බලවත් විරෝධතා මැද ආර්. ජී. එදා අත්සන් කළ චීන ශී‍්‍ර ලංකා සහල් රබර් ගිවිසුමේ පැටිකිරිය

105

1952 වසරේ දී ශී‍්‍ර ලංකාවට අසීරු කාලයකට මුහුණ දීමට සිදුවිය. අගමැතිව සිටි ඞී. එස්. සේනානායක මහතා මියගොස් ඩඞ්ලි සේනානායක මහතා අවුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ මුළු ලෝකයට සහල් හිඟයකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවේදීය. සෑම පුද්ගලයකුම සතියකට සහන මිලට සහල් සේරු දෙකක් ලබාදීමට රජය කැප වී සිටි නමුත් අප රටට එකල සහල් සැපයූ බුරුමය, තායිලන්තය, ඉන්දියාව, චීනය වෙතින් සහල් ලබා ගැනීමට ද අසීරු විය. මේ අර්බුදය මැද ඇමරිකාවෙන් සහල් ටොන් 60,000ක් ද ඉක්වදෝරයෙන් ටොන් 10,000ක් ද මිලදී ගැනීම සිදුවිය. එහෙත් අප රට සතු විදේශ විනිමය සම්පත් සීමිත වූ බැවින් ඉල්ලූමට රිසිසේ සියලූම සහල් මිලදී ගැනීමට හැකියාවක් අප රටට නොතිබුණි. ජනතාවට දුන් සහල් සහන කැපීමට ද යොමු වන්නට විය. රජයට විශාල මහජන විරෝධයක් ද එල්ල විය. වැඩිවන ජීවන බර හමුවේ කම්කරු පන්තිය හා නැඟෙන මහජන විරෝධයන් 1953 මහ හර්තාලය දක්වා ද දිගුවක් විය.

(අයවැය ලේඛනයෙන් සහන බොහොමයක් කැපී ගියේය. සහල් සේරුවක මිල ශත 25 සිට 70 දක්වා වැඩි කිරීමට එදා එජාප රජයටම සිදුවිය මහජන විරෝධයට එම තීරණයන්ද බලපෑවේය).

කෙසේ වුව ද කොරියානු යුද්ධයේ අවසානයත් සමග බටහිර රටවල් විසින් භාණ්ඩ මිල දී ගැනීම් අඩු කිරීම ද සිදුවිය. අපේ රබර් අපනයනය සියයට 23කින් පහත වැටිණි. එපමණක් ද නොව, රබර්, තේ, පොල් තෙල් මිල ද විශාල ලෙස පහත වැටුණි. මේ තත්ත්වය තුළ එවක වෙළෙඳ ඇමැතිවරයා වූ ආර්. ජී. සේනානායක මහතා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණයක් හා වාසිදායක මිල ගණන් යටතේ රබර් අපනයන සහ සහල් ආනයනය සඳහා සාකච්ඡා කළ නමුත් එය අසාර්ථක වී තිබේ. එහෙත් ආර්. ජී. තම උත්සාහය අත්හැරියේ නැත. චීනය රබර් වෙනුවට ලංකාවට සහල් විකිණීමට සූදානම් බව සොයා ගත්තේය. චීනයට රබර් විකිණීම එක්සත් ජාතීන්ගේ යෝජනාවක් අනුව මලයාවෙන් රබර් අපනයනය තහනම් කිරීම හේතුවෙන් චීනයට රබර් ලබා ගැනීමට නොහැකි විය. චීනයට පැනවුණු සම්බාධක මැද ආර්. ජී.ගේ දැක්ම අතිශයින්ම දූරදර්ශී වූයේය.

බලවත් විරෝධතා මැද ආර්. ජී. එදා අත්සන් කළ චීන ශී‍්‍ර ලංකා සහල් රබර් ගිවිසුමේ පැටිකිරිය

ලංකාවට සහල් අවශ්‍ය තරමට ම චීනයට රබර් අවශ්‍ය විය. ඒ එරට කාර්මික විප්ලවය ඇරඹී තිබූ හෙයිනි. ආර්. ජී. චීනය සමග වෙළෙඳාමේ අන්‍යොන්‍ය ප‍්‍රතිලාභ අවබෝධ කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වෙත්දී ඔහුගේ සහෝදර ඇමැතිවරු ඇතැමුන් ඔහුට වාග් ප‍්‍රහාර එල්ල කිරීම ද ඇරඹුවේය. ආර්. ජී. කලබල නොවූයේය. කැබිනට් මණ්ඩලයේම සිටි ප‍්‍රබල අමාත්‍ය සගයන් කිහිපදෙනකුගේ ද විරෝධය ඔහුට එල්ල වී තිබිණි. කැබිනට් මණ්ඩලයට එදා ඇතැම් උපදෙස් දුන්නේ එවක අලූතින් ඇතිකරන ලද මහ බැංකුවේ හස්තයක් මගිනි. එහි කි‍්‍රයාත්මකවූ ඇමරිකානු උපදේශකත්වයක් වීම එම විරෝධයන්ට හේතු වූවේය. චීන-ලංකා ගනුදෙනුව හරහා ඇමරිකානු ආධාර වැළැක්වීමට ද කි‍්‍රයාත්මක වීම් සිදුවිය. එහෙත් අගමැති ඩඞ්ලි සේනානායක ආර්. ජී. ගේ වැඩපිළිවෙළට නොබියව සහය දුන්නේය.

ආර්. ජී. සේනානායක ඒ අනුව චීන ශී‍්‍ර ලංකා සහල් රබර් ගිවිසුමට 1952 චීනයේ බීජීං නුවර දී අත්සන් තැබීය.

1952 දී අත්සන් කෙරුණු එම ගිවිසුම අනුව සෑම වසරක ම සාකච්ඡා කරමින්් හුවමාරු කළ යුතු භාණ්ඩ ප‍්‍රමාණයන් සඳහන් කෙරෙන වාර්ෂික ප්‍රොටෝකොලයක් ද තිබිණි. ගිවිසුමේ පළමු කොටස යටතේ ශී‍්‍ර ලංකාව සහල් මිල දී ගැනීමටත් චීනය අපේ රබර් මිල දී ගැනීමටත් එකඟතා හා කැපවීම් සිදුවිය. මේ අනුව 1953 දී පමණක් සහල් ටොන් 270,000ක් චීනෙන් මිල දී ගැනීමට අප රට එකඟ වී තිබිණි. මෙම ප‍්‍රමාණයන් ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් මත හුවමාරු වූ අතර වටිනාකමින් ද සමාන විය. ඊට අමතරව ලෝක වෙළෙඳ පොළේ සිංගප්පූරුවේ මිලට රබර් සඳහා වාරික මිලක් ගෙවීමට චීනය එකඟ වී තිබේ. එදා එලෙස අත්සන් කර කි‍්‍රයාත්මක වූ ගිවිසුම ඉන් ඉක්බිතිව පත් වූ රජයන් ඉදිරියට ගෙන යන ලදී. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක රජයන් ද චීන ශී‍්‍ර ලංකා සබඳතා වඩාත් ශක්තිමත් කරන්නට පුරෝගාමී වූයේය. වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු චීනයට වැදගත් උපහාරයක් ආර්. ජී. සේනානායකයන් පුද කළේ ‘සාපේක්‍ෂ වශයෙන් කුඩා කරුණු ගැන කේවල් කිරීමේ කි‍්‍රයාවලිය තුළ ආත්මයක් නොමැති බව අපි චීනය පැත්තෙන් සටහන් කළෙමු. අනෙක් අතට ඔවුන් අපට හැඟීමක් ලබා දුන්නේ යැයි ඊට අදාළ කැබිනට් පති‍්‍රකාවේ ද සඳහනක් තබමිනි.

ආර්. ජී. සේනානායක ඉන් ඉක්බිතිව 1956 පිහිටු වූ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකයන්ගේ මහජන රජයේ ද වෙළෙඳ ඇමැතිවරයා විය. ආර්. ජී. තමන් චීන ශී‍්‍ර ලංකා සහල් රබර් ගිවිසුම 1952 අත්සන් කිරීමේ දී අතීතයේ මුහුණ පෑ අත්දැකීම් ද මෙලෙස විස්තර කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956 පිහිටු වූ එක්සත් පෙරමුණ රජය වාණිජ අමාත්‍යවරයාව සිටියදී ය. ආර්.ජී. ගේ වචනවලින්ම ඒ කතාව අසමු.

‘‘නිදහස ලැබූ ආසියාතික රටවල පෙර නොවූ විරූ පරිද්දෙන් මහජනයා උදෙසා සමාජ පහසුකම් ඇති කරනු ලබන්නේ පාරිභෝගික භාණ්ඩ වැඩි වැඩියෙන් අලෙවිවේ. එහෙත් අපේ රටට ගෙන්වනු ලබන මේ ද්‍රව්‍යයන් සඳහා විශාල ධනයක් පිටරට ඇදී යන්නේ ඒවා හැකිතාක් අඩු මිලට ලබා ගැනීමට හා හැකි ලෙස අපේ රටේ යම් යම් නිෂ්පාදනයන් ඒ රටවලට විකුණා ගත හැකි දැයි සොයා බැලීම ඉතාමත් අවශ්‍ය කටයුත්තකි. පිටරටවල සංචාරය කොට විදේශ ආණ්ඩු සමග සාකච්ඡා කොට අපේ ද්‍රව්‍ය ඒ ඒ රටවලට දීමට හෝ අපේ අවශ්‍යතාවයන් සෑහෙන මිලට ගන්නට හෝ ගිවිසුම් අත්සන් කරති. ඇමැතිවරන්ට හා නිලධාරීන්ට වරින්වර පිටරට යන්නට සිදුවන්නේ මේ නිසා මිස ඇතැම් අය කියන සිතන පරිදි සවාරි ගැසීමට නොවේ. මේ ලියන මොහොතේ පවා නව චීනයෙන් මෙහි පැමිණි 13 දෙනෙකුගෙන් සමන්විත වෙළෙඳ දූත පිරිසක් සමග අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ නියෝජිත පිරිස මෙහි එවන්නට නව චීන ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිදුවනවාට සැක නැත. එහෙත් සුහද ලීලාවෙන් මිත‍්‍ර ගිවිසුමක් තීරණය කරගන්නට අපට හැකිවුණහොත් එයින් දෙරටට ම ලැබිය හැකි වාසිය ඉතා විශාලය. බලවත් විරුද්ධතා මධ්‍යයෙහි චීනයට ගොස් ම විසින් තීන්දු කරන ලද චීන ලංකා වෙළෙඳ ගිවිසුම මේ පිළිබඳ හොඳ සාධකයකි. ඒ ගිවිසුමෙන් මෙතෙක් අප රටට වුණ ලාභය රුපියල් 109,518,673.00කි. ඒ හැර සහල් නැතිව මිය යන්නට ගිය ලක් ජනතාව මරුමුවෙන් ගලවා ගත්තේ ද ඒ ඓතිහාසික ගිවිසුම බව සිහිපත් නොකරම බැරිය.’’

නාරද නිශ්සංක

advertistmentadvertistment
advertistmentadvertistment