‘බලන්ගොඩ නාහිමි’ දශක තුනකට එපිට මතකය

232

මහනාහිමියන් ආදරය කළේ පොත් වලටය. ආශා කළේ පොත්වලටය. පොත් අතරම වැඩසිටි උන්වහන්සේට පොතින් තොර ලොවක් නොවීය. ඕනෑම කලබලකාරී අවස්ථාවක පොත් කියවන්නටත් පොත් ලියන්නටත් හැකි මානසික තැන්පත් බවක් උන්වහන්සේ සතු ය. විහාරස්ථානවල බණට වඩිති. බණ පටන් ගන්නා තෙක් ඉතා කලබලකාරී ඝෝෂාකාරී පරිසරයක් එම ස්ථානවල එදා පැවතිණි. හේවිසි නාද, නැටුම් ගැයුම්, සල්පිල්, ශබ්ද විකාශන යන්ත‍්‍රවල ඝෝෂාව මේ සියල්ල මැද මහනාහිමි සමාධිගතව පොත් කියවති. ලිපි ලේඛන ලියති.
 
 ඉහත සටහන උපුටා ගනු ලැබුවේ ‘‘මා දුටු මහානාහිමි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි” මැයෙන් කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රීමූර්ති නාහිමි රචනා කළ ලිපියකිනි. සීලයෙන්, ගුණයෙන්, ප‍්‍රඥාවෙන්, ධර්ම ඥානයෙන් සෝභමානවත් වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි අපවත්වී පසුගිය 18 වැනිදාට වසර 23ක් සපිරිණි. උන්වහන්සේගේ අපවත්වීම සිදු වුණේ 1998 වසරේදීය. 98 වසරේ ජුලි මාසයේ බලන්ගොඩදී පැවති ආදාහන පූජොත්සවයට එතෙක් බලන්ගොඩ නගරයට පැමිණි අතිවිශාල ජනකායක් රොක් වී තිබිණි. ඒ මතු බුදු බව පතන නාහිමියන්ට ගෞරවය දැක්වීම සඳහාය. මමත් ඒ ජනකාය අතර සිටි කෙනෙක්මි. අපේ පන්සල වන මහරගම ආනන්ද මෛත‍්‍රී මාවතේ ශී‍්‍ර චන්ද්‍රශේඛරාරාමය බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රය නාහිමියන් වැඩ විසූ විහාරස්ථානයකි. ඒ හා බැඳුණු සුවිශේෂ ඉතිහාසයක්ද පවතී. 70 – 77 ආණ්ඩුවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලන්ගොඩ නාහිමියන් බැහැදැකීම ස`දහා එදා මහරගම වටේවත්ත ලෙස ප‍්‍රකටව පැවති අපේ පන්සලට පැමිණියේ නියරක් දිගේ බව පැරැන්නෝ කියති. මන්ද ඒ කාලයේ වෙල් යායෙන් වටවූ පන්සල් ඉඩමේ කුඩා කුටියක උන්වහන්සේ වැඩ සිටියහ. වර්තමානයේ එම කුටිය බලන්ගොඩ නාහිමියන් ජීවමානව වැඩ සිටි කාලයේ පරිහරණය කළ සියලූ උපකරණ තැන්පත් කර විශේෂ කෞතුකාගාරයක්ද බවට ඉදිකර ඇත. උන්වහන්සේගේ අත්අකුරින් සටහන් තැබූ ලේඛන මෙන්ම පරිහරණය කළ පුස්තකාලය එහි පිහිටා තිබේ. ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳ ලියැවී ඇති පොත් රාශියක්ම මහනාහිමිපාණන් විසින් කියවා තිබිණි. ඒ සෑම පොතකම අවසාන පිටුවෙහි පොත පිළිබඳ තම අදහසක් කෙටියෙන් සඳහන් කර ඇත. එය තම අත් අකුරෙන්ම ලියා ඇත. ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍ය තුළින් ලියන ලද ග‍්‍රන්ථ සංඛ්‍යාව සියය ඉක්මවා ඇත. පුවත්පත් ස`ගරා ආදියෙහි පළ වී ඇති ලිපිලේඛන දහස් ගණනකි. ලියන ලද කෘති අතර ‘ශාක්‍යමුනීන්ද්‍රවාදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය’’ හැම දෙනාගේම ගෞරවයට පාත‍්‍ර වූ කෘතියකි.
 
 බලන්ගොඩ නාහිමි මතකය යළි අවදි කරන විට ඇමෙරිකානු ජාතික බෝධි හිමියන් විසින් රචිත ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු විය. උන්වහන්සේ බලංගොඩ නාහිමියන් හමුවීමට මුලින්ම පැමිණ ඇත්තේ 1971 දීය. උන්වහන්සේ බලන්ගොඩ නාහිමියන් සමග උඩුමුල්ල ශී‍්‍ර නන්දාරාම විහාරයේ අවුරුදු දෙකහමාරක් (1975 සිට 1978 දක්වා) වාසය කරමින් ධර්මය හදාරා ඇත. එම ලිපියේ අවසානයේ නාහිමියන් අපවත් වීමට පෙර මහරගම ශී‍්‍ර චන්ද්‍රශේඛාරාරාමයට පැමිණි අවස්ථාවන් ගැනද සටහන් කර ඇත. ඉංගී‍්‍රසි ලිපියක පරිවර්තනයක් වූ මෙය මහරගම තරුණ බෞද්ධ සංගමය මගින් පල කළ ‘අර්ථසාදනී’ දහම් ග‍්‍රන්ථයට එක් කර තිබිණි. බෞද්ධ ජනතාවගේ පහන් සංවේගය සඳහා එම ලිපියෙන් කොටසක් මෙලෙස උපුටා දක්වමි. මේ සියල්ල අතීත මතකය යළි සිහි කිරීම සඳහාය.
 
 උන්වහන්සේ දෙවැනි වරට මුණගැසුණේ අපවත් වීමට අවුරුද්දකට පෙරය. මිතුරන් පිරිසක් සමග අතිපූජ්‍ය පියදස්සි ස්වාමීන් වහන්සේගේ අසූ තුන්වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වූ දානයකට සහභාගි වීමට ගොස් සිටියෙමි. ආනන්ද මෛත්‍රෙය හිමියන් මහරගම වැඩ සිටින බව මා දැන සිටියෙන් එහි යෑමට ද මා සිතාගෙන සිටියෙමි. මේ හමුවීමට මට විශේෂ හේතුවක්ද විය. මැලේසියාවේ බෞද්ධයන්ගේ මූලිකත්වයෙන් පළ කරන ලද Great Chronicles of Buddha නම් ග‍්‍රන්ථයක් මට ලැබී තිබිණි. එය ලියන ලද්දේ මියන්මාරයේ පූජ්‍ය මින් ගුන් සේඩෝ ස්වාමීන් වහන්සේ විසිනි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී අනුගමනය කළ ආධ්‍යාත්මික මාර්ගය එහි සටහන්ව තිබිණි. ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ ද මේ මඟ අනුගමනය කරන බව මා දැන සිටියෙමි. මේ ග‍්‍රන්ථය උන්වහන්සේ අතට දීමට මට විශේෂයෙන්ම අවශ්‍ය විය. වාසනාවකට මට උන්වහන්සේ හමුවීමට ලැබිණි. ඒ ග‍්‍රන්ථ දෙකද උන්වහන්සේට දුනිමි. පොත් කට්ටල ලැබූ විගසම උන්වහන්සේ එය කියවීම ආරම්භ කළහ. ඊට මාස කීපයකට පෙර උන්වහන්සේට මියන්මාරය විසින් අභිධාර විහාරස්ථ ගුරු යන අභිධානය පිරිනමා තිබිණි. එය එරට විසින් බෞද්ධ යතිවරයකුට පිරිනමන ඉහළම අභිධානයයි. එය පිළිගැනීම සඳහා උන්වහන්සේගේ ගිය ගමන ගැන මෙහිදී කතා කළහ. උන්වහන්සේගේ කුටියෙන් පිටව එළියට ආ කෙණෙහි, විස්සක් තිහක් පිරිස උන්වහන්සේ බැහැදැකීමට පැමිණ සිටිනු දැක පුදුම වීමි. උන්වහන්සේගේ කුටිය වෛද්‍යාචාර්ය කෙනකුගේ කාමරය හා සදිසි විය. එකම වෙනස නම් ඒ පිරිස පැමිණ සිටියේ කය සුවපත් කර ගැනීමට නොව, තම ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමට වීමයි. මා උන්වහන්සේ තුන්වන වරට මුණගැසුණේ අපවත් වීමට මසකට පෙරයි. අසාධ්‍ය තත්ත්වයෙන් පෙළුණු අතිපූජ්‍ය පියදස්සී ස්වාමීන් වහන්සේ බැලීමට පැමිණි වේලේ, ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ ද එහි රෝහල්ගතව සිටින බව දැනගතිමි. තායිවානයේ හා තායිලන්තයේද වැඩම කිරීමේදී උන්වහන්සේගේ සෙම් අමාරුව වැඩි වී පෙණහලූ ආසාදනයට පත්ව ඇති බව දැනගතිමි. උන්වහන්සේ බැලීමට තව පිරිසක් සමග රෝහලට ගිය මුත් පෙර දින උන්වහන්සේ රෝහලෙන් ආපසු මහරගම විහාරයට ගොස් ඇති බව දැනගතිමි. අප වහා එම පන්සලට ගියෙමු. අපට පෙනුණේ උන්වහන්සේ එතරම් අපහසුවක් නොමැතිව වැඩ සිටින අයුරුයි. මඳ සෙම් අමාරුවක් පමණක් ඇති බව පැවසූ උන්වහන්සේ සමථ භාවනාව පිළිබඳව ඉතා දීප්තිමත් විස්තරයක් කළහ. වස්සාන සමයට පෙර උන්වහන්සේ බලන්ගොඩ විහාරයට වඩිනු ඇතැයි අපි විශ්වාස කළෙමු. වස්සාන සෘතුවෙන් පසු මා සිතා සිටියේ වඩා දිගු කලක් උන්වහන්සේ සමග එහි ගත කිරීමටය. උන්වහන්සේ හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටි බව පෙනිණි. මනස ද ඉතා විචක්ෂණ බව ද දුටිමි. තව වසර කිහිපයක්වත් උන්වහන්සේ ජීවත් වනු ඇතැයි සිතීමි. එහෙත් අර පොඩි සෙම් අමාරුව උත්සන්න වී ඉන් මාසයකට පසු උන්වහන්සේ අප තුළ දුක් වේදනාවන් ද, යහපත් මතකයන් ද ඉතිරි කර අපගෙන් වියෝ වූහ.

– චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment