බස් රථවලදී පසුම්බි සහ ජංගම දුරකථනවලට විදින සංවිධානාත්මක කාන්තා කල්ලියේ නායිකාව මාට්ටු

751

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සහ දුරකථන සොරා ගන්නා සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක නායිකාවක් මගියකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත (02 දා) දින භාර දී ඇත. තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදී ගොඩ වූ කාන්තාවන් තිදෙනකුගෙන් එක් කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයකුගේ රු 65,000ක මුදල් සහිත පසුම්බිය සොරාගෙන තිබේ. එහිදී එම තරුණයා මුදල් පසුම්බිය ගත් තරුණියව අල්ලා හැටන් පොලිසිය වෙත භාර දී ඇත.

සැකකාර තරුණිය මුදල් පසුම්බිය ඇය සමග පැමිණි අනෙකුත් තරුණියන් වෙත ක්ෂණිකව ලබාදී ඇති අතර එම මුදල් පසුම්බිය රැගෙන එම තරුණියන් දෙදෙනා බස් රථයෙන් බැස පලා ගොස් ඇත.

මුදල් පසුම්බිය නැති වු තරුණයා පොලිසිය හමුවේ කියා සිටියේ තමන් පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරීම සඳහා රැගෙන පැමිණි මුදල් මෙසේ සොරාගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින සැකකාර කාන්තාව අහිකුණ්ඨීක කණ්ඩායමක තරුණියක් බවත්, පලාගිය සැකකාර තරුණියන් දෙදෙනා එම කණ්ඩායමේ සමාජිකයන් බවත් පොලිසිය පැවසීය. පසුගිය දින කිහිපය තුළ බස් රථවල ගමන් ගන්නා මගින් සහ පාසල් සිසු සිසුවියන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකථන විශාල වශයෙන් අස්ථානගත වී ඇති බව හැටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment