තම දක්ෂතා හඳුනා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයේ සහ ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා සංවිධානය කර ඇති විශේෂ බර ඉසිලීමේ තරගය ඉරිදා (17) පොළොන්නරුව බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට පියවර ගෙන තිබේ.
එළඹෙන දෙසැම්බර් මස උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක‍්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය සඳහා සහභාගී කරවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසනීයත්වය ඇති කිරීම මෙම පෙරහුරු තරගයෙන් බලාපොරොත්තු වේ.
2022 වසරේ එංගලන්තයේ බර්මින්හෑම් නගරයේදී පැවැත්වෙන මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාව උදාකර ගැනීමට උස්බෙකිස්තානයේදී හැකි වන බැවින් එහිදී උපරිම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීම අතිශය වැදගත් වේ.
මෙම පෙරහුරු තරගයට සහභාගි වන ලෙස ක‍්‍රීඩක ක‍්‍රීඞීකාවන් 22 කුට ආරධනා කර ඇති බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලන ලේකම් ජී. නිශාන්තන් මහතා පැවසීය. තමන් භාවිතයට ගන්නා ශිල්පීය ක‍්‍රම හා තාක්ෂණය පිළිබඳව වැඩි විශ්වාසනීයත්වයක් මෙම පෙරහුරු තරගය ආශ‍්‍රිතව තහවුරු කරගත හැකි බව පෙන්වා දෙන ඒ මහතා එමගින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා ලෙස ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටී.
අනුරුද්ධ හේරත් බණ්ඩාර