වෙන පළාත්වල කුණු අපේ ගමට එපා – වැයිහේනේ පවර හිමි
බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සංවර්ධන සැලැස්ම යටතේ, බද්දේගම – මහලපිටිය ග්‍රාම නිලධාරී වසමේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීම සහ කසළ කළමනාකරණ අංගනය සඳහා ගම්වාසීන් විසින් නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර තිබූ ලිඛිත විරෝධතා සහ සංශෝධන පිළිබඳ ස්ථානයීය පරීක්ෂණයක් නාගරික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ මධුකා තාමරසී මහත්මියගේ සහභාගීත්වයෙන් බද්දේගම මහලපිටියේදී ඉකුත් 06 දා සිදු කෙරිණ. යෝජිත ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කළහ.
එහිදී අදහස් දැක්වූ මහලපිටිය ශ්‍රී මහින්දාරාමාධිපති පූජ්‍ය වැයිහේනේ පවර හිමියන් කියා සිටියේ මීට පෙර අවස්ථාවකද මෙම ස්ථානයට කසළ ගෙනැවිත් දැමීමට බද්දේගම ප්‍රාදේශීය සභාව උත්සාහ කළ බවත්, එම අවස්ථාවේ ගම්වාසීන්ගේ දැඩි විරෝධය නිසා නතර කළ බවයි. වෙනත් ප්‍රදේශවල කුණු මෙම ස්ථානයට ගෙනැවිත් දැමීමට, ස්වාමීන් වහන්සේ ලෙස සහ ගම්වාසීන් වෙනුවෙන් බලවත් විරෝධය පළ කරන බවයි.
ජල මූලාශ්‍ර ආශ්රිත කඳු සහිත ප්‍රදේශයකට කසළ බැහැර කිරීම මගින් ප්‍රදේශයේ පවතින ස්වභාවික ජල මූලාශ්‍ර අපිරිසිදු වීමේ දීර්ඝ කාලීන අවධානමක් තිබෙන බව උද්ඝෝෂකයෝ කියති. ජන ජීවිතයට එල්ලවන දැඩි බලපෑම නිසා කසළ ව්‍යාපෘතියට විරෝධය පළ කරන බවද එම අවස්ථාවට සහභාගී වූ ගම්වැසියෝ සඳහන් කළහ.
බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පිළගොඩ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 762කට ආසන්න රජයේ ඉඩමක්, කොම්පෝස්ට් ආශ්රිත ව්‍යාපෘතියකට පෞද්ගලික සමාගමකට දීර්ඝකාලීනව බදුදී ඇති බවත්, කසළ ව්‍යාපෘතිය සඳහා එම පරිශ්‍රය යොදා ගන්නා ලෙසද ගම්වාසීන් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කළේය.
පිළගොඩ ප්‍රදේශයේ ඉඩමද, නිරීක්ෂණය කර සහ මහජන අදහස් විමසීමෙන් පසු කෙටුම්පත සංශෝධනය පිළිබඳ තීරණයක් ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්යක්ෂ මධුකා තාමරසී මහත්මිය එහිදී සඳහන් කළාය.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු වන ශාන්ත ඉලේපෙරුම, රංජිත් රෝහිත යන මහත්වරුද, බද්දේගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ බලාත්මක සැලසුම්කරු ශිරෝමා රංජනී යන මහත්ම මහත්මීන් සහ ගම්වාසීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
බද්දේගම – ඕෂධ ගමරත්න