් අහිංසකයන් මරු කටට තල්ලු කළ වසලයන් ඇතුළු පාදඩයන්, මැරයන් කමින්, බොමින්, සාද සුව විඳිමින් සිටිද්දී වැට් බදු කුරුසියට තබා ඇණ ගැසූ අහිංසකයන්ට තවත් කොපමණ කලක් මෙසේ කඹුරන්ට සිදු වණු ඇද්ද? ඒ කුමක් වුවත් තිබුණු ජන දුකට උණු වන හදක් තිබුණු ඩඩ්ලි සේනානායක හාල් සේරුව නොමිලේ ලබාදී බත් දුන් පියා විය. එහෙත් මේ වර්ගයේ දැඩි වැට් බදු ජනතාවට පැටවීමෙන් ජනාධිපති රනිල්ට කිසිවෙක් වැට් දුන් පියා යැයි සරදම් කිරීමට ද බැරි නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment