කුෂාන් සුබසිංහ
”2021 පටන් ගන්නවාත් එක්ක මම මගේ සිහිනය පස්සේ දිව්වා. ඒ වෙද්දී මම කෝටා රෑන්ක්වල 34 වන තැන හිටියා. තේරීම් තරගයට සහභාගි වුණේ ලොකු බලාපොරොත්තුවක් සමඟ. ඒත් අවාසනාවන්ත විදියට මට මගේ රේස් එක මම හිතපු ටයිමින්වලට දුවන්න බැරි වුණා. ඒකට හේතුව ඒ තරගයේ බාධක කඩුලූ 5ම දුවන ප‍්‍රමාණයට වඩා උස්ව තිබීම නිසා. ඉන් මම ලොකු ආබාධයකට ලක් වෙනවා. සති 2ක් විතර කාලයක් කකුලට බෙහෙත් කළා. ඉන් මගේ පුහුණුවීම් අතරමඟ නවතිනවා. ඒත් ආපහු මම බොහොම පොඩි කාලයකින් ජාතික ශූරතාවලියට සහභාගි වෙලා දුවනවා. මට එදා මීට වඩා එක තත්පරයක් දුවාගන්න පුළුවන් වුණා නම් මටත් අද ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්න තිබුණා. ඔලිම්පික් යනවා ආසාවෙන් බලා සිටි සියලූ දෙනාගෙන් මම සමාව ඉල්ලනවා. මට ඒක කර ගන්න බැරිවුණා. මට සමාවෙන්න.”
එම සටහන උපුටා ගත්තේ මීටර් 3000 බාධක දිවීමේ ජාතික ශූරි නිලානි රත්නායකගේ ෆේස් බුක් ගිණුමෙනි. ඔලිම්පික් වරම් අභියසටම පැමිණ එය ඉටුනොවූ පසු නිලානි තැබූ එම සටහන සිය බලාපොරොත්තු භංගවීමෙන් උපන් දුක පිළිබිඹු කරන කැඩපතකි.
නිලානි රත්නායක නම් ඇය මේ වනවිට තිස්හැවිරිදි විය ඉක්මවා සිටින්නීය. ඉන් විසිවසරකටත් වඩා වැඩි කාලයක් පුරා ඇය හෙළුෑ දහඩිය, කළ කැපකිරීම් සහ මැවූ සිහින ඇස් පනාපිට සුණු විසුණු වී බොඳව යද්දී කලකිරීමට පත් නොවී සිටීමට නම් ඇය රහත් ඵල ලබාගෙන සිටිය යුතුය. එසේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට නොලැබෙන්නේ ද තමාගේ දක්‍ෂතාවයේ මදකමක් නොව කොහේ හෝ සිටි නොසැලකිලිමත් නිලධාරියකුගේ වරදකින් නම් ඒ කලකිරීම සිය දහස් ගුණයකින් වැඩිවනු ඇත. නිලානිි අද පත්ව සිටින්නේ එවැනි තත්ත්වයකටය. කවුරුන් කෙසේ කුමක් කීවද, හදන්නට බැරි වරදක්, නිවැරැදි කරන්නට බැරි දෙයක් සිදුවී ඇත. නොසැලකිල්ල ද, නුවුවමනාව ද, නොදැනුවත්කම ද යන මේ කරුණු කුමකින් එකක් හෝ නිලානිගේ සිහිනය බිඳින්නට සමත් වී ඇත.
එය සිදු වෙන්නේ මෙසේය. නිලානි රත්නායක නම් ඇය මේ 2021 වසර ආරම්භ වනවිට සිටියේ ඇයගේ ඉසව්වෙන් එනම් මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 34 වැනි ස්ථානයේය. දකුණු ආසියාවේ ඇයත් සමග තරග කරන්නට හපනෙක් නැත. ආසියාවේ ද නිලානිට ඉහළින් දස්කම් පාන්නට සමත් ජගතෙක් නැත. නිලානි ලෝකයෙන් 34 වැනියා වන්නේ එසේය.
නිලානිගේ ඉසව්ව වන මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් සඳහා තෝරා ගැනෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 45 කි. 34ට ශ්‍රේණිගතව සිටි ඇය ශී‍්‍ර ලංකාවෙන් මෙවර අංක එකටම ඔලිම්පික් තේරෙන කී‍්‍රඩිකාව ලෙස සියලූදෙනා ගණන් හදාගෙන සිටියාය. බලාපොරොත්තු තබාගෙන සිටියාය. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය ඔලිම්පික් යනවා බලාගෙන සිටියේ ශී‍්‍ර ලාංකිකයන්ම පමණක් නොවේ. ඇය දකුණු ආසියාවට ද, ආසියාවට ද ආඩම්බරයකි. කලාපයකට ආඩම්බරයක් වූ නිලානිගේ සිහින තලා පෙළන්නට හේතු වූයේ එක් නොසැලකිලිමත්කමකි.
මේ වසරේ අපේ‍්‍රල් මස සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියකට ඇය සහභාගි වන්නීය. ඒ වනවිට ඔලිම්පික් උළෙලට තිබුණේ මාස තුනකට ආසන්න කාලයකි. එම තරගයට සහභාගි වූ නිලානි එහි ප‍්‍රථම ස්ථානය ජයග‍්‍රහණය කළත් නිලානි ආබාධයකට ද ලක්විණි. ආබාධයට ලක් වුණේද නිකම්ම නොවේ. නිලානිගේ ඔලිම්පික් ගමනට මඟ අවහිර කළ නිලධාරියාගේ වරද නිසාය. එම වරද වූයේ බාධක පැනීමේ කඩුලූවල උස සම්මතයට වඩා ඉහළ උසකට ගෙන ඒමය. කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ කඩුල්ලක සම්මත උස වන්නේ අඩි දෙකයි අඟල් 6 කි. එහෙත් නිලානිට එදා දිවීමටත්, පැනීමටත් තිබුණු කඩුල්ලේ උස අඩි දෙකයි අඟල් 9 ක් දක්වා ඉහළට ගෙන ගොස් තිබිණි. අඟල් 3 ක් කඩුල්ල එසේ ඉහළට යනවිට දසක3ක් නිලානි තබා තිබූ බලාපොරොත්තුවලට කඩුල්ලක් වැටිණි. මන්ද ඔලිම්පික් උළෙලට කී‍්‍රඩකයන් තෝරා ගැනීමට ඔන්න මෙන්න තිබියදී පැවැති එම තරගයෙන් නිලානිට සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් එකතු නොවීමයි. මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එසේ තෝරා ගත් තරගවලදී දක්වන දක්‍ෂතා අනුව ලකුණු හිමිවන අතර ඒ අනුව ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් සකස් වේ. නිලානි සතුව මේ වනවිට ලකුණු 1190 ක් පවතින අතර එම ලකුණු සංඛ්‍යාව ඇති කී‍්‍රඩිකාවන් තවත් දෙදෙනකු වේ. ඉන් අයකුවන හංගේරියා කී‍්‍රඩිකාව 45 වැනි ස්ථානයට ශ්‍රේණිගත වූ අතර 46 වැනි ස්ථානයට ශ්‍රේණිගත වූ නිලානිගේ ඔලිම්පික් බලාපොරොත්තු මිලාන විණි. එය නිලානිගේ බලාපොරොත්තු මෙන්ම නිලානි කෙරෙහි බලාපොරොත්තු තබා සිටි අයව ද උස්සලා පොළොවේ ගැසුවා වැනි වැඩකි.
එය එසේ වන්නේ එදා පැවැති තේරීම් තරගාවලියේදී කඩුලූ ඉහළට ගෙන ඒමෙන් නිලානිට ලකුණු සොයා ගන්නට නොහැකි වීමෙනි. ඒ නිසා නිලානිගේ බලාපොරොත්තු සොරු අරන් ගියා වැනි විය. මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට ඇයට 35 වතාවක් කඩුලූවලින් පැනීමට සිදුවේ. එහිදී කඩුලූ ඔසවා තැබීමෙන් එක කඩුල්ලකින් තත්පර භාගය බැගින් ප‍්‍රමාදයක් සිදු වුවත් නිලානිගේ තරග හිමි කාලය තත්පර 15කට වැඩි කාලයකින් ප‍්‍රමාද වනු ඇත.
”තරගය නිමා වුණු ගමන්ම ඇය කිව්වේ සර් කඩුලූ උස වැඩියි. ඒත් කරන්න දෙයක් නැහැ දිව්වා. කකුලත් වැදුණා. මට අමාරුයි.”
නිලානි ඒ තරගය නිමා වීමෙන් පසු තමාට එසේ ප‍්‍රකාශ කළ බව නිලානිගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය. මේ තරගයට තියලා තිබුණේ අඩි දෙකයි අඟල් 9 ක උසක්. ඒ උස පිරිමි කනිෂ්ඨ කී‍්‍රඩකයන් පුහුණු වීම් කරන ඉසව්වට තබන උස ප‍්‍රමාණයක්. නිලානි දිව්වේ වෙනදා දුවනවට වඩා අඟල් 3 ක් උස කඩුලූ පනිමින්. එයින් නිලානිට වුණු අසාධාරණය නිසා අපේ සිහින ලෝකය කඩන් වැටුණා යැයි ද නිලානිගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා පැවසීය.
එම තරගයෙන් සිදුවූ ආබාධයෙන් පසුව සති දෙකක පුහුණුවීම් නැතිව නිලානිට ගෙදර නවතින්න සිදුවිණි. අනතුරුව ඇය පසුගිය මැයි මාසයේ පැවැති 99 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී එම ඉසව්ව විනාඩි 2 යි තත්ත්පර 06.69 ක දක්‍ෂතාවයකින් නිම කළාය. ඉන්දියාවේ පතියාලා නුවරදී විනාඩි 2 යි තත්පර 02.57 ක වේලාවක් වාර්තා කළ ද නිලානිව පසෙකට දමමින් ලොව අනෙක් කී‍්‍රඩිකාවන් 45දෙනා ඔලිම්පික් යෑමට වරම් ලැබූහ.
ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය ඇතුළු තීරණාත්මක තරග රාශියක් කොවිඞ් හේතුවෙන් නොපැවැත්වීම ද නිලානිට ඔලිම්පික් අහිමි වීමට බලපෑ තවත් ප‍්‍රධාන හේතුවකි. එහෙත් දැන් සිදුවිය යුතු සියල්ල හමාර වී ඇත.
|