බස් එකට මාරයා ගොඩවූ විට….

774

ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ප්‍රමාණ සමීක්‍ෂණ අධ්‍යයනයක් සඳහා අධ්‍යාපන චාරිකාවක නිරතව සිටිය දී බදුල්ලේ දී රිය අනතුරකට ලක් වීමෙන් සිදුවූ ඛේදවාචකය ගැන අප දැනටමත් දැනුවත්ය. මේ සිද්ධියේ දී දෙදෙනෙක් මියගිය බවත්, විශාල පිරිසක් තුවාල ලැබූ බවත් මාධ්‍යවල පළ විය. රිය අනතුර සිදුවූයේ බදුල්ලේදීය. සිසු සිසුවියන් ගමන් කළ බස් රිය ප්‍රපාතයකට පෙරළීම වැළැක්වීම සඳහා රියැදුරා විසින් අනෙක් පසට හැරවීමේ දී බසය ගල් කුලක වැදී මේ අනතුර සිදුවිය. බසයේ කොලිටිය කොතරම් ද යත් එය කඩා වැටුණු කූඩාරමක් සේ දිස්විය. කොහොමටත් බස් රථයක් කොපමණ සවි ශක්තිමත් වුවද මෙවැනි අනතුරක දී අටපට්ටමක් බවට පත් වීම ස්වභාවිකය. මේ බසයේ තිරිංග නිසි පරිදි වැඩ නොකළ බව දැන ගැනීමට තිබේ. එසේම බසය විශාල වේගයකින් ගමන් කළ බව ද කියනු ලැබේ. අනතුරින් මියගිය සිසුවියන්ගේ අවසන් කටයුතු ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ වියදමින් කරන ලදී. අනතුර සිදුවී පැය 24 කට පසු රූපවාහිනියේ පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රිය අනතුරු 1800 ගණනක් මේ රටේ සිදුවූ බව ද එමගින් පුද්ගලයන් 1800 ගණනක් මියගිය බව ද සඳහන් කළේය. මේ අනතුරේ වරද ඉරණම නැමැති විඥානවාදී සාධකයට පවරනවා ද නොඑසේ නම් හරියට වැඩ නොකරන තිරිංග සහ රියැදුරා නැමැති භෞතිකවාදී සාධකයට පවරනවා ද යන්න අප සොයා බැලිය යුතුය.

රථ වාහන වැඩිවීමත්, පාරවල් විශාල වීමත්, වාහනය පදවන එකා මී හරකකු වීමත් නිසා මේ රටේ රිය අනතුරු ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. බදුල්ලේ අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ වයස අවුරුදු විසි තුනකි. දරුවකු උපන් දා සිට රැකබලාගෙන පාසල් යවා විශ්වවිද්‍යාලයකටත් යන මට්ටමට එන තෙක් රැක බලා ගැනීම මවුපියන්ට ලෝක යුද්ධයකි. විශේෂයෙන්ම එම දරුවන් ගැහැණු දරුවන් වූ කල හට ගන්නා තත්ත්වය ඉතාම සංකීර්ණය. ගැහැණු ළමයා ගමන් කරන පාර දිගේ උගුල් කිහිපයක්ම ඇත. ඒ උගුල්වලින් දරුවන් බේරා ගැනීම සඳහා මවුපියන් එම දරුවන් පසුපස යා යුතුමය. මේ සියලු කඩඉම්වලින් පැන විශ්වවිද්‍යාලයට යන දරුවා රිය අනතුරකින් මියගිය විට එය සමාන වන්නේ දරුවා යළි කවදාවත් නොඑන පරිදි අතුරුදන් වීමකටය. මෙවැනි දරුවකු භූමදාන කරන විට එම දරුවාගේ මළකඳ සමග දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ද වළ දමනු ලැබේ. දෙමාපිය ප්‍රාර්ථනා එසේ වළ දැමුව ද දෙමාපියන්ගේ ආත්මය වළ දැමීමට නොහැක. එබැවින් ජීවතුන් අතර සිටින තාක් කල් මේ මාපියෝ සිය දරුවන්ගේ මතකය නැමැති ගිනි ජාලාවෙහි දැවෙති. මේ රටේ හැම පාසලකම සිටින ළමයි වාර්ෂිකව අධ්‍යාපන චාරිකාවල යෙදෙති. ඒවා යා යුතුම වූ ගමන්ය. දවස පුරාම පාසලටත්, ගෙදරටත් කොටුවී සිටින දරුවාගේ මංඥං වූ මොළය ලිහිල් කිරීම මෙකී අධ්‍යාපන චාරිකාවලින් සිදුකෙරේ. ඒ නිසා අධ්‍යාපන චාරිකා නැවැත්විය යුතු යැයි උපදෙස් දීමට කාටවත් නුපුළුවන. හැබැයි අධ්‍යාපන චාරිකාවලින් දරුවන්ගේ පණ ගලවා දෙන ලෙස රියැදුරන්ට බල කිරීමේ අයිතිවාසිකම මේ රටේ මුළුමහත් ජනතාවටම ඇත. ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ රියැදුරා බසය අතට ගත් සැනින් එහි තිරිංග වැඩ නොකරන බව දැනගත යුතුය. ඊළඟ මොහොතේ දී ඔහු කළ යුත්තේ බසය නැවතත් විශ්වවිද්‍යාලයට භාර දී සුදුසු තිරිංග සහිත බසයක් ලබා ගැනීමය. එහෙත් අධ්‍යාපන චාරිකාව සංවිධානය කරන ගුරුවරුන් හෝ සරසවි ඇදුරන් තිරිංග ප්‍රශ්නය අමතක කර පරිස්සමෙන් යමු යැයි කියමින් රියැදුරාට බල කළොත් ඔහුට එම ගමන යෑමට සිදුවෙයි. මේවා අප හඳුන්වනු ලබන්නේ තාක්‍ෂණික සහ චර්යාත්මක ප්‍රශ්න ලෙසය. ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන චාරිකා බසයෙහි තිරිංග වැඩ නොකරන බව දැනගත් රියැදුරා එම ගමන යෑම තරයේ ප්‍රතික්‍ෂේප කළේ නම් මේ අනතුර සිදුවන්නේ නැත. අපට දැනගන්නට ඇති පරිදි රියැදුරා බසය විශාල හෙලකට ඇද වැටීම වළක්වා ගනු වස් එය අනෙක් පසට කපා තිබේ. අනතුර සිදුව ඇත්තේ එවිටය. හැබැයි මේ බසය ප්‍රපාතයට පෙරළුනේ නම් මීට වඩා විශාල ප්‍රමාණයක් සිසු සිසුවියන් මියයනවා ඇත.

මේ රටේ රිය අනතුරු සිදුවෙයි. ඒවායින් මනුෂ්‍යයෝ මියයති. මේ රටේ විවිධ අපරාධ සිදුවෙයි. ඒවායින් ද මනුෂ්‍යයෝ මියයති. ඒ හැම අවස්ථාවකම අපි ඒවාට එරෙහිව කතු වැකි ලියන්නෙමු. එහෙත් කතු වැකිවලට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි බව ඔප්පු කරමින් එවැනි අනතුරු නිතර නිතර සිදුවෙයි. මේ තත්ත්වය ගැන කනගාටුවීම හැර වෙන විකල්පයක් අපට ඉතිරි වන්නේ නැත.


advertistmentadvertistment