දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීමේ හා උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72ක කාලය තුළ විසඳුමක් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.
දුම්රිය නියාමක හා දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම්දී වැටුප් පරිවර්තනය ද සකසා ඇති බවත් හෙතෙම කීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතු යැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී ඇති බව කියන සභාපතිවරයා, දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය නියාමන සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවද පවසයි.
මෙම ගැටලුවට පිළිතුරු ලබාදීමට දුම්රිය බලධාරීන්ට පැය 72ක් ලබාදී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පර්සි කුරුනේරු