බස්නාහිර මෙන් උතුරේත් සෞඛ්‍ය සේවාව දියුණු කරනවා

31

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාන්කුලම් මානසික
සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කරමින් කියයි

බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවද දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (26)දා මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව ඉදිකර ඇති වෛද්‍ය මධ්‍යස්ථානය මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්, ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.

යුද්ධයට පෙර කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවීමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.

ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේදී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා. යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හො බැක් මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment