බදු බර වැඩි කළොත් පරම්පරා දෙකක කැරැල්ලක් එයි

181

මහාචාර්ය අමින්ද මෙත්සීල – කළමනාකරණ හා මූල්‍ය පීඨය වයඹ විශ්වවිද්‍යාලය

ඉතිහාසයේ බරපතළම ආර්ථිකයට මුහුණ දෙන්න වෙන්නෙ 2023 දී

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේදී සංකීර්ණ දේශපාලන ගැටලු මතුවී රටේ ආර්ථිකය තව තවත් අගාධයකට ගමන් කරන බව පවසන වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සීල වෙත්තසිංහ එය යළි මහජන නැගීටීමක් දක්වා වර්ධනය විය හැකි බව අනතුරු හඟවන්නේය. එවැන්නක් ඇතිවීමට බලපාන හේතු සාධක කවරේදැයි මෙතැන් සිට ඔහුගෙන් අපි සවිස්තරාත්මකව විමසමු.

● රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති එක්ක 2023 වසර මේ රටේ ආර්ථිකය මොනවගේ පැත්තකට ගමන් කරයිද ?

අපේ ඉතිහාසයේ තියෙන බරපතළම ආර්ථිකය තමයි 2023 වසරෙදි අපට මුහුණ දෙන්න වෙන්නෙ. ඒකට හේතුව අපේ ආර්ථිකය මේ වසරෙදි කරුණු දෙකක් මත යැපෙන්නෙ. එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙයි කියන බලාපොරොත්තුව. අනික ඒ සහයෝගය ලබාගන්න රජය වෙනස් කරපු ආර්ථික ප්‍රතිපත්ති. රජය 2023 ට ඉදිරිපත් කරපු අය වැය හරහා සියයට 63 වැඩිපුර ආදායමක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක ගන්න නම් රජය විශාල ලෙස ජනතාවගෙන් බදු ගන්න වෙනවා. එහෙම බදු ගන්න යද්දි ජනතාවගේ පැත්තෙන් යම් යම් විරෝධතා ඇතිවෙනවා. ඉතින් රජය ඒ තමන්ගෙ ආර්ථික ඉලක්ක වෙත යන්න අපොහොසත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත සහාය නොලැබීමේ සම්භාවිතාව වැඩිවෙනවා. ඒ නිසා රජයට සිදුවෙනවා එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න. අනෙක් පැත්තෙන් ජනතාවගේ මේ පීඩනය අවම මට්ටමක තියාගන්න. රජය පැත්තෙන් තියෙන විශාලම අභියෝගය ඒක. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් උද්ධමනය අඩුවුණා වගේ මොන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරත් මේ වෙද්දිත් දරාගන්න බැරි ආර්ථික පීඩනයක් ඇතිවෙලා තියෙන්නෙ. ඒ පීඩනය මේ මාසයෙන් පස්සෙ තවත් වෙන්න පුළුවන්. ඒ පීඩනයේ අවසානයේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමේ අවධානයක් තියෙනවා.

උද්ධමනයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිය මේ වගේ වෙලාවක රජය සියයට 63 ක විශාල ආදායමක් බදු මගින් උපයා ගැනීමට සැලසුම් කිරීම ආර්ථිකයට හානිකර වෙනස්කම් සිදුවෙන්න පුළුවන්ද?

රජය සෘජු බදු හරහා මේ ආදායම ලබා ගන්න බලන්නෙ එම බදු ගෙවන්නන්ගෙ ආදායම කිසිදු අයුරකින් වැඩි නොවුණු වටපිටාවක. අනික උද්ධමනය වැඩිවුණු පරිසරයක. එතකොට ඒ පුද්ගලයන්ගෙ තිබෙන වගකීම් වන බැංකු වලට ගෙවන්න තියෙන ණය, රක්ෂණ වාරික, ලීසිං ආයතන වලට ගෙවන්න තියෙන ඒවා මේ සියල්ල පැහැර හැරීමේ අවදානමක් තියෙනවා. මිනිස්සුන්ට ආදායමක් නැත්නම් සිදුවෙන්නෙ ඒක. ඒ හරහා විශාල ආර්ථික අවපාතයක් ඇතිවීමේ හැකියාවක් ඇතිවෙනවා. මේ නිසා සමස්ත ආර්ථිකයම කඩා වැටෙන්න පුළුවන්.

සුද්දගෙ කාලේ මිනිස්සු තලා පෙලා බදු අය කරගත්තා වගේ රජයේ මේ බදු ප්‍රතිපත්තිය වැරදියි කියන එකද ඔබේ අදහස ?

අපි කියන්නෙ බදු ප්‍රතිපත්තිය තියෙන්න ඕන සියයට 40 සෘජු බදු සහ සියයට 60 වක්‍ර බදු විදියට. නමුත් පහුගිය කාලේ ලංකාවේ තිබුණේ සියයට 80 කට වඩා වක්‍ර බදු. ඒ නිසා දිගින් දිගටම අපි තර්කයක් ගෙනවා මේ සෘජු බදු වැඩි කර යුතුයි කියල. සෘජු බදු වැඩිකරනවා කියන්නෙ ආදායම් බද්ද වැඩි කරනවා කියන එක. ආදායම් උපදවන පුද්ගලයන්ගෙන් රජය යම් ප්‍රමාණයක් ලාබ ගන්න ඕන වක්‍ර බදු වලින් උපයනවට වඩා. නමුත් මේ වෙලා තියෙන්නෙ වක්‍ර බදු අඩු වීමක් වුණේ නැහැ. වක්‍ර බදුත් වැඩි කරන ගමන් සෘජු බදු වැඩි කරල තියෙනවා. සෘජු බදු වැඩි කිරීමේදීත් කරන්න තිබුණේ බදු ගෙවිය හැකි පුද්ගලයන්ගෙන් සාධාරණ බද්දක් ගන්න එක මිසක් ඒ පුද්ගලයන්ගෙ බෙල්ල මිරිකල ගන්න පුළුවන් සියල්ල උදුරගන්න එක නෙමෙයි. කරන්න තිබුණේ බදු පදනම පුළුල් කරල මේ අනුපාතයන් යම් ආකාරයකට වැඩි කරන්න. හැබැයි මේ පාර වැඩි කිරීම ගත්තම සමහර ප්‍රතිශත සියයට හයසීයකින් විතර වැඩි වෙලා තියෙනවා. අනික මේ බදු ගැලපීම කරන්න තිබුණේ මේ ආර්ථිකය කඩා වැටීමට පෙර. එහෙම කරානම් මේ තරම් ගැටලුවක් වෙන්නෙ නෑ. මේ බදු ප්‍රතිපත්තිය වැරදි වෙලාවක ගෙනාව එකක්.

මේ වනවිට බැංකු පොලී අනුපාතිකය සීග්‍ර ලෙස ඉහළ දමා තිබෙනවා. ආර්ථිකයේ මොනවගේ ක්‍ෂේත්‍රවලටද මෙය අහිතකර ලෙස බලපාන්නෙ ?

මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ තියෙන්නෙ මොකක්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් උද්ධමනකාරී පරිසරයක අපි දකින දෙයක් තමයි මිල මට්ටම් ඉහළ යද්දි ආර්ථීකයෙත් යම් ආකාරයකට වර්ධනයක් ඇතිවෙනවා. දැන් අපේ රටේ තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.

“ස්ටැග්ශ්ලෙෂන්” එකක් දැන් තියෙන්නෙ. ආර්ථිකය උඩට යන්නෙ නැහැ ආර්ථිකය යන්නෙ පල්ලෙහාට. එකයි අපි කියන්නෙ මේ වසරේදි ආර්ථිකය සෘණ 9.2 කින් පල්ලෙහාට බහිනවා කියල. ආර්ථිකය පල්ලෙහාට බහිනකොට මිල ම්ට්ටම උඩට යනවා. ඉස්සර මේ රේඛා දෙකම යන්නෙ උඩට. සාමාන්‍ය උද්ධමනකාරී පරිසරයක් තුළ පොලී අනුපාත වැඩිකරල උද්ධමනය පාලනය කරන්න පුළුවන්. හේතුව පොලී අනුපාත වැඩි කරාම මිනිස්සු වියදම් කරන්නෙ නැතිව ඉතුරු කරනවා. එතකොට වෙළෙඳපොළ ඉල්ලුම පාලනය වෙලා භාණ්ඩවල මිල ඉහළ යෑම අඩුවෙනවා. දැන් වෙලා තියෙන්නෙ භාණ්ඩවල මිල ඉහළ යන්නෙ ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි. මිනිස්සු ඉස්සර ගත්තටත් වඩා අඩුවෙන් මිලදී ගැනීම් කරන්නෙ. මේ තියෙන්නෙ ඉල්ලුමත් එක්ක බැඳිච්ච මිල වැඩි වීමක් නෙවෙයි. ඉතින් අපි දකින්නෙ මේ තත්ත්වයත් එක්ක මහ බැංකුව තාම අර සාම්ප්‍රදායික උද්ධමන න්‍යායන් පදනම් කරගෙන විසඳුම් හොයන්න හදනවා.

මේ වගේ සංකීර්ණ තත්ත්වයකදී රජය කරන්න ඕන වඩාත් සුදුසු දේ මොකක්ද?

රජය මේ පොලී අනුපාතිකය වැඩි කරල, කරල තියෙන්නෙ ආර්ථිකය සංකෝචනය කරන එකනෙ. දැන් අපේ කර්මාන්ත වැහෙනවා. මිනිස්සු ණය ගන්නෙ නෑ. ගෙයක් හදන්නෙ නෑ. කිසිම ඉදිකිරීමක් වෙන්නෙ නැ. ඒකෙන් මිනිස්සුන්ට රස්සා නැතිවෙනවා. ආදායම් ඇහිරෙනවා. හැමදේම නැති වීමක් වෙන්නෙ. ඉතින් මම විශ්වාස කරන්නෙ ආර්ථිකය වේගයෙන් දුවවන්නයි ඕන. එහෙම දිව්වොත් තමයි මේ වැටිච්ච තැනින් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ. රජය මේ ප්‍රශ්නෙ පදනම තාම හරියට අඳුනගෙන නෑ. මේ කට්ටිය තාම කරන්නෙ ඒ ප්‍රශ්නයට උත්තර හොයන එක. ඒකනෙ මම යෝජනා කරන්නෙ රජයට මේ වෙලාවේ ආර්ථික කාර්ය සාධන බළකායක් හදන්න ඕන. ඉන්දියාව නිදහස ලබාගත්තට පස්සෙ හැදුව ඒ වගේ කොමිෂන් එකක් තමයි නේරු සහ ආචාර්ය මහලනොබියස්. ඒ කොමිෂන් එකෙන් දුන්න රිපෝට් එක අනුව තමයි ඉන්දියානු ආර්ථිකය සංවර්ධනය කළේ. අපි කියන්නෙ දැන්වත් ඒ විදියට මේ ප්‍රශ්නෙ හෙව්වෙ නැත්නම් හරි විසඳුමක් හොයන්න බෑ.

ආර්ථිකය ගොඩ දැමීමේදි අයි. එම්. එෆ්. ණය දෙස තමයි රජය වැඩි බර තබාගෙන බලාගෙන ඉන්නෙ. ඒ ගැන ඔබේ අදහස?

මේ ප්‍රශ්නය දෙවිදියකට කඩා ගත්තොත් එකක් අපිට රුපියල් නෑ. අනික අපිට ඩොලර් නෑ. මෙතන ඩොලර් ගැන බැලුවොත් රජයට හිතන්න තිබුණා මෙච්චරකල් රටට ඩොලර් ආවේ කොහෙන්ද කියන එක. සාමාන්‍යයෙන් අපට අපනයන වලින් ඩොලර් බිලියන 13 විතර ආවා. සංචාරක කර්මාන්තයෙන් බිලියන 5 ක් ආවා. සෘජු විදේශීය ප්‍රේෂණ වලින් රටට ඩොලර් බිලියන හතක් විතර. එතනම ඩොලර් බිලියන විසි පහක් විතර තියෙනවා. අපේ ආනයන වලට යන්නෙ ඩොලර් බිලියන 23. එහෙම ගියත් ඩොලර් බිලියන දෙකක් අපිට ඉතුරුයි. අපි හිතමු අපිට ණය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන තුනක් විතර කියල. එහෙම බැලුවාම මේ රටේ තිබ්බෙ ඩොලර් බිලයනයක ගැටලුවක්. හැබැයි පහු ගිය කාලෙ කරේ සෘජු විදේශීය ප්‍රේෂණ ඩොලර් බිලියන හතේ ඉඳල තුනට අඩු කරගත්තා. සංචාරක කර්මාන්තයේ ඩොලර් බිලියන පහේ ඉඳල දෙකකට බැස්සා. දැන් අපි අයි. එම්. එෆ්. එක පස්සෙ ගිහින් ඉල්ලන්නෙ ඩොලර් බිලියන 2.9 යි. ඒකත් වසර හතරකින්. හැබැයි රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා සෘජු විදේශීය ප්‍රේෂණ විතරක් ඩොලර් බිලියන හතරක් නැති කරගත්තා. ඒක නොවුණානම් ඒකම ඇතිනෙ මේ ප්‍රශ්න විසඳගන්න. එහෙනම් අපිට මේ කොන්දේසි මොකුත් නෑනෙ. මට හිතෙන්නෙ ස්ථාවර ආණ්ඩුවක් හදල ඒ නැතිවෙච්ච ආදායම සක්‍රීය කරගත්තා නම් අයි. එම්. එෆ්. එකේ මේ 2.9 පිටිපස්සෙ දුවන්න ඕන වෙන්නෙ නෑ.

ඔබතුමා වරක් සඳහන් කරල තිබ්බා ආර්ථිකය මේ විදියට දිව්වොත් යළි අරගලයක් ඇතිවෙන්න පුළුවන්, ඒ අරගලය පරපුර දෙකක නැගිටීමක් වෙයි කියල. එහෙම කියන්න හේතුව?

මේ වගේ පහුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත්ත අනෙකුත් රටවල් වල ආණ්ඩු පෙරලුණා. අලුත් ආණ්ඩු පිහිටවෙව්වා. මොකද අයි. එම්. එෆ්. එකේ එන කොන්දේසි සැර වැඩියි. අප්‍රේල් වගේ වෙද්දි රජයේ ආර්ථික සැලසුමට අනුව සහනාධාර කපල, බදු ගහල, ලයිට් බිල වැඩි කරල ජනතාව මත ආයෙත් පීඩනයක් ඇති කළොත් එහෙම වෙන්නෙ මොකක්ද. මිනිස්සු පාරට බහින් නැතිව ඉඳීයිද. පරම්පරා දෙකක උද්ඝෝෂණයක් කියල කිව්වේ, ගොඩාක් අය තේරුම්ගත්තෙ නැති දෙයක් තියනවා මේ පරම්පරා අතර වෙනස. අපි අයත් වෙන්නෙ 1965 ඉඳන් 1980 වෙනකන් ඉපදුන පරම්පරාවට. අසූවෙන් පස්සෙ ඉපදුණ අය තමයි මිලෙනියම්ස්ලා. රටේ බහුතරය නියෝජනය වෙන්නෙ ඒගොල්ලන්. 2025 වෙද්දි ඒ අය සියයට හැත්තෑපහක් වෙනවා. ඒත් මේ රටේ බලය අරගත්ත පරණ අය තමයි තාම අනාගතේ ඒ මිලෙනියම්ස්ලා වෙනුවෙන් තීරණ අරගන්නෙ. ඒකනෙ මිනිස්සු පාර්ලිමේන්තුවට බනින්නෙ මේ වයසක මිනිස්සු ගෙදර යන්න කියල. දැන් මේ ජෙනරේෂන් චේන්ජ් එක පහුගිය කාලේ වෙනස් වෙමින් ඇවිත් උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. ඒකයි අපිට මේක ඕන කියල ඔවුන් ඉල්ලන්නෙ. සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල කියන්නෙ. අන්න ඒ උද්ඝෝෂණය එකක්. මම කියන්නෙ ඒ උද්ඝෝෂණයට අමතරව 1980 වෙනකන් අයත් එක්ස් පරම්පරාවේ උද්ඝෝෂණයකුත් එනවා. ඒක එන්නෙ මිනිස්සුන්ට ජීවත් වීමට බැරි නිසා එන උද්ඝෝෂණය. මේ දවස්වලම පේනවනෙ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ප්‍රජාව, වෘත්තීය සමිති අනතුරු අඟවනනෙ. ඉතින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ගියොත් අනිවාර්යෙන්ම මිනිස්සු පාරට බහිනවා. ඒ අය පාරට බහින්නෙ අර උද්ඝෝෂණයට වඩා වෙනස් විදියකට. ඒකයි මම කිව්වෙ පරම්පරා දෙකක උද්ඝෝෂණ වර්ග දෙකක් එකවිට එනවා කියල.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment