බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි විසිපස්වැනි ගුණානුස්මරණය අද

114

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, උත්තුංගධාරී දේහයක් හා මනා පෞර්ෂයක් ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හත අටක් හෝ තිබුණ යතිවරයාණන් කෙනෙකි. ත්‍රිකෝණාකාර හිස, දිගු කන් යුගල, ප්‍රඥාවෙන් යුත් දෑස, දෙතොලින් පහළට එල්ලා වැටුණු නාසය එක්වරම පෙනේ. හිස සිට දෙපා දක්වා පිරුණ දේහ ලක්ෂණ සහිතය. මෙවැනි පැවිදි හිමිනමක් කලාතුරකින් පහල වේ. එසේම උන්වහන්සේගේ චිත්ත බලය හේතුවෙන් විවිධ භාෂා, විෂයයන්, ගුප්ත ශාස්ත්‍ර යනාදී සිව්සැට කලාවන්ගෙන් ඔබ්බට ගිය දැනුම හා ක්‍ෂණික විශ්මිත මතකය තෑග්ගක් වැනිය. එය සමකාලීන ගිහි පැවිදි ප්‍රාඥයන් අබිබවා නැගී සිටියේය. ඕනෑම විවිධ විෂයයන්, පුද්ගලයන්, ස්ථාන පිළිබඳ මතකය ජංගම පුස්තකාලයක් වැනිය.

හිරු නැගෙන ජපානයේ සිට හිරු නොබසින ඈත යුරෝපය දක්වා වූ විවිධ රටවල බෞද්ධ, අබෞද්ධ බුද්ධිමත් ජනතාවට බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කිරීම සඳහා ගැඹුරු ධර්මය සරලව දේශනා කළේය. වැඩි කාලයක් ජාත්‍යන්තරයේ රැඳී සිටීම හේතුවෙන් “උන්වහන්සේ බලන්ගොඩ හාමුදුරුවෝ” නොව “එංගලන්තයේ හාමුදුරුවෝ” ලෙස හැඳින්වූහ.

බුද්ධ ධර්මය වැනසී ගිය බි්‍රතාන්‍ය පාලන සමයේ උන්වහන්සේ ඇතුළු පැවිදි කිහිපදෙනෙක් තුසිත දෙව්ලොව සිට බුදු දහමේ පුනරුදය සඳහා මනුලොවට, තුසිත දෙව්ලොව දෙවියන්ගේ ආරාධනයෙන් පැමිණි බවත් බම්බලපිටිය වජිරාරාමාධිකාරී පූජ්‍ය පියදස්සී හිමි එසේ මනු ලොවට පැමිණි අවසාන යතිවරයාණන් බවත් බලන්ගොඩ නාහිමි නිර්භවයව, අභීතව ප්‍රකාශ කළහ.

එවකට හෙළයේ පිරිවෙන්, පාසල් හෝ විශ්වවිද්‍යාල නොතිබුණු කාලවකවානුවක් විය. අධ්‍යාපනය පැවැතියේ බෞද්ධ යතිවරයාණන් වහන්සේලා සතුවය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ සිංහල, පාලි, සංස්කෘත වැනි ප්‍රාචීණ භාෂා පිළිබඳ විශාරද දැනුමක් හා එම භාෂාවලින් ග්‍රන්ථකරණයට පවා විශිෂ්ට ඉගෙනුමක් ලබාගන්නේ ගුරු හුමුදුරුවන්ගෙන්ම බව පවසයි. බලන්ගොඩ මහවලතැන්න වලව්වේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පියාණන් වූ බාන්ස් රත්වත්තේ දිසාවගේ උනන්දු කිරීමත් හේතුවෙන් බලන්ගොඩ වැඩ සිටියදීම ඉංග්‍රීසි භාෂාව ස්වෝත්සාහයෙන්ම ඉගෙන ග්‍රන්ථකරණය හා විදේශ ධර්ම දේශනා පැවැත්වීමේ අති විශිෂ්ට ඉංග්‍රීසි දැනුමක් ලබා ඇත. එයින් නොනැවතී භාෂා ගණනාවක් පිළිබඳ දැනුමක් ලබා ඇත. පිරිවෙන්, පාසල් හෝ විශ්වවිද්‍යාලයකින් ඉගෙනුමක් හෝ උපාධියක් කිසිදා උන්වහන්සේ ලබා නැත. අධ්‍යාපනයට ලබාගත් සහතික නැත. උගත්කමට ග්‍රහයන් උන්වහන්සේට බාධා පමුණුවා ඇතත් ජාත්‍යන්තර විශ්ව දැනුමට එවැන්නක් සිදුවී නැත. එබැවින් උන්වහන්සේගේ ග්‍රන්ථ, විශ්වවිද්‍යාල සිසුන්ගේ, ආචාර්ය මහාචාර්යවරුන්ගේ අත්පොත් බවට පත්වී ඇත. බුදුන්වහන්සේගේ චරිතය පිළිබඳ ‘ගෞතම බුද්ධ චරිතය’ වැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් උන්වහන්සේ ලියූ ග්‍රන්ථ අතර ලියා ප්‍රකාශයට පත්කර ඇත. පැවිදි බිමට පත්වන භික්ෂූන් බුද්ධ ධර්මය මැනවින් ඉගෙනීම සඳහා සිංහල, පාලි (ථෙරවාද), සංස්කෘත (මහායාන) පිළිබඳ දැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කර ඇත.

සමකාලීන යතිවරයාණන් අබිබවා ලබාගත් විවිධ විෂය දැනුම හේතුවෙන් පසුකාලීනව ‘සබරගමුව අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ සිව්වන මහා නායක ධුරන්දර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රථම සභාපති, මහාචාර්ය විfiාදය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති විනයාචාර්ය ත්‍රිපිටක වාගීස්වරාචාර්ය ප්‍රවචණ විශාරද, මහා මහෝපධ්‍යාය, සාහිත්‍ය සූරී, සාහිත්‍ය චක්‍රවර්තී, ආගම චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත (සම්මාන), අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු පූජ්‍යපාද බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජයාණන් වහන්සේ ලෙස ප්‍රකට වූ සේක.

උන්වහන්සේ වෙත ගලා ආ ගෞරව, තනතුරු පසුව ප්‍රතික්ෂේප කර, ඒවා හෙළදිව වැඩ සිටින වෙනත් උගත් ප්‍රභූ යතිවරයාණන් වෙත පවරන ලෙස සඳහන් කළහ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරු සේවයට පැමිණියේ උන්වහන්සේ යෞවන වියට පත්වීමෙන් පසුවය. කොළඹට පැමිණීමෙන් පසු විවිධ බුද්ධිමතුන් විෂයයන් හැදෑරීමේ අවස්ථාව ලැබී ඇත. එම මහඟු අවස්ථාව ප්‍රමාදවී ලැබීම ගැනත්, කොළඹින් ඈත බලන්ගොඩ වැනි අල්ප අධ්‍යාපනයක් ඇති ප්‍රදේශයක උපත ලැබීම ගැනත් විටෙක උන්වහන්සේ කලකිරීමට පත්වූ සේක.

උන්වහන්සේ මට හමුවූයේ වයස අවුරුදු හැත්තෑව ඉක්මවා දීර්ඝායුෂ ලබමින් සිටියදීය. එවකට උන්වහන්සේ බොහෝ විට වැඩසිටියේ බලන්ගොඩ මිරිස්වත්තේ ධර්මානන්ද පිරිවෙන අසල අසපුවේය. එහි ජාත්‍යන්තර පුස්තකාලයක් වැනි විවිධ විෂයයන් පිළිබඳ ග්‍රන්ථ සහිත උන්වහන්සේගේ පුස්තකාලය ද විය. එවකට උන්වහන්සේ විසින් ආරම්භ කළ බලන්ගොඩ මහා විද්‍යාලයේ (දැන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල) ශිෂ්‍යයකු ලෙස සිටියෙමි. එම පුස්තකාලයේ කලාව, විද්‍යාව හා ගුප්ත විද්‍යාව පිළිබඳව ග්‍රන්ථ කියැවීමේ දුර්ලභ අවස්ථාව මට ලැබුණි. එය මගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් විය. එසේම උන්වහන්සේ සමඟ කතාබහ කිරීමේ හා ඇසුරු කිරීමේ අවස්ථාවද ලැබුණි. උන්වහන්සේ පැවසුවේ ‘ළමයෝ ඉගෙන ගන්නා දෙය හරියට ඉගෙන ගන්නා ලෙසත්, කරන වැඩය හරියට කරන ලෙසත්ය.”

කිසිම අවස්ථාවක කෙනකුගේ සාංසාරික පුරුද්ද, කුසලතාවය වෙනස් කිරීමට උපදෙස් හෝ ක්‍රමවේදයක් හෙළි නොකළේය. ‘භාවිතා බහුලිකතෝ’ යනුවෙනි. තමන් යොමුවී ඇති යහපත් ක්‍ෂේත්‍රය තුළ සියලුම ඉගෙනීම් හා අත්දැකීම් ඇතිකර ගැනීම මගින් ලැබිය හැකි බවත් උන්වහන්සේගේ අදහස විය. කිසිවකුගේ මඟපෙන්වීමකින් තොරව විවිධ බාධක අත්දැකීම් ලබමින් කොළඹ සිට දුම්රියෙන් භාරතයේ හිමාලයේ කංකාල වැනි ප්‍රදේශවලට බොහෝ වාරයක් උන්වහන්සේ වැඩම කළ සේක. එම ගමනේදී භාවනායෝගී සෘෂීන්, ජාත්‍යන්තර බුද්ධිමතුන්, බිර්ලා (ටාටා) වැනි ව්‍යාපාරිකයන් ඇසුරු කිරීමේ අවස්ථාව, පළපුරුදු අත්දැකීම් ලබාගැනීමේ මහඟු අවස්ථාව උන්වහන්සේ විසින්ම ලබාගෙන ඇත.

ඉංග්‍රීසි ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කළ දකුණු පළාතේ විද්වතකු එක්තරා අවස්ථාවක මා සමඟ පැවසුවේ, “ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ වැනි ශ්‍රේෂ්ඨ පැවිදි උතුමකු දැකීමට, ඇසුරු කිරීමට එතුමාට අවස්ථාව නොලැබුණු බවත් මා උන්වහන්සේ දැකීමට හා ඇසුරු කිරීමට වාසනාවන්තයකු වූ බවත්ය.

ජාත්‍යන්තරයේ විවිධ පුද්ගලයෝ උන්වහන්සේ හඳුනති. පුද්ගලික චරිතය, ලබාගත් විවිධ අත්දැකීම් පිළිබඳ විවිධ අර්ථකථන සහිත තොරතුරු උන්වහන්සේ ඇසුරු කළ අය පවසති. ලියති.

කතරගම ගම්උදා භූමියට විවෘත රථයක ආනන්ද මෛත්‍රෙය හිමියන් වඩා හිඳුවා වැඩම කරවමින් ගෞරව උපහාර දක්වා හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා විසින් පෙරටුකරගෙන ගෙන යන ලදී.

බුලත්ගම උන්වහන්සේගේ නන්දාරාමය පැවැති ආශ්‍රම ප්‍රදේශය ගම්උදා ප්‍රදේශයක් කරන බවට හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා පොරොන්දු වී ඇත. නමුත් එතුමා 1989 මැයි 01 වැනි දින ඝාතනය විය. එවිට නාහිමියන් පැවසුවේ අපේ අවාසනාවකට ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය බවත් එසේ නොවුණි නම් බලන්ගොඩ බුලත්ගම ගම්උදා ප්‍රදේශයක් වන බවත්ය. එමෙන්ම බන්ගොඩ ප්‍රදේශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීම සඳහා රියෙන්සි අලගියවන්න මැතිතුමා වැනි ඉංග්‍රීසි බුද්ධිමතුන් බලන්ගොඩ මහා විද්‍යාලය ආරම්භයේ ගෙන ඇත. පසුව එතුමා දිවයිනේ අන්ධ, ගොළු පාසල්වල නිර්මාතෘ විය.

ජාත්‍යන්තරයේ ප්‍රභූන්ට විසඳිය නොහැකි ප්‍රශ්නයක් ජපන් ජාතික ශොකෝ අසහාරාට විසඳා දී ඔහු අමන්දානන්දයට පත් කළේය. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ශොකෝ අසහාරතුමා විසින් නාහිමියන්ගේ බුලත්ගම නන්දාරාමයේ ආශ්‍රමය හා දෙමහල් පුස්තකාල ගොඩනැඟිල්ල ඉදිකර පරිත්‍යාග කරන ලදී.

දේශීය වෛද්‍යවරයකු විසින් ඇස් පෙනීම සඳහා පයේ මාපටඟිල්ලේ ඖෂධ බැඳීමට උන්වහන්සේ එකඟවූ අතර එසේ සිදුකර ගන්නා ලදී. සමහර බටහිර වෛද්‍යවරු එය හාස්‍යයට ලක්කළෝය. විටෙක තම දෙනෙතට පෙනීම ලබා ගැනීම සඳහා බලන්ගොඩ අසල ගම්මානයක ශාස්ත්‍රකාරියක් ලවා ඖෂධ වට්ටෝරුවක් ද ලබාගෙන පාවිච්චි කළ බව ද මම දනිමි.

එවකට බලන්ගොඩ මහා විද්‍යාලයේ විද්‍යාර්ථීන් ලෙස සිටියදී රජයේ විභාග ප්‍රතිඵල දැනගැනීම සඳහා “භූත ලැල්ල (PL ANCHET, TUMBLE TALKING)” වැනි සරල භූත ක්‍රමවේද මගින් දැනගත හැකි බවත් එය ප්‍රායෝගිකව යෙදන හැටිත් උන්වහන්සේ අප දැනුවත්කර ඇත. ඒ අනුව එම ක්‍රම මගින් රජයේ විභාගවල ප්‍රතිඵල ලැබිමට ප්‍රථම නිවැරදි ප්‍රතිඵල
දැනගැනීමට හැකිවිය.

කතෝලික පියතුමකුගෙන් මෝහන විද්‍යාව හා ප්‍රායෝගික අභ්‍යාස වැඩිදුර ඉගෙනගෙන ඇත. භාවනාවේදී ලබාගත් සමාධිය නැතිවී ගිය විට එම සමාධිය නැවත කෙසේවත් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මදුරාසියේ රමණ මහා සෘෂීන් හමුවට ගොස් එම සමාධිය ප්‍රේෂණය කරගෙන ඇත. හිමාලයේ යෝගී සිවානන්ද වැනි කුණ්ඩලීනී ශක්තිය පුබුදුවාගත් උත්තමයන් හා සාකච්ඡා කර එහි අභ්‍යාසවල යෙදී ප්‍රතිඵල ලබා ඇත. කතරගමදී ගිනි පාගන අවස්ථාවක කතරගම දෙවියන් දුටු බව පවසයි. (බුදු බව පතන – ග්‍රන්ථය)

භාවනාවේ යෙදී සිටියදී යම් යම් අවස්ථාවල විශ්වයේ සිටින උසස් පරදත්ථූප ජීවී (නැවත උපත නොලැබූ – ගන්ධබ්බ) කොට්ඨාස සමඟ සාකච්ඡා කළ බව උන්වහන්සේ සඳහන් කළ සේක. උන්වහන්සේ මුල් අවධියේ පැවිදි කළ විශිෂ්ට ගෝලයකු වූ වැලිගෙපොල මෛත්‍රීමූර්ති හිමිනම යෞවන වියේදීම අකාලයේ අපවත් විය. මෙම සිද්ධියෙන් මහත් චිත්ත ව්‍යාකූලත්වයට පැමිණි උන්වහන්සේ නාඩි වාක්‍ය මගින් තම ගෝලයා නැවත භාරතයේ බ්‍රාහ්මණ කුලයක උපත ලැබූ බව අසා එම ස්ථානයට වැඩම කරවා ඔහු බැහැදැක කතාබස් කළ බව පැවසූහ.

එවකට කොළඹ පදිංචිව සිටි මුස්ලිම් ජාතික අක්බාර් විනිශ්චයකාරතුමා තමාගේ මිත්‍රයකු බැවින් නිතරම හමුවීමට ගොස් ඇත. එතුමාගේ නිවසට ඇතුළුවීම සඳහා වූ ගේට්ටුව විවෘත කිරීමට හා වැසීමට ජා (මැලේ) කොලුවකු රඳවා ඇත. දිනක් උන්වහන්සේ ඇමතූ අක්බාර් විනිශ්චයකාරතුමා ‘ඔබ වහන්සේ දන්නවාද? මගේ ගේට්ටුව ළඟ ඉන්න අර කොලුවා’ ඒ භූතයකු බවත් ඔහු එම ස්ථානයේ සේවයට තබා ඇති බවත් උන්වහන්සේ දැනුවත් කළහ. අක්බාර් විනිශ්චයකාරතුමා මන්ත්‍ර ශාස්ත්‍ර මැනවින් උගත් අයකු බවත් නාහිමියන් දැන සිටියේය. එසේම උන්වහන්සේගේ රූපකාය මනෝකායෙන් බලංගොඩදී එක් අවස්ථාවකදී අපට දැකීමට සලස්වා ඇත. සියලුම මන්ත්‍ර ශාස්ත්‍ර මෙන්ම පාර විද්‍යාව ඇසට නොපෙනන සියලුම ගුප්ත විද්‍යා උන්වහන්සේ බැහැර නොකර විශ්වාස කළ අතර ඒ සියල්ල තමාගේ සිත හා කයේ උත්තරීතර ලබා ගැනීමට හා ගිහි පැවිදි අන් අයට වඩා විශිෂ්ට ලෞකික, ලෝකෝත්තර දැනුමින් පෝෂණය කරවීමට ඉවහල් වූ බව සඳහන් කරමි. උන්වහන්සේ අවුරුදු 102 ක් වූ දීර්ඝායු (1896/08/23 – 1998/07/18) වැළඳූ සේක. එසේම උන්වහන්සේගේ ආදාහනයෙන් පසු සියලුම සිරුරු කොටස් භෂ්මාවශේෂ වුවත් මොළය භෂ්මාවශේෂ නොවී ඉටි මෙන් ඝනව අදත් පවතිනු දක්නට ඇත. 2022/07/18 දිනට යෙදී ඇති උන්වහන්සේගේ 25 වැනි ගුණානුස්මරණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සටහන් කරනු කැමැත්තෙමි.

බලන්ගොඩ කේ.කේ.එච්. දයානන්ද
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment