බහුවිධ සමාජයක ද්‍රැවීකරණය වූ  ජාතික අභිලාෂ සහ පාලක  අභිලාෂවල ස්වරූපය කෙබඳුද?

137

විවිධත්වයක් සහිත සමාජයක් තුළ සමාජ, ආර්ථික දේශපාලන, ආගමික, මෙන්ම භාෂාමය වෙනස්කම් පවතී. එසේ වුව ද දේශපාලන ඒකාග්‍රතාවක් පවත්වාගෙන යෑමට පවත්නා ආණ්ඩුව කටයුතු කළ යුතු ය. යම් ජනවාර්ගික කණ්ඩායමක තම අභිලාෂවලට සාධනීය ප්‍රතිචාරයක් පවත්නා ආණ්ඩුක්‍රමය විසින් ලබා නොදෙන විට ඊට ප්‍රතිවිරුද්ධ මතවාද ඉදිරිපත් වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වන්නේ එබැවිනි. මෙම සමාජ බහුවිධතාව (social diversity) ලෝකයටම පොදු තත්ත්වයන් තුළ අවබෝධ කර ගත හැකි ය. කෙසේ වෙතත් ලෝකයේ ඕනෑම රටක් තුළ එක් එක් ජනකොටස්වලට ආවේණික සංස්කෘතීන් ද ගොඩනඟා ගෙන එය පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලැබේ.

 ශ්‍රී ලංකාවේ ආශ්‍රයෙන් විමසා බැලීමේදී ජනවාර්ගික

 කණ්ඩායම් (Ethnic groups) සහ ඔවුනොවුන්ගේ ආගමික විවිධත්වය හේතුවෙන් සමාජය තුළ සංකීර්ණ බවක් නිර්මාණය වී ඇති අතර මෙවැනි සමාජයක වැදගත්ම ලක්ෂණය නම්, තම ජන කොට්ඨාශයට ආවේණික ලක්ෂණ පවත්වා ගනිමින් සමස්ත සමාජය සමග එකට ජීවත් වීමට ක්‍රියා කිරීමයි. නමුත් එය එතරම්ම පහසු කාර්යක් නොවේ. රටේ සමාජ, ආර්ථික, සංවර්ධන ක්‍රියාවලියෙන් සුළු ජනවාර්ගික කොටස්වලට ප්‍රතිලාභ නොලැබීම, කාර්මීකරණය, නාගරීකරණය සහ සමාජ කොටස් අතර අනාරක්ෂිත හැඟීම් ද ගැටලු පැන නැඟීමට හේතු වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ කවර රාජ්‍යයක් වුව ද මෙවැනි සමාජ, ආර්ථික අසමානතා සහිත ගැටලු රාශියක් මධ්‍යයේ වුව ද ආණ්ඩුකරන කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කිරීම අගය කළ යුතු කරුණකි.

 මෙහි ද්‍රැවීකරණය යන්නෙන් අදහස් කරන්නේ මාර්ග දෙකක් ඔස්සේ කටයුතු කිරීම ය. එහි කාර්යන් සමාන්තරව ගමන් කළ නමුත්, අරමුණු ද්විත්වයක් තුළ අවසානයේ නිශ්චිත ඉලක්කයක් ද නොපවතී. ඒ ඒ පාර්ශ්වයන්ගේ අවසාන අරමුණුවල හුදෙක් සමානතාවක් පවතිනවාය යන කාරණය පුරවැසියන් මුළාවට පත් වීමට ඉඩ ඇති හෙයින් ප්‍රවේශම්කාරී විය යුතු ය. මෙහි වඩාත් ප්‍රබල සාධකය බවට පත් වන්නේ පාලන තන්ත්‍රයයි. මෙහිදී පාලන තන්ත්‍රයේ පවත්නා පාලක අභිලාෂ සහ පුරවැසියන් බලාපොරොත්තු වන ජාතික අභිලාෂ අතර අන්තර් සම්බන්ධතාවක් ඇති නොවන තැන රාජ්‍යයක පැවැත්ම පිළිබඳව පිළිකුල් සහගත තත්ත්වයක් නිර්මාණය විය හැක.

 මෙවැනි බහුවිධ සමාජයේ ගැටුම්වල ස්වරූපය එකිනෙකට වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ. තරගකාරි අභිලාෂ, විවිධ අනන්‍යතා සහ ආකල්පයීය වෙනස්කම් මත පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර සමාජයේ දැඩි සමාජ, ආර්ථික අසමානතා, වෙනස්කම් කිරීම්, ආන්තීකරණය යනාදිය මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වීමට හේතු වී ඇත. මෙවැනි අවස්ථාවල විවිධ ජන සමූහයන් අන්‍යොන්‍ය පිළිගැනීම් සහ සාමදානවීම් විය හැකි ක්‍රම රාජ්‍යයන් සාර්ථකව අත්හදා බලමින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය තුළ ශ්‍රී ලංකාවට උගත හැකි වැදගත් පාඩමක් ද ඇත. එනම්, බහුවිධ සමාජ සංවිධානයේ අවශ්‍යතා පූර්ණත්වයට පත් කිරීම මෙන්ම රාජ්‍යයක් වශයෙන් ජාතික අභිලාෂ අරමුණු ළඟා කර ගැනීම සඳහා එම ජනවර්ගවල විඥානය හැඩ ගැස්වීමේ ක්‍රියාවලියක් ගොඩනැංවීමයි. එහිදී සැලකිය යුතු කරුණු කිහිපයකි.

 I. සමූහයන් අතර ඉදිරියේදී ඇති වන දේශපාලන සබඳතා සහ බල සමතුලිභාවයන් කෙබඳු දැයි තීරණය වන්නේ මුළු ජාතිය සමන්විත කරන විවිධ සමූහවල ප්‍රමාණය සහ එයට අනුපාතිකව බව

 II. වෙන වෙනම භූමි ප්‍රදේශවල පදිංචි වීම, භාෂාමය වෙනස්කම් සහිත ජනසමූහ උදෙසා වෙනස් විසඳුම්වල අවශ්‍යතාවය

 III. රාජ්‍යයක් සමන්විත ජනවර්ග එම රාජ්‍යයෙහි මායිම්වලින් බැහැර වීම තුළ විවිධ ආරවුල් පැන නැඟීම

 IV. අනෝන්‍ය හැල හැප්පීම් හේතුවෙන් භාෂා, ආගම් සහ ජනවර්ග භේද තියුණු ස්වරූපයක් ගැනීම

 V. ජනවර්ග අතර පවතින වර්තමාන සබඳකම් හැඩ ගැසීමට පෙර සබඳතා අත්දැකිම්හි බලපෑම

 යථොක්ථ කරුණු සියල්ලම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයට අදාළව සාකච්ඡාවට ලක් කළ හැක. විශේෂයෙන් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය සහ ආර්ථික අර්බුදය පුරවැසියන් අතර ජාතික වශයෙන් සංහිඳියාවක අවශ්‍යතාවය පෙරදැරි කරගෙන නිර්මාණය වීම දක්නට ලැබේ. මන්දයත් කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය, ආර්ථික, දේශපාලන අර්බුදවලට ඉහත කී වාර්ගික, ආගමික භේද අදාළ නොවීමත්, එහි බලපෑම සමස්ත පුරවැසියන් විසින්ම මුහුණ දීමට සිදුව තිබීමත් ය. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව සිංහල බෞද්ධ පදනමකින් ජනවරම ගෙන ඉදිරියට පැමිණ ගනු ලබන සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන තීන්දු, තීරණවල දුර්විපාක සිංහල මෙන්ම සෙසු ජාතීන් ද භුක්ති විඳිමින් සිටී. මේ තත්ත්වය හේතුවෙන් සංහිඳියාව තුළ බලපෑම් දෙකක් නිර්මාණය වී ඇත. එනම්,

 I. බහුතර ජනයා බලය පාවිච්චි කිරීමේදී දක්වන යුක්ති සහගත බව, වගකීම්, හැඟීම් සහ ප්‍රකට කරන කාරණා පූර්ණත්වය

 II. එකී බහුතර ජනයා උසුලන නායකත්වය සහ අනුපාතික වශයෙන් භුක්ති විඳින බල කොටස නිමිත්තෙන් අනුකූලනය වී ක්‍රියා කිරීමට සුළු ජනයාගේ කැමැත්ත යන්නයි.

 ඉහත කාරණා දෙක බහුවිධ සමාජයක ජනවර්ගවල සමෝධාන ක්‍රියාවලියට සෘජුව බලපෑමක් සිදු කරයි. කෙසේ වෙතත් සිංහල ජාතික පරමාදර්ශය ගොඩනැඟී ඇත්තේ පුරාවෘත්ත සහ ජන කතා මඟින් පරපෝෂිත වූ දෙයක් මත නිදහස තකා දෙමළ ආක්‍රමණිකයන්ට විරුද්ධව සිංහලයන් කරගෙන ගිය අරගලයක් මඟිනි. බහුතර සිංහල ජනතාවගේ එය අද වන විටත් යටි සිතේ අවිඥානිකව හෝ සවිඥානිකව තැන්පත් වී ඇත. එබැවින් සිංහල ජනතා බහුතරය තවමත් පිළිගනු ලබන කාරණය වන්නේ දෙමළ ජනතාව පසුකාලීනව සංක්‍රමණික වූ පිටස්තර පුද්ගලයන් පිරිසක් ලෙසිනි. ඒ ආකල්පය දෙමළ ජනතාවට පෙනෙන්නේ තම ජන කොට්ඨාශය එකම රටේ දෙවැනි පංතියේ පුරවැසියන් බවට පත් කරලීමක් වශයෙනි. භාෂා ප්‍රශ්නය ද මේ සමඟ පවතින තවත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත. මෙහිදී ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස වැදගත් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජනවාර්ගික

 භේදයකින් තොරව වර්තමානයේ පවතින වසංගත තත්ත්වයත්, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් එකතු වී අනුකූලනය වෙමින් ජාතික අභිලාෂ වෙතට ළඟා වීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලට යොමු වීමයි.

 මෙහිදී ජාතික අභිලාෂ යනු මොනවාද? යන්න හඳුනා ගැනීම පදනම් කරුණකි. පොදුවේ ජාතික අභිලාෂ ලෙස ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, ජාතික අභිමානය, ජනතාවට උසස් ජීවන තත්ත්වයකට ඉඩ සැලසීම, ආකල්ප ප්‍රවර්ධනය ආදීය වැදගත් ය. මෙම කාරණා දේශපාලන සංවර්ධනය සඳහා සෘජුව දායක වේ. එහිදී විවිධ ජනවාර්ගික භේද පසෙකලා “එක් රටක් – එක් ජාතියක්” වශයෙන් ජාතික අභිලාෂ හඳුනා ගැනීමට අවශ්‍ය පදනම්වල අභ්‍යන්තර ව්‍යුහයන් හඳුනා ගෙන තිබීම අවශ්‍යම කාරණයකි. උදා : ජාතික ආරක්ෂාව, යනු ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වීම පමණක් නොව ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂාව, වෙරළ ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම ජාතික ආරක්ෂාවේ අනිවාර්ය ව්‍යුහයන් බව සිහි තබා ගත යුතු ය.

 මෙම ලිපියේ ඉතිරි කොටස ඊළග සරසවි අතිරේකයේ පළවේ.

 සටහන
 කේ. ඩී. එම්. නිසංසලා
 ශාස්ත්‍රපති (දේශපාලන විද්‍යාව),
 කැලණීය විශ්වවිද්‍යාලය.

 සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment