පශ්චාත් යටත්විජිත සාහිත්‍යය අද නූතන සාහිත්‍ය ලෝකයේ අගනා ප්‍රභේදයකි. ලොව රටවල් සියයට අසූවක්ම යටත්විජිත බවට පත්ව තිබූ ඒවාය. යුරේසියා රටවලින් යටත්විජිත ඉතිහාසයක් නැත්තේ තායිලන්තයට බව කියැවේ. යටත්විජිත ආක්‍රමණවලට ගොදුරු වූ දේශයක ජනජීවිතයට වෙච්ච දේ ගැඹුරින් කියන පශ්චාත් යටත්විජිත සාහිත්‍යකරුවන් අතර ජෝසප් කොන්ඩ්‍රාඩ්, චීනුආ අචිවි, ඊ. එම්. පෝස්ටර් සම්මානනීය ය.

ජයසේන ජයකොඩිගේ ‘අස්වැන්න’, සේන තෝරදෙනියගේ ‘මඩරන්’ ඉංග්‍රීසි පාලන සමය තුළ වියවුලට පත් මෙරට ගැමි ජීවිතය විනිවිදින කැඩපත් වැනි නවකතාය. දැන් පළවී ඇති ජී. ඇල්. ආරියපාලගේ ‘බරෙත්තු’ පෘතුගීසි යටත්විජිත සමයෙහි නිදහස් කැරැල්ල පිණිස තම ඉරණම ලියාගත් දැඩි එඩි ස්වදේශිකයකු කොළොම්තොට ප්‍රතිකාල් බලකොටුවට චරපුරුෂයකු ලෙස වෙස්වළාගෙන ඇතුළු වී සෙන්පතියකු ලෙස ක්‍රියාකරමින් හමුදාවෙහි කැරැල්ලක් ඇතිකොට එහි කුලී හමුදාවෙන් කොටසක් ද රැස්කොටගෙන පලා අවුත් ‘මුළු ලෝ හොල්ලන්ඩ සූර’ පෘතුගීසිකාරයන්ට පහර දී දිවි දුන් සැටි මවාපාන නවකතාවකි.

යටත්විජිත ඉතිහාසයක් ලියන්නට පසු අවධියක පෑන අතට ගන්නා ලේඛකයා බලවත් සටනකට මැදිවෙයි. ලේඛනගත ඉතිහාසය බූවල්ලකු මෙන් ඔහු වෙළා ගන්නට වෙයි. එහෙත් නවකතාකරුගේ අභිප්‍රාය වනනේ බැමිවල නොබැඳී නිදහස්ව ඉතිහාසය පස පෙරළමින් දකින්නටය. මන්දයත් ලේඛනගත ඉතිහාසය සැබෑ ශුද්ධ ඉතිහාසයක් නොවන නිසා. එය ඉතිහාසකරුවන්ගේ මතවාදවලින් රාමුගතව ඇති නිසා. අතීතයක ගිලී ගිය සමාජයක දේශපාලන සමාජ බලවේගයනුත් ජනජීවිතයත් තථ්‍ය ලෙස කැඩපත් කිරීමටයි. පශ්චාත් යටත්විජිත සාහිත්‍යකරුවකුගේ අදිටන වන්නේ. එය ජයගනු සඳහා මහත් ඉතිහාසීය ගවේෂණයක යෙදිය යුතු වන්නේය. තෝරදෙනියත් ආරියපාලත් තම නවකතා උදෙසා දස අවුරුදු වෙහෙසක් විඳ ඇත්තේ කරුණ රැස්කර ගන්නට වැලි හලන්නාක් සේ ඉතිහාසයේ පස පීරමින්ය.

මෙසේ නවකතාවක් ලියන්නට අරඹන ලේඛකයා ඉදිරියේ ඇත්තේ ඔහු රැස්කරගත් කරුණු කන්දය. මෙතැනදීය ඔහු අර්බුදයකට මැදිවන්නේ. තමා සොයාගත් කරුණු සෑම නවකතාවට පුරවන්නට ලේඛකයා පෙලඹෙයි. මෙතැනදී සිද්ධ වන්නේ කුමක්ද? නවකතාව කරුණු බරින් යටපත් වී යෑමයි. ප්‍රවෘත්තිකාරයා එසැවී සිටීමයි. දැන් නවකතාකරුගේ අසුනට පැනගෙන ඉන්නේ ඉතිහාසකාරයායි. අර කරුණු කන්දෙන් නවකතා නිර්මාණයට අවශ්‍ය වන කරුණු ප්‍රමාණය බයිසිකලයකින් පටවාගෙන යා හැකි කරුණු ප්‍රමාණය වෙනුවට බැකෝවකින් කරුණු තොගයක් පැටවීමෙන් නවකතාව ආත්මීයව හීන වෙයි. මෙය වාසුදේව නායර්ගේ විග්‍රහයකි. මේ ආක්‍රමණය ගැන දන්නා කල්පනාව ඇති ලේඛකයා මෙහිදී ඉතිහාසකරු පන්නා දමා තම අසුන රැකගැනීමට සටනක යෙදෙයි. ඒ සටන කුමක් උදෙසා ද? ඉතිහාසයේ චරිතයන්ට අධ්‍යාත්මයක් ලබාදීමටයි. රජුන්ගේ ප්‍රභූන්ගේ අතීතයක් නොව පොදු මිනිසාගේ දිවි පුවත සාදා පාදා ගැනීමටය. පශ්චාත් යටත්විජිත සාහිත්‍යය මහා රශ්මි කදම්භයක් ඉතිහාසයට හෙළන්නේ එබඳු විස්මිත ලිවීමකින්ය.

…මේ රට අයිති සටන් කරන අයට නොවෙයි. ජයගත හැකි අයටයි. (පි. 129)

….රාජසිංහ රජු යුද කරන රජකු මිස රට කරන රජකු නොවෙයි. (පි. 125)

…..දැනටමත් රට කියන්නේ රජු නොවන බව විශ්වාස කරන දේශප්‍රේමීන් හුදෙකලා සටන්කරුවන් බවට පත්වෙලා. (පී. 127)

පෘතුගීසීන් මුහුදු බලයෙන් හා වෙඩි බලයෙන් මේ රටේ කොටසක් ඩැහැගත්තේ බලගතු මහා අධිරාජ්‍යයන් මෙන් නොව බැංකු කඩන කොල්ලකරුවන් සේ රටේ ධන සම්පත් පැහැර ගන්නා දූෂිත වෙළෙඳ කණ්ඩායමක් බව කැරලිකාරයන් තේරුම්ගත් සැටි නවකතාව හෙළි කරයි. එමෙන්ම ඒ අවිචාර සමයෙහි පරසතුරාගෙන් රජුන් ප්‍රභූන්ගෙන් යන්තම් තෑග්ගක් ලබනු සඳහා ඕනෑම පරගැතිකමක් කරන නිවට ජනකොටසක් ද සිටින අන්දම හෙළි කර ඇත්තේ ඉතිහාසයක සංකීර්ණත්වය දකින නිර්මාණකරුවකු ලෙසටය.

රාජසිංහ රජුගේ වැඩිමහල් සොහොයුරියක වූ කෝමරී බිසෝබණ්ඩාර කුමරිය තම සිහින දේශය වූ සීතාවක රාජධානියත් රජුත් දිවි හිමියෙන් රැකගන්නට රාජතාන්ත්‍රික වගකීමකට කැපවෙමින් ඒ කාරියට නිසි රිසි චරපුරුෂයකු සොයන ආකාරය නවකතාවෙන් හැඟීම් සහිතව නිරූපණය වෙයි. බලගතු ආත්ම ශක්තියක්, දමනයක් හා නුවණක් ඇති චරපුරුෂයකු හමුදාවකට වඩා වටින්නේය කියා ඇය පවසයි. සමසකට පසු හමුවන කුරුවිටරාල නම් පුරුෂයා තමා සෙවූ ප්‍රතිරූපය බව ඇය වටහා ගන්නා ප්‍රථම හමුව නවකතාකරු විත්‍රණය කරන්නේ නාට්‍යකාර ජවනිකාවක විලාසයෙනි. දෙදෙනා අතර ඇතිවන දෙබස භාවාත්මක කථනයකි.

ජීවත්වීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? බිසව අසයි.

ජීවත්වෙනවා කියන්නේ යුතුකම් ඉටු කිරීම මිස අන්කිසිවක් නොවෙයි. ඒ කුරුවිටරාලගේ පිළිතුරය.

එසේනම් මරණය?

අරමුණක් හා බැඳුණු මරණය අර්ථාන්විතයි. දේශප්‍රේමය කියන්නේ කුමක්ද?

කිසිවෙක් උපතින් දේශප්‍රේමියකු වන්නේ නැහැ.

බලය?

රටවැසියාට තිබෙන්නේ බලය නොව අයිතියක්. අපේ අයිතිය බලය හොඳ හෝ නරක වුවත් එය දරාගෙන සිටීමේ ශක්තියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. (පි .77-78)

කුරුවිටරාල බිසවගෙන් චරපුරුෂ මෙහෙවර භාරගන්නා මේ අවස්ථාව තුළ නවකතාකරු නිමවන මෙම සංවාදය පරිකල්පනීය ගුණයෙන් ඉතා සාරවත්ය. ලේඛනගත ඉතිහාසයක වාර්තාගත චරිතයන්ට අධ්‍යාත්මයක් ලබාදීමට සමත්වීම ඓතිහාසික නවකතාවක විශිෂ්ටත්වයයි. ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ඉතිහාසීය නවකතාවක චරිතයන්ගේ ආකර්ෂණීයත්වය මිස එබඳු සංකීර්ණ විඥානයක් දැකිය නොහැකිය.

නවකතාව නම් ජීවගුණ සම්පන්න ලිවීමක් බව ලේඛයා අවබෝධ කරගෙන ඇති සැටි ඔහු නිරූපණය කරන ඇතැම් සිදුවිම් අවස්ථාවලින් දෘශ්‍යමාන වේ. අංගම්පොර සටන්, පරංගි බලකොටුවට යන උමඟ තැනීම, පරංගි හස්තයට හසුව මරණීය දණ්ඩනයට නියම වූ බිසව සිරකුටියෙන් නිදහස් කරගැනීම රහස් පරීක්ෂක නවකතාවක මෙන් චිත්තාකර්ෂණීය වර්ණනයන්ය.

ඉතිහාසීය නවකතාවක අතීතය ප්‍රතිඋත්පාදනය කළ හැක්කේ එම භාෂා සම්ප්‍රදාය ආශ්‍රිතව තනාගත් සන්නිවේදන මාර්ගවලින්ය. ජී. ඇල්. ආරියපාලගේ ඇතැම් නිරූපණ බස අතිශයින් විචිත්‍රය. පෘතුගීසි බලකොටුවත් ඉන් පිටත දේශප්‍රේමී අරගලයත් එකතැන එකිනෙක ගටමින් කරන සිනමානුරූපී වර්ණනය සුප්‍රකට ‘නාලාගිරි දමන’ නිරූපණය සිහිගන්වයි.

….බලකොටුවේ ඇතුළත පාප කර්මයට භුක්ති විඳින පරංගි හේවායෝය. බලකොටුවෙන් පිටත දේශ මාමකත්වයෙන් පිම්බුණු සිංහල හේවායෝය.

….බලකොටුව ඇතුළත තමන් සැලසුම් සහගත යැයි සිතූ කෝපයෙන් ගිනිගෙන දැවෙන ජනරාල් කොරයා ද බි්‍රටෝය. බලකොටුවෙන් පිටත දේශ වාත්සල්‍යයෙන් ඔද වැඩුණු රාජසිංහ මහ රජාණෝය.

…බලකොටුවෙන් ඇතුළත තාඩනය ය. පීඩන ය. මර හඬය. කලහය ය. රොස්පරොස්ය. බලකොටුවෙන් පිටත බෙරහඬය. සක්හඬය. ඇතුන්ගේ කුංචනාදය ය. ඒ සියලු හඬ පරයා නැඟෙන කාහල නාදයෝය. (පි. 151)

පුනරුක්ත බහුල මෙම සාම්ප්‍රදායික වැනුම් බස ප්‍රගුණ කරගැනීමට ලේඛකයා සමත්වීම නිසා නවකතාවේ පිටු අතරට වෛවර්ණයෙන් පතිත වෙයි.

…. ශිල්ප සොඳින් දන්නා, සොඳින්ම ශක්තිවන්ත විශ්වාස, සොඳින්ම ඉවසිලිවන්ත ඉලංගම්කාරයා පළමුව ගුස්ති සටන විය. දෙවැනුව රිටි සටන විය. තෙවැනුව කඩු හා පළිහ සටන විය. ඉලංගම් සටන් ශිල්පය කාය ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික භාවයක් ද ගැබ් වූවක් බව මේ පරිණත බස්වහර ධ්වනියකින් හඟවයි.

බරෙත්තු නවකතාකරුවාගේ පරිකල්පනීය චින්තනය නවකතාවට ඇතුළාන්ත එළියක් ලබාදෙයි. එය පාඨකයාගේ කල්පනා ලොව පුබුදන්නකි.

… මහ පොළොවෙහි ගොඩනැඟිය යුතු ගෙය ඔහු පළමුව අහසෙහි ගොඩනැඟුවේය. (පි. 228)

… මිනිසකුගේ අභිලාසය හැම විටම ඔහුගේ වටිනාකම ඉක්මවා යනවා (පි. 182)

… හිතට විරුද්ධව වැඩ කරන විට මිනිස්සු දුර්වල වෙනවා. (පි. 181)

… ඔබ මා තුළ වූ අනෙකා අවදි කළා. (පි. 223)

… ගසේ අත්තට වඩා තම ශක්තිය නම් වූ පියාපත් කෙරෙහි විශ්වාසයක් ඇති කුරුල්ලෙකු මෙන් (පි. 221)

අන්තෝනියෝ බරෙත්තු නම් පරංගි ගැති ප්‍රභූ පවුලක එකෙකු මෙන් වෙස්වළාගෙන කොළොම්තොට බලකොටුවට ඇතුළු වී චරපුරුෂ මෙහෙයක යෙදෙන මේ වෙස්ගස් ජීවිතය මොන ජිවිතයක්දැයි ඔහුගේ හෘදසාක්ෂය හඬනඟනු පිටු අතරින් ඇසේ. එමෙන්ම දිවි ගැටගහගන්නට පරංගි හමුදාවට බැඳී සිටින ලස්කිරිඤ්ඤ සිංහල සෙබළුන් නිවට නියාලු ජීවිතයකට ඇදවැටී ඇති සැටි ද නවකතාවෙන් හෙළි වේ. නවකතාව අවසානයේදී කතුවරයා ඉදිරිපත්කොට ඇති පුරාවෘත්ත සටහනක සඳහන්ව ඇත්තේ කුරුවිට රාලගේ හිසට පරංගි සෙන්පතීන් මිලක් නියම කළ විට ත්‍යාගය ගන්නා ලොබින් හුදෙකලාව නින්දේ සිටි මොහොතක ස්වදේශිකයකුම ඔහුගේ ගෙල කපා රිටක අමුණා ගෙන ගිය වගය. එහෙත් කතුවරයා ඒ ඛේදජනක මරණය තම නවකතාවේ නිමාවට එක්කර නොගනී. මන්දයත් විරුවකුගේ මරණය ද ඔහු ජය ලද්දකු බවට ඔසොවන්නාක් වන හෙයිනි.

බරෙත්තු නවකතාකරුවා කතාව ලියන්නේ ලේඛනගත ඉතිහාසය පිළිගන්නා අතරම එය නොපිළිගන්නා පුරාවෘත්ත ඉතිහාසකරුවකුගේ විලාසයෙනි. ඇතැම් තැනෙක ඔහු පුරාවත අනුව යද්දී කියාපාන්නකු බවට ඇදවැටෙන අවස්ථා ද ඇත. නවකතාව නම් කියාපෑම නොව මවාපෑමේ කලාවයි. දිගු දෙබස්වලින් අතීත තතු කීමේදී නවකතාවක් හෑල්ලක් බවට පත්වීම බොහෝ ඓතිහාසික නවකතාවල ලක්ෂණයකි. සේනතෝරදෙනිය ‘මඩරන්’ නවකතාවේදී වාර්තාකරණය ජයගනු පිණිස අම්බලමට එන

මගීන්ගේ කතාබස් උපායක් කොට ගනී. ජී. ඇල්. ආරියපාල ඇතැම් විට එය ජයගන්නේ සංකේතකරණයෙන්ය.

….හිස ඔසොවා ඉහළ බැලූ ඔහු දුටුයේ ශාන්ත සෙබස්තියන් කඳුමාවත පුරා විසිරී සිටි සිංහල සෙබළ සන්නිපාතයයි.

…. බියුගල් නළා හඬක් නොඇසේවාසි ප්‍රාර්ථනා කරමින්

….. දකුණු බාහුවෙහි මැච්ලොක් තුවක්කුවක් රඳවා ගෙන

එමෙන්ම නවකතාකරු සිංහල රජකුගේ හීන චරිතාංගයන් මෙන්ම මැනුවෙල් ද සූසා වැනි පෘතුගීසි කපිතාන්වරයකුගේ සාධු ගුණාංගයක් ද දකින්නේ මනුෂ්‍යත්වය අවලෝකනය කරන්නකුගේ පරිණත භාවයකින්ය.

බරෙත්තු නවකතාව අප දන්නා ලේඛනගත ඉතිහාසයෙන් නොව පුරාවෘත්තවලට කැවී තිබෙන ජන ඉතිහාසයෙන් අතීතය පිළිබිඹු කරන කැඩපතකි. එයින් නැඟෙන හඬ ශබ්දය අපගේ සමූහ අතීත මතකය ප්‍රතිරාවයට නංවන්නකි. අප රටේ ජනයාගේ සමූහ මතකය අඩපණවී මැකී යමින් තිබෙන අද දවසට එය වැදගත් වන්නේ ඒ නිසාය.

පරාක්‍රම කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment