බලය බෙදා ගැනීමේ ආණ්ඩුවල යථාර්ථය – ලෙබනනය 4

406

පළමු ලෝක යුද්ධයෙන් පසු ලෙබනනයේ පාලනය භාරගත් ප‍්‍රංශය විසින් 1926 දී නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ලෙබනනයට හඳුන්වා දුන් බවත්, එහි 95 වන වගන්තිය මගින් දේශපාලනයේ ආගමික කණ්ඩායම් නියෝජනය සහතික කළ බවත් පසුගිය ලිපිය මගින් අපි සාකච්ඡා කළෙමු. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩනගන ලද බලය බෙදාගැනීමේ ප‍්‍රතිපාදන මගින් ම ලෙබනනයේ දීර්ඝ කාලීන සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්ව ගොඩ නැගීම සිහිනයක් බවට පත් කළේය.

ලෙබනනයේ ආගමික වශයෙන් ගොඩනැඟුණු කුඩා කණ්ඩායම්වල දේශපාලන ශක්තිය 1926 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් වර්ධනය කළේය. නිදසුනක් ලෙස, බීරූට් සහ ලෙබනනයේ ‘මවුන්ටන්’ ප‍්‍රදේශයේ බලය ක‍්‍රිස්තියානි ප‍්‍රභූවරුන් ද, ‘ෂියා’ සහ ‘සුන්නි’ මුස්ලිම් ප‍්‍රභූවරු අනෙකුත් ප‍්‍රාදේශීය කලාපවල බලය ද, සහ ලෙබනනය සිරියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් ලෙස ‘සුන්නි’ මුස්ලිම්වරුන් පිළිගත් පසුව වෙරළබඩ කලාපවල බලය එම ප‍්‍රභූවරුන් අතට ද ගොනු විය.

මෙකී ආගමික කණ්ඩායම්වල ප‍්‍රභූ දේශපාලනයේ ‘ලෙබනන් යථාර්ථය’ පිළිබඳව සටහන් කරන ලෙබනනය සම්බන්ධයෙන් පර්යේෂණ රාශියක් සිදු කළ මහාචාර්ය මෙයර් සමීර මෙසේ කියයි:

”ආගමික, වාර්ගික, ප‍්‍රාදේශීය, සහ ජාතික වෙනස්කම් කුමක් තිබුණ ද, එකී බලය හිමි ප‍්‍රභූ පන්තිය (ක‍්‍රිස්තියානි, ෂියා, සහ සුන්නි ප‍්‍රභූන්) එකිනෙකා සමඟ සහයෝගයෙන් ක‍්‍රියා කළේය. එයට හේතුව ඔවුන් සියලූ දෙනාටම එකම අරමුණක් තිබුණු බැවිනි. ඒ අරමුණ වූයේ ආණ්ඩුව පාවිච්චි කර, ප‍්‍රභූ බලය ශක්තිමත් කර ගැනීම සහ ධනය ඉපැයීමයි. සත්‍ය වශයෙන්ම, එම ප‍්‍රභූවරු ආගමික, වාර්ගික, ජාති වැනි බෙදීම් පාවිච්චි කළේ, තමන් නියෝජනය කරන ජනතාවට සේවය කරනවාට වඩා, තමන්ගේත්, ඥාතීන් හා හෙංචයියන්ගේත් වරප‍්‍රසාද රැක ගැනීම සඳහා වූ තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමටය; මෙම ක‍්‍රමවේදයට අනුගත වූ සහ අනුගමනය කරන දේශපාලකයන් පමණකි, ලෙබනනයේ සාර්ථක වූයේ. එම ක‍්‍රමවේදයට අනුගත නොවූ දේශපාලකයන් ලෙබනනයේ දේශපාලනයෙන් අතු ගෑවී ගියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී, බහුවිධ සහ සාධාරණ සමාජයක් ලෙබනනයේ ඇති කිරීමට වුවමනා වූ දේශපාලකයන්ට ලෙබනන් දේශපාලනයට එක්කෝ කළ හැකි බලපෑමක් නොවීය, නැතිනම් ඔවුන්ව දේශපාලන ක‍්‍රමයෙන් ඉවතට තල්ලූ කර දමා තිබුණි.”

මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පෙන්වා දෙන පරිදි ලෙබනනයේ ආගමික ‘ප‍්‍රභූ පන්තියේ ව්‍යාජ දේශපාලනය’ පශ්චාත් ස්වාධීන ලෙබනන දේශපාලනයේ ප‍්‍රධාන ප‍්‍රතිවිපාක දෙකක් ජනිත කළේය.

පළමුවැන්න, එය ජනාධිපති, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අතර තිබූ බල තුලනය වෙනස් කර, ප‍්‍රංශයේ ද සහාය ඇතිව, ජනාධිපතිවරයා බලවත් කළේය. ජනාධිපති ධුරයට පත් වූයේ ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානිවරයෙකි. පාර්ලිමේන්තුව ‘කතා සාප්පුවක්’ පමණක් බවට පත්වූ අතර, ආණ්ඩුව අස්ථාවර විය. ‘සුන්නි’ මුස්ලිම් අගමැතිවරයා ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානි ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස ක‍්‍රියා කළ අතර, ජනාධිපතිවරයා වෙත ගොනු වූ අධික බලය පසුකාලීනව, ලෙබනනයේ ස්ථාවරභාවයේ පදනම වූ ආගමික කණ්ඩායම් අතර සමබරතාවයට හානි සිදු කළේය.

දෙවැන්න, ආගමික ‘ප‍්‍රභූ පන්තියේ ව්‍යාජ දේශපාලනය’ විසින් ලෙබනනයේ දේශපාලන ‘වැඩවසම් ක‍්‍රමයක්’ බිහි කරන ලදී. විවිධ ආගමික කණ්ඩායම්වල ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියා ගනිමින්, ආණ්ඩුවේ ආයතන අයුතු ලෙස යොදාගෙන තම බලය ගොඩනැගීම සහ ධනය රැස් කිරීම වෙනුවෙන් ක‍්‍රියා කළ දේශපාලන ප‍්‍රභූන් නිර්මාණය කළ එම ‘දේශපාලන වැඩවසම් ක‍්‍රමය’ ම අවසානයේ බලය බෙදා ගැනීමේ ‘ලෙබනන් ආශ්චර්යය’ විනාශ කර දැමුවේය. ප‍්‍රදේශ කිහිපයක් ඈඳා ගෙන ප‍්‍රංශය විසින් නිර්මාණය කළ ‘නව ලෙබනනය’ ශක්තිමත්ව එකතු කිරීම සඳහා ප‍්‍රංශය උත්සාහ කළේය. ඒ අරමුණ සඳහා ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානි ප‍්‍රභූන් ආණ්ඩුව තුළ බලාධිකාරයක් ගොඩ නගා ගැනීම වැළැක්වීමටත්, අනෙක් අතට, ලෙබනනයේ ස්වාධීනත්වයට තර්ජන එල්ල කළ ‘සුන්නි’ සහ අනෙකුත් මුස්ලිම් කොටස් පාලනය කිරීමටත්, ප‍්‍රංශයේ ලෙබනන් නියෝජිතයන් විසින් බලය පාවිච්චි කර ක‍්‍රියා කරන ලදී. එහෙත්, මෙම උපක‍්‍රම ‘කෙටි-කාලීන’ වූ අතර, එමඟින් දීර්ඝකාලීන අහිතකර ප‍්‍රතිවිපාක දෙකක් ප‍්‍රධාන වශයෙන් ජනිත කළේය.

පළමුවැන්න, ලෙබනනය තුළ ප‍්‍රංශයේ බලය බෙදා ගැනීමේ ප‍්‍රතිපත්ති විසින් ලෙබනනය දේශපාලන වර්ගවාදයට, වැඩවසම් ක‍්‍රමයකට, සහ ‘හෙංචයිවාදයට’ ඇද දැමීය. දෙවැන්න, ලෙබනනය සහ සිරියාවේ ‘ශ්‍රේෂ්ඨ සිරියානු ජාතිකවාදීන්’ සම්බන්ධයෙන් ප‍්‍රංශය අනුගමනය කළ ප‍්‍රතිපත්ති මගින් ලෙබනනයේ දේශපාලනය සිරියාවේ බලපෑමට විවෘත කළේය. සිරියාව කළේ, ලෙබනනයේ වාර්ගික, ආගමික සහ අනෙකුත් බෙදීම් සිරියාවේ වාසිය සඳහා පාවිච්චියට ගැනීමයි.

1943 ජාතික ගිවිසුම:-

හිට්ලර්ගේ ජර්මනිය විසින් ප‍්‍රංශය ආක‍්‍රමණය කිරීමත් සමඟ 1941 සිට මැද පෙරදිග කලාපයේ ප‍්‍රංශය ඇති කළ බලපෑම දුර්වල විය. මේ වන විට ලෙබනනයේ මූලික ජාතික කණ්ඩායම් තුනක් මතුවී තිබුණි. ඒ, ප‍්‍රංශයට අනුගතව ක‍්‍රියා කළ ක‍්‍රිස්තියානි ජාතිකවාදීන්, ලෙබනනය සිරියාවට එක්විය යුතු බව විශ්වාස කළ අරාබි ජාතිකවාදීන් සහ ‘නිදහස් ලෙබනනයක්’ ප‍්‍රාර්ථනා කළ ලෙබනන් ජාතිකවාදීන් ය. ලෙබනනයේ ‘ජාතික ගිවිසුම’ ක‍්‍රිස්තියානිවරුන් සහ මුස්ලිම් කණ්ඩායම් අතර ‘නිදහස් ලෙබනනයක්’ වෙනුවෙන් මුලින් ඇතිකර ගත් අවිධිමත්, අලිඛිත එකඟතාවයක් විය.

1943 දී ඇතිකරගත් මෙම ගිවිසුම මගින් 1989 දක්වා වූ දශක පහකට වැඩි කාලයක් ලෙබනනයේ බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් බලපෑම් ඇති කළේය. මෙම ගිවිසුම නිසා ප‍්‍රංශයට ලැදි වූ ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානිවරුන් විසින් ආණ්ඩු යන්ත‍්‍රයේ පාලනය අතට ගැනීමේ අරමුණ වෙනුවෙන් ප‍්‍රංශයෙන් ලෙබනනය ප‍්‍රංශයෙන් නිදහස් විය යුතු බවට එකඟ වූ අතර, ප‍්‍රංශයේ නිදහස් වීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්, සිරියාවෙන් වෙන්වූ, නිදහස් රටක් ලෙස ලෙබනනයේ පැවැත්ම ‘සුන්නි’ ඇතුළු මුස්ලිම්වරු පිළිගන්නා ලදී. පසුව මෙම අවිධිමත් ගිවිසුමේ එකඟතා ලෙබනනයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද අතර, මූලික ප‍්‍රතිපත්ති තුනක් මත එය පදනම් විය.

එනම්, ජන අනුපාතය අනුව නියෝජනය සහතික කිරීම, සංස්කෘතික කටයුතු වැනි අංශ සම්බන්ධයෙන් ‘ස්වයං තීරණ’ ගැනීමේ අයිතිය, සහ ‘නොබැඳි විදෙස් ප‍්‍රතිපත්තිය’ යි (සිරියාව සමග එකතු නොවීමට ‘සුන්නි’ මුස්ලිම්වරුත්, එසේම, බටහිර ලැදි ප‍්‍රතිපත්තියක නොපිහිටා ක‍්‍රියා කිරීමට ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානිවරුත් එකඟ වූහ).

1943 සිට 1975 හි සිවිල් යුද්ධය පටන් ගත් කාලය තුළ ලෙබනනයේ විවිධ ආගමික කණ්ඩායම් අතර ‘ස්වයං පාලන බලය’ සහ ‘අනුපාතික නියෝජනය’ සහතික කිරීම යන කරුණු බලය බෙදා ගැනීමේ ආයතනවල බලාපොරොත්තුව වුවද, සම්ප‍්‍රදායිකව ආගමික ප‍්‍රභූ පන්තිය ඒ වන විට සිටියේ ලෙබනනයේ ආණ්ඩු බලය එකිනෙකා අතර සහයෝගයෙන් බෙදා ගනිමිනි. ජනාධිපති ධුරයට ‘මැරොනයිට්’ ක‍්‍රිස්තියානිවරයකු පත් වෙද්දී, ‘සුන්නි’ මුස්ලිම්වරයෙක් අගමැති තනතුරට පත් විය. මේ ආකාරයට ඇමති මණ්ඩලයේ තනතුරු ද එකිනෙකා සහයෝගයෙන් බෙදා ගන්නා ලදී.

එසේම පාර්ලිමේන්තුවේ අරමුණ වූයේ ‘ජාතික එකමුතුවක්’ ගොඩනගා ගැනීම වූ බැවින්, ඡන්දයෙන් පත් වී එන මන්ත‍්‍රීවරුන් ‘සෑම ආගමික කණ්ඩායමකටම පොදු නියෝජිතයකු ලෙස’ ක‍්‍රියා කරනු දැකීම අපේක්ෂාව විය. එහෙත්, ප‍්‍රභූ පන්තිය තම හෙංචයියන් ඡන්දයට ඉදිරිපත් කර, අයුතු බලපෑම් මාර්ගයෙන් ඡන්දය දිනා ගන්නා ලද අතර, පාර්ලිමේන්තුව අවසානයේ ප‍්‍රභූවරුන්ගේ සහ හෙංචයියන්ගේ ‘පුද්ගලික මිත‍්‍ර සමාජයක්’ බවට පත්විය.

ලබන සතියේ – බලය බෙදා ගැනීමේ ආණ්ඩුවල යථාර්ථය – ලෙබනනය 5

නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment