බඹරකිරි ඇල්ල

190

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නේ රට තුළ පවතින විවිධාකාර මනස්කාන්ත පරිසර පද්ධතිය හේතුවෙනි. මාතලේ සිට රත්තොට බලා යන ගමනේදී රූස්ස වනස්පතියන් තුරුලේ සැඟවුණු මනස්කාන්ත සංචාරක දසුන් බොහෝමයක් ඇති නමුත් ඒවායින් සමහරක් සදාකල්හිම ඉමක් නැති තුරු බලකොටුව තුළ සැඟවෙති. සමහර අපූරුතම සොබාදහමේ පරිසර ස්ථානීය දර්ශනයන් දකින්නට ඔබටත් මටත් වරම් ලැබෙනු ඇත. මේ සඳහන් කරන්නේද එවැනි ස්ථානයකි. නමින් බඹරකිරි ඇල්ල ය. මාතලේ, රත්තොට සිට රිවස්ටන් දක්වා වූ ගමන් ගන්නා මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව බඹරකිරි වංගුව හමුවේ. එම ස්ථානයෙන් දිවයන අඩි පාර වෙලන්ගහවත්ත ගම්මානයට යන පාර ය. මේ පාර දිගේ මීටර් 50 ක් පමණ යන විට බඹරකිරි ඇල්ල හමුවේ.

රත්තොට ප්‍රාදේශීය සභාවට අයිති බල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල, සීතල දියදහරක සුන්දරත්වය විඳ ගැනීමට කදිම තැනකි. බඹරකිරි ඇල්ලේ උල්පත ආරම්භ වන්නේ නකල්ස් කඳු පන්තියෙනි. දුම්බර මිටියාවතේ අඹන්ගඟ පෝෂණය කරමින් ගලා බසින වෙලන්ගහඔය හෙවත් කුඩා ඔය ජල දහරාවෙන් බඹරකිරි ඇල්ල නිර්මාණය වී තිබේ. එම සුපිරිසිදු දිය දහරා ගලාවිත් එක්රැස් වන දිය ඇල්ලේ ජලය අතිශය සුපිරිසිදුය. එසේම පානය කිරිමට ද සුදුසුය. රත්තොට ප්‍රදේශයේ වෙසෙන ජනයාගේ දිය පහස නිවාලන්නේ ද මේ දිය ඇල්ලේ ජලයෙන් බව සඳහන් කළ යුතුය. එපමණක් නොව දිය ඇල්ලෙන් ගලා හැලෙන දිය දහර පහළ ප්‍රදේශයේ කුඹුරු යාය කීපයක්ම පෝෂණය කරයි.

මෙම දියඇල්ලට බඹරකිරි ඇල්ල යන නාමය ලැබුණේ, ඇල්ල අසල පර්වතයක බොහෝමයක් බඹර වද බැඳ තිබූ නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. නමුත් අද වන විට දිය ඇල්ල අවට පරිසර පද්ධතියේ බඹර වද දැක ගැනීමට පුළුවන්කමක් නැත. දිය ඇල්ලේ සම්පූර්ණ උස මීටර් 10 ක් පමණ වුවද මීටර් 3 ක පමණ කොටස් තුනකින් දිය ඇල්ල සමන්විත වේ. බඹරකිරි ඇල්ල ගලා යන්නේ ඇලි දාමයක ආකාරයටය. ඒ අනූව තට්ටු තුනකින් සමන්විත ඇල්ලේ පළමු ඇල්ල නිර්මාණය කරන ජල ධාරාවම ගලා විත් දෙවන ඇල්ලට උප්පත්තිය දෙනු ලබන අතර, දෙවන ඇල්ලෙන් පසුව ජලය කඩා හැලෙන්නේ අඩි පහළවක් පමණ වන ප්‍රධාන ජල තටාකයටය. අනතුරුව ගල් තලාව මත්තෙන් තාලයට පල්ලම් බසින ජල දහරාව දිය ඇල්ලේ තුන්වන ඉසව්ව නිර්මාණය කරයි. ස්ථර කීපයකින් ගලා හැලීමත්, ඇල්ලට ඉහළින් වෙලන්ගහවත්ත ගමට පිවිසීමට ඉදි කර ඇති අත් වැල් පාලම බඹරකිරි ඇල්ලේ සුන්දරත්වය තව තවත් වැඩි කිරීමට හේතුවන බව සඳහන් කළ යුතුය. සොබාදහමේ සුන්දරත්වය වැඩි කරන දිය ඇල්ලට ඉහළින් දිවෙන මේ අත් වැල් පාලම සුවිශේෂි වේ. සංචාරකයන්ට අමතරව විවාහ මංගල ඡායාරූපකරුවන්ගේ තෝරා ගත් ස්ථානයක් ලෙසද මෙය හැඳින්විය හැකිය. දිය ඇල්ලේ ජලය කඩා හැළෙන ස්ථානය කවාකාර වන අතර පොකුණක හැඩයක් ගනියි. මෙම ස්ථානයේ බොහෝ දෙනා දිය නෑමට කටයුතු කළද, එම ස්ථානය ලිස්සන සුළුය. ඒ නිසා එම ස්ථානයේ දිය නෑමද භයානක බව සඳහන් කළ යුතුය. තවද මෙම ස්ථානයේ දිය නෑම සුදුසු නොවීමට තවත් හේතුවක් වන්නේ, දිය ඇල්ලේ දිය දහරාව හිටිහැටියේම වැඩිවන අවස්ථා ද ඇති බැවිනි. එනිසා බඹරකිරි ඇල්ලෙහි නෑම සිදුකරනවා නම් පරිස්සම් විය යුතුය.

දියඇල්ල අවට පරිසරයේ නකල්ස් රක්ෂිතයට ආවේණික වූ වෘක්ෂලතා පැළෑටි වර්ග බොහෝමයකි. එපමණක් නොව පක්ෂීන්, සමනල් විශේෂ ද බොහෝමයකි. බඹරකිරි ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට හා විඳගැනීමට නම් වැල් පාලම හරහා ගමන් කළ යුතුවේ. කෙසේ වුවද ඇතැම් සංචාරකයන් දක්වන බිය නිසා මෙගොඩ සිටම බඹරකිරි ඇල්ලේ සුන්දරත්වය විඳ ගනිති. මෙම එල්ලෙන වැල් පාලමෙන් එතෙර වන විට ලෑලි පිහිටා ඇති මධ්‍යයේ තිබෙන කම්බි ආධාරකයට සමාන්තරව පය තබා ගමන් කරන්නේ නම්, වැල් පාලමේ සෙලවීම ඉතා අඩු මට්ටමක පවතී. නමුත් සාමාන්‍ය අයුරින් පය තබා ඇවිද යන්නේ නම්, වැල් පාලමේ සෙලවීම වැඩි වනු ඇත. එල්ලෙන අත් වැල් පාලමෙන් ගොඩවී පහළට බැස්ස විට දිය ඇල්ල ආසන්නය වෙතට ළඟා විය හැකිය. දිනපතාම වෙලන්ගහවත්ත ගම්මානයට ගමන් කරන ගම්වැසියන්ට අත්වැල් පාලම සාමාන්‍ය දෙයක් වුවත්, සංචාරකයන්ට එය අපූරු ආශ්වාදයකි.

බඹරකිරි ඇල්ල දිය ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන අතර ඒ අනුව දියඇල්ලේ සුන්දරත්වය පරිස්සම් සහගතව විඳ ගැනීම සංචාරකයන් සතු වගකීමකි. එම වගකීම පැහැර හැර ජීවිතයෙන් වන්දි ගෙවූ පිරිස ද තිහකට ආසන්නය. රිවස්ටන්, පිටවලපතන, පුංචි ලෝකාන්තය, කළුගඟ හා මොරගහකන්ද ජලාශයන් මෙන්ම සේර ඇල්ල නම් වූ සුන්දර දියඇල්ල නැරඹීමට යන ගමනේදී අනිවාර්යයෙන් නැරඹිය යුතු ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඇල්ලේ සුන්දරත්වය නරඹනවා සේම එහි පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම බඹරකිරි ඇල්ල නැරඹීමට පැමිණෙන ඔබගේ යුතුකමක් සේම වගකීමකි.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment