බද්දට එරෙහිව වරාය එළියට

137

අසාධාරණ ලෙස බදු පනවමින්, වෘත්තිකයන් තළා පෙළා දැමීමේ ආණ්ඩුවේ තීරණයන්ට විරෝධය පළ කරමින් ඊයේ (30දා) කෑම පැයේදී වරාය සියලු වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාව හේතුවෙන් වරාය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද පැවැති අතර, වරාය කටයුතු රැසක්ද අඩපණ විය. විරෝධතාව සඳහා එක්ව සිටි වරාය සේවකයෝ බහුතරයක් වැඩබිම් ඇඳුමින්ම විරෝධතා පුවරු රැගෙන වරාය ඇතුළත සිට පිටතට පැමිණි අතර පෙළපාලියක ගමන් ගනිමින් විරෝධතාව දැක්වූහ.

මෙම විරෝධතාව හේතුවෙන් වරාය ප්‍රදේශය ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත් අතර වරාය ප්‍රධාන පිවිසුමේ සහ ඛාන් ඔර්ලෝසු කණුව අසල විශේෂ පොලිස් ආරක්‍ෂක වළල්ලක්ද යොදවා තිබිණ.

මෙහිදී වෘත්තීය සමිති නායකයන් විශාල පිරිසක් ප්‍රකාශ කළේ රජය මෙම අසාධාරණ බදු පනත හකුළා නොගන්නේ නම් පළමුව වරාය සේවකයන් මුල්වී වැඩ වර්ජනයකට යොමුවන අතර එයට සෙසු වෘත්තිකයන්ද සම්බන්ධකර ගනිමින් දැවැන්ත විරෝධතාවයක් මෙන්ම වැඩවර්ජනයක් දක්වාම ක්‍රියාත්මක කරන බවයි.

මෙම දැවැන්ත උද්ඝෝෂණය සඳහා වරාය සියලු වෘත්තීය සමිති, පක්‍ෂ පාට භේදයකින් තොරව එක්ව සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.
සුජීව තත්සර සහ නිමල් දයාරත්න – පිංතූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment