බදු නොගෙවූ සමාගම් ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ

60

බදු පීඩනය මුදා හැරිය යුත්තේ ධනවත්ම ව්‍යාපාරික පැලැන්තියට මිස වෘත්තිකයන්ට නොවෙයි – දුමින්ද නාගමුව

බදු පීඩනය මුදා හැරිය යුත්තේ ප්‍රකෝටි ගණන් ලාභ ලබන ධනවත්ම ව්‍යාපාරික පැළැන්තියට මිස සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කර්මාන්තකරුවන්ට හෝ රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුපක් ගන්නා වෘත්තිකයන්ට නොවේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය.

උද්ධමනකාරී තත්ත්වය හමුවේ එදා ලක්‍ෂයක වටිනාකම අද රුපියල් හතළිස් දහස දක්වා පමණ අඩු වී ඇතැයි ද ඔහු කීවේය.

වත්මන් බදු සංශෝධන හරහා සිදුවන්නේ බුද්ධි ගලනය සිදුවී විශ්වවිද්‍යාල පද්ධතිය පවා වැසීයෑමේ අවදානමකට ලක්වීම යැයි ද කී නාගමුව මහතා අවුරුදු පහක් හයක් යන විට එම තත්ත්වය උදා වනු ඇතැයි ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ද රට හැර යෑමේ අවදානමක් නව බදු හරහා ඇති වී ඇතැයි ද හෙතෙම පැවසීය. බොයිලර් කුකුළන් බිහි කරනවා මෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි යැයි ද හෙතෙම පැවසීය.

නාගමුව මහතා මෙසේ ද කීවේය.

2020 වසරේ දී ලියාපදිංචි සමාගම් 60721කින් රුපියලක් හෝ ‘සමාගම් බදු’ ගෙවා තිබෙන්නේ සමාගම් පහළොස් දහස් හැට නමයක් පමණයි. ඒ කියන්නේ 75.2%ක් බදු ගෙවලා නෑ.

ඒ වගේම 2020 වැට් ලිපිගොනු 62765කින් රුපියලක් හෝ ගෙවා ඇත්තේ දහ දහස් හයසිය දෙකයි. අනිත් අය එකතු කරගත් වැට් පවා ගෙවා නෑ. 2021 වසරේ දී සමාගම් 105000කින් රුපියලක් හෝ සමාගම් බදු ගෙවා තිබෙන්නේ සමාගම් දහසය දහසක් පමණයි. මේවා අය කරගන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ වගේම වුවමනාවකුත් නෑ. කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ප්‍රබලම සමාගම් 100ක වාර්ෂික ශුද්ධ ලාභය කෝටි විසි දහසක් පමණ වෙනවා. එවැනි සමාගම්වලිනුයි බදු අය කර ගත යුත්තේ. ලෝකයේ එවැනි බදු අය කර ගත් අවස්ථාවලට උදාහරණ තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව තලා පෙළන්න හදන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන්වයි. මේක ඉතාම සාර්ථක බදු ප්‍රතිපත්තියක්. ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැසී යන ආකාරයේ බදු ප්‍රතිපත්තියක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ බදු ප්‍රතිපත්තියට විරුද්ධයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment