ලෙබනනයේ ප‍්‍රධාන ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් කණ්ඩායම්වල ආගමික ප‍්‍රභූන් එකතුවී, ලෙබනනයේ ප‍්‍රංශ පාලනය අවසන් කිරීමේ අරමුණ වෙනුවෙන් ‘ජාතික ගිවිසුමක්’ 1943 දී ඇති කරගත් බවත්, එමගින් බලය බෙදා ගැනීමට අදාළව මූලික අරමුණු තුනක් පදනම් කරගෙන ක‍්‍රියාකිරීමට, එනම්, එක් එක් ආගමික කණ්ඩායම්වලට සිය ආගමික, අධ්‍යාපනික, සහ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව ‘ස්වයං තීරණ ගැනීමේ අයිතිය’ ලබා දීමට, එසේම, එක් එක් කණ්ඩායම්වල ජන ‘අනුපාතයට අනුව’ රාජ්‍ය බලය සහ තනතුරු බෙදා ගැනීමට සහ තුන්වනුව, බටහිරට හෝ සිරියාවට ගැති නොවූ ‘ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක්’ අනුගමනය කිරීමට පාර්ශ්වයන් එකඟ වූ බවත් පසුගිය ලිපිය මගින් අපි සාකච්ඡා කළෙමු.
එහෙත් ප‍්‍රායෝගිකව සිදු වූයේ, ආගමික ප‍්‍රභූන් තම කණ්ඩායම් වෙනුවෙන් ස්වාධීනව ස්වයං -තීරණ ගන්නවා වෙනුවට, සෙසු ආගමික ප‍්‍රභූන් සමඟ එකතුවී, ධනය ඉපයීමේ සහ ප‍්‍රභූ ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අරමුණු සඳහා රාජ්‍ය බලය යොදවා ගැනීමයි. එසේම, දූෂිත මැතිවරණ වලින් ආගමික ප‍්‍රභූවරුන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට පත් කරවා ගත් බවත්, ඒ අනුව 1943 ‘ජාතික ගිවිසුමේ’ බලය බෙදා ගැනීම සම්බන්ධ මූලික අරමුණු ප‍්‍රායෝගික යථාර්ථයක් බවට පත් නොවූ බවත් අපි දුටුවෙමු. 1943 එකඟතා අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව ලෙස මහාචාර්ය මිෂෙල් හඞ්සන් සහ මහාචාර්ය ඇල්බට් ඔරානි පෙන්වා දෙන්නේ, එවකට වර්ධන වෙමින් තිබූ, කලාපයේ දේශපාලනික පීඩනයට සහ රට තුළ මතු වූ සමාජ-ආර්ථික පීඩනයට ඔරොත්තු දීමට සහ අනුගත වීමට ලෙබනනයේ බලය බෙදා ගැනීමේ එකඟතාවලට ශක්තිය නොතිබීම බවයි.
ලෙබනනයේ පාලනය ‘මැරොනයිට්‘ ක‍්‍රිස්තියානි ජනාධිපතිවරයකු අත කේන්ද්‍රගතව තිබූ බව අපි දනිමු. එහි ප‍්‍රතිපලයක් ලෙස ක‍්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වල බලය සහ බලපෑම වර්ධනය වූ අතර, එය සමාජ-ආර්ථික ක්ෂේත‍්‍ර දක්වාම පැතිර
ගියේය. ක‍්‍රිස්තියානිවරු ආර්ථිකයේ සේවා ක්ෂේත‍්‍රය දියුණු කිරීමට උනන්දු වූ අතර, එහෙත් එය සිදු කරන ලද්දේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට හානි සිදු කරමිනි. ගොවිතැනට යොමුව සිටි මුස්ලිම්වරුන් එමගින් අතෘප්තියට සහ අසහනයට පත්විය. ක‍්‍රිස්තියානිවරු වේගයෙන් පොහොසත් වූ අතර, මුස්ලිම්වරුන් වේගයෙන් දුප්පත් විය. ‘ඇති-නැති පරතරය‘ සැබැවින්ම සමාජ-ආර්ථික ප‍්‍රශ්නයක් වුවද, ලෙබනනයේ ප‍්‍රභූ දේශපාලනය එය ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් කණ්ඩායම් අතර ආගමික ප‍්‍රශ්නයක් ලෙස අර්ථ දැක්වීය.
මහාචාර්ය මාරි ජොඑල් සාහර් පෙන්වා දෙන්නේ ලෙබනනයේ බලය බෙදා ගැනීම පිළිබඳ ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ එක් එක් කණ්ඩායම් ගිවිසුමේ එකඟතා ආරක්ෂා කරන ආකාරය නිරීක්ෂණය කර, අවශ්‍ය මැදිහත්කාරකම් කිරීම සඳහා විදේශ ආරක්ෂකයකු නොසිටීම බවයි. ලෙබනනයේ අභ්‍යන්තර කටයුතුවලට සිරියාව වැනි රටවල් කරන බලපෑම් නැවැත්වීමටත්, ක‍්‍රිස්තියානි හා මුස්ලිම් කණ්ඩායම් විදෙස් රටවල් සමඟ එක්ව පටු කණ්ඩායම් අරමුණු ඉටුකර ගැනීම වැළැක්වීමටත් එවැනි විදේශීය ආරක්ෂකයකු අවශ්‍ය විය.
ක‍්‍රිස්තියානි සහ මුස්ලිම්වරු අතර ‘ඇති-නැති පරතරය’ වර්ධනය වීම සහ විදේශීය ආරක්ෂකයකු නොමැති වීමෙන් බාහිර රටවල ඇඟිලි ගැසීම් වැඩි වීම නිසා 1943 ජාතික ගිවිසුමේ එකඟතා දෙදරීමට පටන් ගත්තේය. මේ අතර ඇමෙරිකාව විසින් ‘ස්ථාවර මැද පෙරදිග කලාපයක් ගොඩනැ`ගීම’ සඳහා ‘බැග්ඩෑඞ් සම්මුතිය’ ට සම්ප‍්‍රදායික අරාබි රටවල් එකතු කර ගැනීමට උත්සාහ කිරීම ද ලෙබනනයේ දේශපාලනට අහිතකර බලපෑම් ඇති කළේය. ‘බැග්ඩෑඞ් සම්මුතිය’ යනු 1955 දී, ඉරානය, ඉරාකය, පාකිස්ථානය, තුර්කිය, සහ මහා බි‍්‍රතාන්‍ය මූලික වී, එවකට තිබූ ‘සීතල යුද්ධය’ වෙනුවෙන් යුධමය සහයෝගය ලබාගැනීම සඳහා ඇති කර ගනු ලැබූ කලාපීය සංවිධානයකි. 1979 දී මෙම සංවිධානය විසුරුවා හැරුණි. මෙම සංවිධානයට මැද පෙරදිග කලාපයේ රටවල් එකතු කර ගැනීම සඳහා ඇමෙරිකාව දැඩි පීඩනයක් එම රටවලට එල්ල කළ අතර, සංවිධානයට එකතු වුවහොත් යුධමය සහ ආර්ථික ආධාර ලබා දෙන බවට ද පොරොන්දු විය.
බැග්ඩෑඞ් සම්මුතියට එකඟ වීමට 1958 දී ලෙබනනයේ ක‍්‍රිස්තියානි ජනාධිපතිවරයා තීරණය කළ අතර, ‘අරාබි රටවල කලාපීය එකමුතුවක්’ වෙනුවෙන් ලෙබනනයේ පෙනී සිටි ‘ලෙබනන් ජාතික ව්‍යාපාරය‘ එම තීරණයට දැඩි ලෙස විරුද්ධ විය. ‘බැග්ඩෑඞ් සම්මුතියට’ එකඟ වීමට ලෙබනන් ජනාධිපතිවරයා ගත් තීරණය මගින් 1943 ජාතික ගිවිසුමේ ‘නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට’ ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ප‍්‍රභූන් අතර ඇති කරගත් එකඟතාවය බිඳී ගියේය.
එහි ප‍්‍රතිඵලය වූයේ ලෙබනනයේ ආණ්ඩු බලය ක‍්‍රිස්තියානිවරුන් අත කේන්ද්‍රගතව තිබීමට විරුද්ධව මුස්ලිම්වරුන් නැ`ගීසිටීමයි. සිරියාව මේ සම්බන්ධයෙන් සිදු කළ අත පෙවීම් මගින් තත්ත්වය වඩාත් නරක අතට හැරුණි. ‘සීතල යුද්ධය’ට මුහුණ දීම සඳහා 1958 පෙබරවාරි 1 වන දින ඊජිප්තුව සහ සිරියාව එකතුවී ‘එක්සත් අරාබි සමූහාණ්ඩුව’ පිහිටුවා ගත්තේය. එහි ගුවන් විදුලි සේවාව ඔස්සේ නිවේදනය කෙරුණේ ලෙබනන් ආණ්ඩුව එළවා දැමීම සඳහා මුස්ලිම්වරුන් ආයුධ අතට ගත යුතු බවයි. මෙයින් ඇඟවුණේ ඊජිප්තුව සහ සිරියාව ලෙබනනයේ ක‍්‍රිස්තියානි ආණ්ඩුව පළවා හැරීම සඳහා මුස්ලිම්වරුන්ට සහාය දීමට ප‍්‍රසිද්ධියේ ඉදිරිපත්ව ඇති බවයි. එය 1943 ජාතික ගිවිසුමේ බලය බෙදා ගැනීමේ එකඟතා තීරණාත්මක අර්බුදයකට ඇද දැමීය.
බාහිරයෙන් එන ආණ්ඩු විරෝධී පීඩනය මගින් මුස්ලිම්වරුන් අන්තවාදයකට තල්ලූ කළ අතර, මුස්ලිම් ප‍්‍රභූවරු ඇති වූ තත්ත්වයේ සිරකරුවන් බවට පත් විය. එම වාතාවරණය හමුවේ එම ප‍්‍රභූන් කළේ රටේ පොදු යහපත වෙනුවෙන් පෙනී සිටිනවාට වෙනුවට, තම පෞද්ගලික තත්ත්වය සහ බලය ආරක්ෂා කර ගැනීමට ක‍්‍රියා කිරීමයි. මෙම තත්ත්වය කුඩා සිවිල් යුද්ධයකට රට තල්ලූ කළ අතර, අමෙරිකානු මැදිහත් වීමක් හරහා යළි ක‍්‍රමයෙන් ලෙබනනය සාමාන්‍ය තත්ත්වයට 1958 වසර අවසානය වන විට පත් විය.
මෙම සිදුවීම 1943 ජාතික ගිවිසුම අර්බුදයකට ලක් කළ ප‍්‍රධාන අවස්ථා තුනෙන් පළමු අවස්ථාව විය. දෙවැනි අවස්ථාව වූයේ 1964 දී පලස්තීන විමුක්ති සංවිධානය (ඡඛධ) පිහිටුවා ගැනීමත් සමග උදා වූ තත්ත්වයයි. ආයුධ සන්නද්ධ පලස්තීන ජාතිකයන් ලෙබනනයේ සිටීම මැරොනයිට් ක‍්‍රිස්තියානි ප‍්‍රභූන් දුටුවේ ඊශ‍්‍රායල ආක‍්‍රමණයකට අත වැනීමක් ලෙසයි. මෙය 1969 ලෙබනනයේ හමුදාව සහ පලස්තීන ගරිල්ලා කණ්ඩායම් අතර අර්බුදයකට මග පෑදූ අතර, 1969 අපේ‍්‍රල් සහ අගෝස්තු මාසවල ඇති වූ ගැටුම් ඊජිප්තු ජනාධිපතිගේ මැදිහත් වීම හරහා සමථ කෙරුණි.
ඒ සඳහා ඇති කර ගත් ‘කයිරෝ ගිවිසුම’ මගින් පලස්තීන විමුක්ති සංවිධානයට පලස්තීන කඳවුරු තුළ නිදහසේ ක‍්‍රියාකිරීම සහතික කෙරුණි. අතෘප්තියට පත්ව සිටි මුස්ලිම්වරුන්ට ලෙබනනයේ පලස්තීන කොමාන්ඩෝවරු දැකීම ආරක්ෂාව සහ ශක්තිය පිළිබඳ සහතිකයක් විය. එය 1943 ජාතික ගිවිසුම අර්බුදයට ලක් කළ තුන්වන අවස්ථාවට පාර කැපීය.
ලබන සතියේ – බලය බෙදා ගැනීමේ ආණ්ඩුවල යථාර්ථය – ලෙබනනය 6
නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
[email protected]