බල කාමය නිසා පාස්කු ප්‍රහාරය වළක්වා ගත්තේ නෑ – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමෝ ඉතාලියේදී කියති

126

පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහෝ දෙනා දැනගෙන සිටියත් බලය අල්ලන්න තිබෙන ‘බලකාමය’ නිසා එම ප්‍රහාරය වළක්වා නොගත් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසුහ.

ඉතාලියේ පෙරේදා (01 දා) පැවති ඉරිදා දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම දේව මෙහෙය සිංහල භාෂාවෙන් සිදු කිරීමට ද කාදිනල්තුමා පියවර ගත්තේය.

එහිදී තවදුරටත් දේව මෙහෙය සිදු කරමින් කාදිනල්තුමා මෙසේ ද කීය. නිදහසින් පස්සෙ අපට ලැබුණේ පිරිහුණු දේශපාලනයක්. ඒකාධිපතියෙක් බිහි කළා. සියලු දෙනාට වඩා බලගතු කෙනෙක් බිහි කළා. ඒක තමයි රටට වූ විනාශය. මේ ප්‍රහාරය පිළිබඳ බොහෝ දෙනෙක් දැනගෙන ඉඳලා තියෙනවා. අපි විතරයි නොදැන හිටියේ. අපට කිව්ව නම් මේ මිනිස් ජීවිත ටික බේරගන්න තිබුණා. බලකාමය නිසා බලය අල්ලගන්න තිබෙන කෑදරකම නිසා ජනාධිපතිවරයා, ඒ කාලේ හිටිය ලොකුම නිලධාරීන්, ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් තමන්ගේ වගකීම් පැහැරහැරියා. ඒක ඕනකමින් කළා. ඡන්දෙ දිනන්න ඕනකම තමයි තිබුණ චේතනාව. අප රට ආරක්ෂා කරනවා. රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඒ කට්ටියට ඕනකම තිබුණා. ඒක තමයි ඒ විදිහට කළේ. මේ ගැන දැනගෙන හිටපු කට්ටිය අපට ඒ බව කීවා නම් මේ මිනිස් ජීවිත ටික බේරාගන්න තිබුණා. ප්‍රහාරය පිළිබඳ දැනගෙන හිටපු අය ආරක්ෂා වුණා. ඒ නිලධාරීන්, දේශපාලනඥයෙන් බේරිලා අහිංසක මිනිස්සු බිල්ලට දුන්නා. නිදහසින් පස්සෙ අපි මොනවද දිනාගත්තේ? අපි එන්න එන්නම පිරිහුණා.

මේ දේශපාලකයෝ පිරිහුණු සමාජයක් රටේ ඇති කළා. ඔක්කොම පක්ෂවල අය ඕකට වගකියන්න ඕනේ. ඒකාධිපතියෙක් බිහි කෙරුවා. සියලු දෙනාට වඩා බලගතු කෙනෙක්. මේක තමයි රටට වෙච්ච විනාශය. ජාතීන් අතර වගේම ආගම් අතර කෙටවීම් ඇති කෙරුවා. සිංහල මිනිස්සු, දෙමළ මිනිසුන්ගෙන් විරසක කෙරුවා. ඊට පස්සෙ බැලුවා මුස්ලිම් මිනිස්සු කතෝලිකයන්ගෙන් හා සිංහල මිනිසුන්ගෙන් වෙන් කරන්න. විරසක කළා. මේවා කළේ බලය අල්ලන්න. ඒක තමයි ගාලුමුවදොර පිට්ටනියට ගිහින් තරුණ තරුණියෝ කෑ ගහන්නේ මේ ඇති කියලා. ඒක සම්පූර්ණ සාධාරණ ඉල්ලීමක්. මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. මේ ක්‍රමය පයින් පාගලා විසි කරලා දාන්න අවශ්‍යයි. නව නිදහසක් අපට අවශ්‍යයි. ජනතාව හොඳට දිළිඳු තත්ත්වයට පත් කරලා පාලකයෝ පෝසතුන් වෙලා. පිටරටවල ව්‍යාපාර අරඹලා. මෙන්න අපේ රටට වෙලා තියෙන දේ. මේ වගේ රටක් අවශ්‍යද? නෑ. වෙනස් වෙන්නට අවශ්‍යයි. දූෂිත ක්‍රමයේ තිබුණු වැරැද්ද අපි දැක්කා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා ඒක යටගහන්න උත්සාහ කරනවා. අපිට පිහිටක් නෑ. සාධාරණයක් නෑ. ඒක තමයි අපි යුක්තිය ඉල්ලලා ජාත්‍යන්තරයට ආවේ.

ඔබ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම්. ඒ අයට පුළුවන් ජීවිතය නැති කරන්න. සිරුර නැති කරන්න. ඒත් ආත්මය විනාශ කරන්න බෑ. බය වෙන්න එපා.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment