බලන් නැතුව ගිහින් ගිල්ලොත් ‘කෑම’ කඩේ හොයාගන්න බෑ මහතුනෙ හැදෙන ලෙඩේ!

963

ආපන ශාලාවලින් 18% ක ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසුයි
අසතුටුදායක තත්ත්වයේ ආපනශාලා වැඩිම කොළඹ…
මෙරට ආහාරපාන කර්මාන්තයේ 60% ක් ආහාරපාන නිෂ්පාදනයට පරණ ආහාර ගන්නවා…
දවස ගාණෙ ෆ්‍රයිඩ් රයිස් කාපු දහතුන් හැවිරිදි දරුවට සීනි…
ප්‍රමිතියක් නැති අපිරිසිදු ආහාර පරිභෝජනයෙන් පිළිකා ඇති වෙයි…

සෞඛ්‍ය 800 වර්ගීකරණ අකෘති පත්‍ර දත්ත විශ්ලේෂණයට අනුව මෙරට ආපනශාලා කාණ්ඩ තුනකට අයත් වේ. සුපිරි තත්ත්වයේ තිබෙන ආපනශාලා ‘ඒ’ කාණ්ඩය යටතේ ද, සතුටුදායක තත්ත්වයේ පවතින ආපනශාලා ‘බී’ කාණ්ඩය යටතේද, අසතුටුදායක තත්ත්වයේ පවතින ආපනශාලා ‘සී’ කාණ්ඩය යටතට ද අයත් වේ. ඒ අනුව මෙරට ආපනශාලාවලින් 27% ක් ‘ඒ’ කාණ්ඩයට ද,

55% ක් ‘බී’ කාණ්ඩයට සහ 18% ක් ‘සී’ කාණ්ඩයට අයත් වේ. අසතුටුදායක තත්ත්වයේ පවතින ‘සී’ කාණ්ඩයේ ආපනශාලාවලින් බොහෝමයක් ඇත්තේ බස්නාහිර පළාතේය. ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බව ද වාර්තා වේ. කතාව එසේ පෙළගැසෙන විට අසතුටුදායක ආපනශාලා සොයාගෙන පසුගිය දිනක අපි කොළඹ නගරයේ වටයක් ගියෙමු.

ප්‍රථමයෙන් අපි පිටකොටුව ප්‍රධාන වීදියේ පිහිටි නම කියූ විට රටම දන්න ආපනශාලාවක් තුළට ඇතුළු වීමු. කෑම මේස සහ පොළොව පිරිසිදුය. වීදුරු පෙට්ටිවල කෑම ද පිළිවෙළට තබා තිබෙන අයුරු පෙනේ. දෑත් පිරිසිදු කරන ජල කරාමය සහිත බේසම ද පිරිසිදුය. බැලූ බැල්මට කෑම කඩේ සුපිරිසිදුය.

ටොයිලට් එකට යන්න පුළුවන්ද? අයකැමියේ සිටි තරුණයාගෙන් මම විමසුවෙමි.

‘අර පඩිපෙළෙන් උඩට ගිහින් ටොයිලට් එක තියෙන තැන අහන්න. එතකොට පෙන්නයි…’ තරුණයාගේ මඟපෙන්වීමට අනුව මම පියගැට පෙළ නැග්ගෙමි. ඉහළ මහළ තනිකරම පෝරණුවකි. එළවළු, හාල් විවිධ බඩු තැන, තැන ගොඩ ගසා තිබේ. ගබඩා කාමරයට යාබද කාමරය ද විවෘතය. මම හිස එබුවෙමි. එක පෙළට නිදන ඇඳන්ය. ඇඳ ඇතිරිලි සී, සීකඩය. ඇඳුම් කඩමලු තැන තැනය. කිළිටි ගඳ තැම්බෙන විට නැඟෙන දුගඳින් නාස් කුහර දැවී, ඉහ මොළ ද රත් විය. මම කාමරයෙන් හිස එළියට ගෙන පියවර කිහිපයක් ඉදිරියට ගියෙමි. ගබඩා කාමරයට පිටුපස මුළුතැන් ගෙය දුම් ගෙයක් වැනිය. විසල් හට්ටි මුට්ටි, කල්දේරම්, බාස්කට්, බාල්දි තැන, තැනය. ගෑස් ලිපක රත්වෙන තාච්චියේ උතුරන තෙල් කළු පාටය. ටයිල් පොළවේ ඉඳුල් දිය, ඉහිරුණු ජලය අප්‍රියජනකය.

‘මහත්තයා ඇයි…’ බීඩියක් ඇඟිලි තුඩුවලට ගත් තලස්තෑනි කේඩෑරි මිනිසෙක් ප්‍රශ්න කළේය.

‘ටොයිලට් එකට යන්න’

‘අර තියෙන්නෙ…’ ඔහු අන්දකාර දොරුවක් පෙන්නුවේය. කෑම පිසින මුළුතැන් ගෙය තව, තවත් විපරම් කරමින් මම වැසිකිළියට ගියෙමි. වළ කක්කුසියක් වැනිය. ගඳ, සුවඳ දැනෙන ඉන්ද්‍රියන් සහිත මිනිසුන්ට ඒ වැසිකිළියට යා නොහැකිය. මම ක්‍ෂණයෙන් හැරුණෙමි. එම හෝටලයේ යට මහළ සුපිරිය. කෑම පිසින මුළුතැන් ගෙය, නිදන කාමරය, වැසිකිළිය සහිත උඩ මහළ මිහිපිට අපායකි. මුළුතැන්ගෙයි වැඩ කරන සේවකයන් යමපල්ලන් වැනිය. දිස්න දෙන සුදු යකඩ අසුන්වල හිඳගෙන සුපිරිසිදු මේස මත තබාගෙන කිරි පාට පිඟන්වල කන කෑම උයන තැන දකින මිනිසුන් එම හෝටලය දෙස නොබලන බව සැබෑය. පිටකොටුව ප්‍රධාන වීදිය දිගට තිබෙන බොහෝ හෝටල්වල කෑම උයන මුළුතැන් ගෙවල්වලට අපි ගියෙමු. ඒ සියලු ආපනශාලාවල මුළුතැන් ගෙය සහිත ඉහළ මහළ කීර්තිමත් නාමය සහිත ආපනශාලාවේ උඩුමහළට නොදැවෙනිය. පිටකොටුවේ පමණක් නොව කොළඹ ජාතික රෝහල ආසන්නයේ, වැල්ලවත්ත, දෙහිවල ආපනශාලා කිහිපයක මුළුතැන් ගෙයට අපි එබිකම් කළෙමු. පෝරණු වැනි එම මුළුතැන් ගෙවල් ද මිහිපිට

අපායක්ම ය. ඇතැම් ආපනශාලාවල මුළුතැන් ගෙයි වැඩ කරන සේවකයන් පමණක් නොව, වේටර්වරු ද පේරේත පාටය. ඇඟලාගෙන සිටින වස්ත්‍ර පිච්චෙන්නෙ නැති තරමට කිළිටිය. එමෙන්ම ගාලු මුවදොර, පිටකොටුව, මරදාන, පංචිකාවත්ත විවිධ ප්‍රදේශවල පෙට්ටි කඩවල රෝල්ස්, පැටිස්, වඩේ බදින තෙල් තාච්චියට ද එබිකම් කිරීමට අපි සූක්‍ෂම වීමු. එම තාච්චිවල තිබෙන තෙල් ද කළු තෙල් වැනිය. (වාහනවලින් ඉවත් කරන ඔයිල්) ගාලු මුවදොර පිටියේ දුව පැන සෙල්ලම් කරන පුංචි දරුවො, බංකු මත පෙම්බස් දොඩන පෙම්වතුන්, නිදහසේ ඇවිද යන වැඩිහිටියන් ද පෙට්ටි කඩවල කෑම රස කර කන අයුරු මුහුදු මාවතේ ඇවිද යන අපි දුටිමු.

ක්‍ෂණයෙන් මගේ සිත ඇල්පිටිය, ඌරගස්මංහන්දියට දිව ගියේය. එම ප්‍රදේශයේ පදිංචිව සිටි, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ අංශයේ උසස් පෙළ හදාරමින් සිටි දැහැමි අයේෂාන් පතිරාජ සිසුවා අකාලයේ මිය පරළොව ගියේ රාත්‍රීයේ ආහාරයට ගෙන ඇති කොත්තුවක් විෂ වී බව මරණ පරීක්‍ෂණයේදී සනාථ වී තිබිණි. හිමිදිරියේ සිට පිළිණුවෙන ආහාරවල ලට්ට, පට්ට එකතු කර, රොටි කෑලි, බිත්තර, මස් කැබැල්ලක් රසකාරක, සෝස්, ඉඟුරු, සුදුලූනු, මිරිස්, ගම්මිරිස්, ලුනු මිශ්‍ර කර රත්වෙන තැටියක කොටා ගුලි කර දෙන ‘කොත්තු සම්බෝලය’ ආහාරයට ගෙන විෂ වී මියගියේ අයේෂාන් පමණක් නොවේ. මෙරට විවිධ ප්‍රදේශවලින් එවැනි මරණ වාර්තා වී ඇති බව සැබෑය. කඩ කෑම කා තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ මිනිසුන් ගැන ද විටින්, විට වාර්තා වූ අවස්ථා තිබේ. දඩ මස් වෙනුවට ‘බලු මස්’ දෙන ආපනශාලා කැලෑ ආශ්‍රීත ප්‍රදේශවල බහුලය. එහෙයින් මෙරට ආපනශාලාවල අපිරිසිදුකම, ඇතැම් ආපනශාලාවල අලෙවි කරන කුණු කෑම ගැන කතා කර අවසාන කළ නොහැකි තරම්ය.

පිටරටවලින් ආනයනය කරනු ලබන මිනිස් පරිභෝජනයට නුසුදුසු කුණු අල, ලූනු රට පුරා අවන්හල් සහ භෝජනාගාරවලට කුණු කොල්ලයට බෙදාහැරීමේ ජාවාරමක් ගැන පසුගිය දිනක දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ද හෙළිදරව් කළේය. වරාය අධිකාරියේ දූෂිත නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව නිදහස් කරගෙන තිබූ කුණු අල, ලූනු තොගය සුද්ධ පවිත්‍රකොට බෙදාහැරීම සිදු කොට තිබුණේ දඹුල්ල නගරයේ තොග ගබඩාවකිනි. කුණු අල, ලූනු වෙළෙඳාම මෙරට සුපිරි ජාවාරමකි. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත හෙළිදරව් කිරීමට පෙර සහ අද ට ද මහා පරිමාණයෙන් කෙරෙන ජාවාරමකි. කුණු අල, ලූනු සුද්ධ පවිත්‍ර කොට අලෙවි කිරීම මහා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ පිටකොටුව හතරවෙනි හරස්වීදියේ තොග ගබඩාවලය. එම ගබඩාවල බඩු ඔසවන නට්ටාමි කෙනෙක් කතාවට සම්බන්ධ කරගනිමින් කුණු අල, ලූනු වෙළෙඳාමේ විස්තරේ අපි විමසා බැලුවෙමු.

“මේවා පරණ කතා. කාලයක ඉඳලා කොලිටියෙන් බාල අල, ලූනු තොග පිටින් වෙළෙඳාම් කරනවා. මිනිස්සු ඒවා ගෙවල්වලට ගෙනියන්නෙ නෑ. තොග පිටින් ගන්නෙ කෑම කඩවලට. මේ පිටකොටුවේ සියලු කෑම කඩවලට අල, ලූනු ගන්නෙ හතරවෙනි හරස්වීදියෙන්. ජූස් හදන්න ගන්නෙ හතරවෙනි හරස්වීදියේ තොග කඩවල පරණ වෙච්ච පළතුරු. මස් නම් කොහොමද දන්නෙ නෑ. පිටකොටුවේ විතරක් නෙමෙයි, නොයෙක් ප්‍රදේශවල අපනශාලාවල අය පෑලියගොඩ මාළු කඩේට ඇවිත් හොයන්නෙ අඩුම මිලට කොලිටියෙන් බාලම මාළු. මැනිං මාර්කට් එකේ පැත්තකට කරන එළවළුවලට මිලක් කියලා තොගයට ගන්නවා. ඒ බඩු මළු උස්සලා ලොරිවලට පටවන්නෙ අපි. ඒත් බඩගින්නට මේ හෝටල්වලින් කනවා, බොනවා. ඌරන්ට මොන සෞඛ්‍යය ද මහත්තයා… ඒවා අපිට ගාණක් නෑ…” බීඩි දුමට දිරා ගිය මැලියම් බැදුණු දත් පෙන්නා හේ සිනාසීය. අපි ඔහුට සමු දී සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ට ඇමතුමක් ගෙන ආපනශාලාවල නිෂ්පාදනය කෙරෙන කෑමවල ගුණාත්මක තත්ත්වය ගැන විමසා බැලුවෙමු.

බලන් නැතුව ගිහින් ගිල්ලොත් ‘කෑම’ කඩේ හොයාගන්න බෑ මහතුනෙ හැදෙන ලෙඩේ!

‘අපේ රටේ ආහාරපාන කර්මාන්තයේ නියැළී සිටින 60% ක් ආහාරපාන නිෂ්පාදනයට, පරණ ආහාර අමුද්‍රව්‍ය ගන්නවා. සමහර ආපනශාලාවල ව්‍යාංජනවලට කෑලි අල, ලූනු, නරක් වෙන්න ගිය එළවළු, කොලිටියෙන් බාල මාළු ගන්නවා. පරණ සැමන් තොග පිටින් ගන්න අපනශාලා තියෙනවා. සාමාන්‍ය හෝටල්වල විතරක් නෙමෙයි, සුපිරි ආපනශාලාවලටත් පරණ ආහාර තොග පිටින් ගන්නවා. පොල් තෙල්වලින් දෙපාර, තුන් පාර බදිනවා. ෆුඩ් සැලට්, ෆුඩ් ජූස්වලට ගන්නෙම පරණ පලතුරු. බඩු තොගවල මිල ගොඩක් අඩු වෙනකොට ලැබෙන ලාභය ඉහළ යනවා. අපේ රටේ සමහර ආපනශාලා හිමිකරුවො ලාභ ගන්න ඕනෑම මළජාරාවක් පාරිභෝගිකයන්ට කවනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල, රෝහල්වල කැන්ටින් ටෙන්ඩර් කැඳවන්නෙ අවම මිලට. ටෙන්ඩරය ගන්න ආපනශාලාකාරයො ඒ මිලට කෑම දෙන විදිහ ගැන ආයතන ප්‍රධානීන් හිතන්නෙ නෑ. කොලිටියෙන් බාල ආහාර පරිභෝජනයට ආපනශාලා හිමිකරුවන්ව හුරුකරන්නෙත් රාජ්‍ය නිලධාරීන්ම තමයි. ඇතැම් පාරිභෝගිකයනුත් කෑමවල ගුණාත්මක බව, අපනශාලාවේ පිරිසිදුකම ගැන බලන්නෙ නෑ. මිල අඩු නම්, රසට, ගොඩක් කෑම ටික දෙනවා නම් රොද බැඳගෙන ඒ කඩේට රිංගනවා. මළ ජරාව ආහාරයට ගෙන හැදෙන ලෙඩ ගැන හිතන්නෙ පස්සෙ…” අසේල සම්පත්ගේ කතාව සැබෑය. පෙළගැසෙන කතාවට දෙහිවල ආපනශාලාවකදී අපට හමු වූ වේටර්වරයෙක් කියූ මේ වචන ටික කදිම රසකාරකයකි.

“කෑම රසට සහ ගොඩක් දුන්නොත් තමයි පාරිභෝගිකයො වැඩිපුර එන්නෙ. ඒ නිසා හෝටල්වල හදන සියලු කෑම රස කරන්න එක එක ජාතියේ රසකාරක එකතු කරනවා. මම කඩේක වැඩ කළාට ඇත්ත කතා කරන්න ඕනෑ. පහුගිය කාලේ හැමදාම රෑට ගෙදර යනකොට ප්‍රයිඩ් රයිස් එකක් අරගෙන ගිහින් දුවගේ දරුවට දුන්නා. මේ මෑතක දරුවා අසනීප වෙලා බෙහෙත් ගන්න ගිය වෙලාවක ලේ පරීක්‍ෂාවක් කරලා. දෙසීය හැත්තෑ ගාණට දරුවට සිනී තිබිලා. පුතාට වයස තවම අවුරුදු දහතුනයි. දැන් දරුවට ආසාවට ප්‍රයිඩ් රයිස්, කොත්තු කන්න දෙන්නෙ නෑ. ඇත්තම කතාව නම් හැමදාම කඩ කෑම කන අයගේ ආයුෂ කෙටියි. අපිත් ඒ අතර ඉන්නවා. ඒත් ජීවත් වෙන්න කඩේක වැඩ කරනවා…’ මනුස්සකම හඳුනන මිනිස්සු කොහෙත් සිටිති. අපට කතා කළ වේටර් සද්භාවයෙන් කතා කළ බව ද හැඟේ.

ප්‍රයිඩ් රයිස්, කොත්තු රොටි, පිටි කෑම බහුලව ආහාරයට ගැනීම කොලොස්ටරොල්, දියවැඩියාව වැනි රෝග ඉක්මනටම වැළඳගැනීමක් බව සැබෑය. එමෙන්ම අපවිත්‍ර වැසිකිළියකට යාබදව, ජල පරිභෝජනය අවම, අපිරිසිදු මුළුතැන් ගෙයක, කැහි හොටු හළාගෙන, අපිරිසිදු මිනිසුන් පිසින ආහාර අනුභව කිරීම පාචනයෙන් එහා ගිය පිළිකා වැනි මරාන්තික රෝග ඇති කරන විෂ බීජ ද ශරීරගත කරගැනීමක් බව සැබෑය. ආහාර නිෂ්පාදනය සඳහා නැවත, නැවත භාවිතා කරන පොල් තෙල්වලින් පිළිකා කාරක ඇති වන බව පෝෂණවේදී අසංක සුපුන් ද අපට පැවසීය.

“අපේ රටේ ආහාර නිෂ්පාදන ආයතන බොහොමයක් භාවිතා කරන්නෙ පොල් තෙල් නෙමෙයි, ෆාම් ඔයිල්. ඒකත් නැවත, නැවත භාවිතා කරනවා. ඒක අති භායනක තත්ත්වයක්. ඒ වගේම බොහොමයක් ආපනශාලාවල ෆුඩ් ජූස් වගේ දේවල් හදන්න වැඩිපුර භාවිතා කරන්නෙ සිනී නෙමෙයි, සැකරින් වගේ දේවල්. ඒ දේවල්වලිනුත් පිළිකා හටගැනීමට තියෙන ඉඩ කඩ වැඩියි. එළවළු පරණ වෙනකොට දීලිර, බැක්ටීරියා හැදෙන ප්‍රවණතාවයත් වැඩියි. විශේෂයෙන්ම කුණු කාණුවල හැදෙන කංකුං වගේ පලා වර්ගත් ආපනශාලාවල ආහාර නිෂ්පාදනයට යොදාගන්නවා. එම පලා වර්ග හරියට සේදීමක් වෙන්නෙත් නෑ. විෂ බීජ ගොඩක්. එවැනි පලා වර්ග, පරණ එළවළු ආහාරයට ගැනීම ශරීරයට ලෙඩ ගොඩක් එකතු කරගැනීමක්. ඒ වගේම මස් ආහාරයට ගන්න සෙල්සියස් අංශක සීයට රත් වෙන්නම ඕනෑ. නැති නම් මස්වල තියෙන විෂ බීජ යම් මට්ටමකට මැරෙන්නෙ නෑ. ගෑස් මිල වැඩිවීමත් එකක් විෂ බීජ මැරෙන තත්ත්වයට මස් රත් නොකෙරෙන්න පුළුවන්. එවැනි ආහාර පරිභෝජනය කිරීම තුළ විෂ බීජ ශරීරගත වී මාරාන්තික තත්ත්වයන්ට පත් වෙන්නත් පුළුවන්. මාළු පරණ වෙනකොට ඇති වන බැක්ටීරියා ස්නායුවලට තද බල හානිදායක තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන්ම ආහාර පිළියෙළ කිරීම සඳහා යොදාගන්න ජලය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. අපිරිසිදු ජලය යොදාගෙන නිෂ්පාදනය කරන ආහාර අනුභව කිරීම තුළ බෝවන රෝග වැළදීමට තිබෙන ඉඩ වැඩියි. ඒ වගේම පිළිණු කෑම තුළ දිලීර, බැක්ටීරියා, වෛරස් තත්ත්වයන් ඇති වෙනවා. එවැනි කෑම නැවත රත් කළා කියලා විෂ කෙමිකල් නොමරෙන්න පුළුවන්. සමහර වෙලාවට රත් කිරීම නිසා විෂ කෙමිකල් තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පිළිණු ආහාර රත් කර නැවත පරිභෝජනයට ගැනීමත් ඉතාම භායනක තත්ත්වයක්. ඒ වගේම මළ, මුත්‍රා තුළින් ඊකෝලයි බැක්ටීරියාව හටගන්නවා. එම බැක්ටීරියාව ශරීරගතවීමත් සමඟ අමාශය ආශ්‍රීත ලෙඩ හැදීමට තිබෙන ප්‍රවණතාවය වැඩියි. ආපනශාලාවල මුළුතැන් ගෙයත් එක්ක තිබෙන අපවිත්‍ර වැසිකිළි තුළ ඊකෝලයි බැක්ටීරියාව හැදෙන ඉඩ කඩ වැඩියි…”

පෝෂණවේදී සුපුන් පෙන්වා දෙන ආකාරයට මෙන්ම පෙළගැසෙන කතාවට අනුව ප්‍රමිතියෙන් තොර කෑම කඩවල ආහාර අනුභව කිරීම නැති ලෙඩ හදාගැනීමකි. විදුලි බිල, ගෑස් මිල, ප්‍රවාහන වියදම් ඇතුළු සියලුම වියදම් වැඩි වී මෙරට ආර්ථිකය කොත්තුවක් බවට පත් වී තිබෙන පසුබිමක අලෙවිය සඳහා කෙරෙන ආහාර නිෂ්පාදනයට පෙරටත් වඩා පරණ ආහාර අමුද්‍රව්‍ය යොදාගන්නා බව වාර්තා වන අලුත් කතාවකි. ජල බිල් ගාස්තු වැඩිවීමත් සමඟ ඇතැම් ආපනශාලාවල ආහාර පිසීම සඳහා යොදාගන්නා තෙල් මෙන්ම පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා ජලය ද නැවත, නැවත පාවිච්චියට ගන්නා බව වාර්තා වේ. ජල පරිභෝජනය අවම කිරීම සඳහා ඇතැම් ආපනශාලාවල වැසිකිළියට වැටුණු වතුර බාල්දිය ද අඩු වන බව සැබෑය. එවැනි පසුබිමක පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය තවත් වැඩිවනු නිසැකය. උද්ගත වන එම තත්ත්වය පාලනය කිරීම සඳහා 1980 අංක 26 දරන ආහාර පනතට ප්‍රාකාරව ආහාර වෙළෙඳාමට නුසුදුසු, අනුමත ප්‍රමිතීන් පිළිනොගන්නා ආපනශාලාවලට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප සමඟ පැවසුවේය.

“අසතුටුදායක තත්ත්වයේ තිබෙන ‘සී’ කාණ්ඩයේ ආපනශාලා ඉක්මනට ‘බී’ කාණ්ඩයටවත් වැඩිදියුණු කරගැනීමට මේ වන විටත් උපදෙස් ලබාදීලා තියෙනවා. එහෙම කරන්න බැරි ආහාර පරිහරණ ආයතන වහලා දාන්න අපි නියෝග කරනවා…” වැඩේ හොඳය. එහෙත් ක්‍රියාත්මකවීමේදී ගැටලු මතු වේ. මේ ලංකාවය. වචනවලින් කියන දේ ක්‍රියාවෙන් නොවෙන රටකි.

එවැනි රටක පුරවැසියන්ට අපට කියන්නට ඇත්තේ මෙපමණකි. කඩෙන් කෑමට පෙර මිල ගැන නොව ආහාර අලෙවි කරන ආයතනයේ පිරිසිදුකම ගැන විපරම් කළ යුතුය. එමෙන්ම කඩ කෑම අඩු කිරීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද හොඳය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment