මැතිවරණයට හොඳම පැත්ත වූ කලී අවශ්‍ය නායකයකු තෝරා ගැනීමට එමගින් ජනතාවට හැකියාව ලැබීමය. මැතිවරණයට නරකම පැත්ත වූ කලී එමගින් සිදුවන පශ්චාත් සහ පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ය. පැෆරල් සංවිධානය කියන පරිදි මෙවර ජනාධිපතිවරණයේ පූර්ව ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව සැප්තැම්බර් 10 වැනිදා වන විට හයසිය පනස් දෙකක් වී තිබිණ. මෙයින් සිදුවීම් තුන්සිය විසි එකක්ම ඡන්ද නීති කැඩීම් විය. තවත් සිදුවීම් අනූතුනක් ජනාධිපතිවරණ ප්රචාරක රැලිවලට සම්බන්ධ ඒවා ය. තවත් එකසිය අසූ අටක් රජයේ දේපළ අපහරණය කිරීම් වෙති. ඊට අමතර සිදුවීම් පනහක් දරුණු පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ලෙස සිදු වූ ඒවාය. අප මෙය ලියන්නේ සැප්තැම්බර් 18 වැනිදාය. ඡන්දයට තව දවස් 3ක් තිබේ. මේ කාලය ඇතුළත දේශපාලන දාමරිකයන් පාලනය නොකළොත් පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ප්‍රමාණය දහස ඉක්මවීමට ඉඩ තිබේ. පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නෝ දේශපාලන ගොබ්බයෝය. උන්ට ඇත්තේ හිසත්, කඳත්, අත පය හතරත්, මොට්ට මොළයකුත් පමණි. මේ මොට්ට මොළය මගින් යහපත් දේවලට විධානයක් ලැබෙන්නේ නැත. මේ මොට්ට මොළය මගින් විධාන දෙනු ලබන්නේ පක්ෂ කාර්යාල ගිනි තැබීම, විරුද්ධ පාක්ෂිකයාගේ කොඩි කැපීම, පෝස්ටර් ඉරීම, මිනිසුන්ට පහර දීම වැනි තුට්ටු දෙකේ වැඩවලටය. මේ නිසා පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට මඩු වලිගවලින් තැලිය යුතු බව අපගේ යෝජනාව වේ. එහෙත් මේ රටේ දේශපාලනඥයන් වැඩි දෙනා අපගේ යෝජනාව ස්ථිර නොකරන බව අපි දනිමු. මේ රටේ දේශපාලනඥයන් අතලොස්සක් රන් එක දෙන්නේම ප්රචණ්ඩ ක්රියාවලිනි. ප්රචණ්ඩ ක්‍රියාවලින් විනිර්මුක්ත ජනාධිපතිවරණ හෝ මැතිවරණ ගැන ඔවුන්ට කිසිම දැනුමක් නැත. ඡන්දයක් කී සැනින් ඔවුන්ට මතක් වන්නේ කඩුවක්, පිස්තෝලයක්, පොල්ලක් වැනි දෙයකි.
ලංකාවේ පශ්චාත් සහ පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවලට ඉතිහාසයක් තිබේ. ඉන්දියාවේ තත්ත්වයත් මෙයමය. මේ අනුව අපේ ආදිතම මුතුන් මිත්තා වූ විජය කුමාරයා ඉන්දියාවෙන් පැමිණියේය යන මතය සනාථ වේ. ඉතිහාසයේ ඉහළම මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදුවූ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පිළිබඳ මතකයක් අපට ඇත. මේ අවස්ථා දෙකේ දී බලයට පත්වූ අය පැරදුණු අයගේ ගෙවල් ගිනි තබමින් විශාල පිස්සුවක් කෙළියාහ. පසුව එය පුරුද්දට ගියේය. වෙන එකක් තබා සමුපකාර ඡන්දවලදී පවා ප්රචණ්ඩ ක්‍රියා ඇති විය. මරණාධාර සමිතිවල නිලවරණයේ දී ස්ථිර වශයෙන්ම ගුටි කෙළියක් ඇති විය. එයට හේතුව මරණාධාර සමිතිය ද දේශපාලන වශයෙන් බෙදී තිබීම ය. එම සමිතියේ සභාපති, ලේකම් සහ සියලු නිලතල කිසියම් දේශපාලන පක්ෂයක කැචර්ලා ඩැහැ ගැනීමේ සිරිතක් ඇති විය. මෙවැනි අවස්ථාවලදී නිර්දේශපාලනික වූයේ මළමිනිය පමණි. මරණාධාර සමිතිය දේශපාලන බලය සඳහා ගුටි කෙළ ගන්නා ආකාරය ශ්‍රවණය කිරීමට හැකි වුවහොත් මළ මිනිය පවා පෙට්ටියෙන් නැගිට දුවන්නට පටන් ගන්නවා ඇත.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අර්ථ නිරූපණ රැසක් තිබේ. කොපමණ අර්ථ නිරූපණ තිබුණ ද අප විශ්වාස කරන්නේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා යනු දුර්වල මිනිසුන්ගේ ප්රචණ්ඩ මානසික මට්ටමක් බව පමණි. පූර්ව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා මගින් කළ හැකි ලොකුම දෙය වන්නේ ඡන්ද දායකයන් ඡන්ද පොළෙන් ඈත් කර තැබීමය. ඡන්දයට පෙර ගෙවල්වලට කඩා පැන මිනිස්සුන්ට පහර දී බියපත් කළ විට මිනිස්සු ඡන්දය දැමීම මගහරිති. මිනිස්සුන්ට කවුරු දිනුවත් කවුරු පැරදුණත් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තව ටිකක් කල් ජීවත් වීම පමණි. මේ නිසා අනුන් වෙනුවෙන් ගහන කතිරයකට තමන් කොන්ද කඩා ගන්නේ මොකට ද යන කාරණයෙහි ඔවුහු අතරමං වෙති. මිනිසා තුළ දෙවියෙක් මෙන්ම යකෙක් ද සිටී. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවලදී මේ යකා අවදි වෙයි. සමහර විට මේ යකා යූ.එන්.පී. කාරයෙකි. නැතිනම් ශ්‍රී ලංකා කාරයෙකි. එක්කෝ ජේ.වී.පී. කාරයෙකි. යකා දේශපාලන පක්ෂයක සාමාජිකයකු වූ කලී තත්ත්වය ඉතා නරක ය. එවිට යකා උත්සාහ කරන්නේම තමන්ගේ පක්ෂය බලයට ගෙන ඒමටය.
දේශපාලනඥයා බලය පතා ගහන ගේම සෙල්ලම් ගේමක් නොවේ. මේ ගේම ඇතැම් විට ඔහු ගහන්නේ තමන් සතු සියලු දේ පරදුවට තබාය. ඇතැම් විට බලය වෙනුවෙන් ඔවුහු තමන්ගේ දූ දරුවන් පවා පරදුවට තබති. දේශපාලන වශයෙන් බලයට පැමිණීමට තැත් කරන ස්වකීය දූ දරුවන් ඝාතනය කළ රාජ්‍ය නායකයන් ගැන ලෝක ඉතිහාසය සඳහන් කරයි. මේ නිසා ලෝකයේ නරකම දෙය දේශපාලන බලය බව අපගේ වැටහීම වෙයි. සමහර විට දුබල බව වඩාත් හොඳ විය හැකිය.