බහු ජාතික සමාගම්වලින් ගොවියා මුදා ගන්නවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

23

ශක්තිමත් ගමන තවත් ශක්තිමත් කරමු නගර සභා ප්‍රාදේශීය සභා මාලිමාවෙන් පුරවමු

හොඳ දිශාවකට ගමන් කරන රටක් ගොඩනැඟී තිබෙනවා

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මකයි

බහුජාතික සමාගම්වල ගොදුරු බවට පත්ව සිටින ගොවි ජනතාව එම තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් පුත්තලම ප්‍රදේශයේ (24දා) සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එළැඹෙන මැයි මස 06 වැනිදා ඡන්දයෙන් මාලිමාව ජයග්‍රහණය කළ යුතුයි. එසේම ජයග්‍රහණය කරන්න පුළුවන්. වසර 76ක් තිස්සේ පවුල්වලින් පවුල්වලට, පරම්පරාවෙන් පරම්පරාවට මාරු වූ මේ පාලනය සැප්තැම්බර් මස 21 වැනිදා මේ රටේ ජනතාව විසින් අවසන් කළා. අනතුරුව පාර්ලිමේන්තුව සුද්ද කරලා දුන්නා. මේ රටේ ජනතාව අප කෙරෙහි විශාල බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් සහිතව අපට ජනවරම ලබාදී තිබෙනවා. එම ජයග්‍රහණය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම දේශපාලන පරිවර්තනයයි. ඒ සඳහා ඔබ නිර්භීතව දායකත්වය ලබා දුන්නා. 2019 වසරේදී ඡන්දවලින් 3%ක් ලබා ගත් දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන ආණ්ඩුව බවට පත් කළා.

2019 ලක්ෂ 69 ලබා ගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට අඩු කළා. එය සාමාන්‍ය තීන්දුවක්ද? අද රටේ එක දේශපාලන ව්‍යාපාරයක් සහ එක දේශපාලන නායකත්වයයි තිබෙන්නේ. අනික් දේශපාලන පක්ෂ කඩාවැටිලා, පරාජය වෙලා, කිසිදු සංවිධාන හැකියාවක් නැතිව මුළුමණින්ම බිඳ වැටී තිබෙනවා. මේ රටේ අනාගතය, ජනතාවගේ අනාගතය ගොඩනැඟිය හැක්කේ ජාතික ජනබලවේගයට පමණයි. ඔබ අපේක්ෂා කළේ මොනවාද? රටේ ආර්ථිකය හදන්න, හොරකම් නතර කරන්න, වංචනිකයන්ට දඬුවම් දෙන්න, නීතිය කාටත් සමාන ලෙස ස්ථාපිත කරන්න, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය දියුණු කරන්න නේද? තව මොනවද ඕනෑ? ආණ්ඩුව කෙටි කාලයක් තුළ ඔබ අපේක්ෂා කළ බලාපොරොත්තු වූ සෑම දෙයක්ම ඉටු කරමින් ඉන්නවා, අපි ඒවා ඉටු කරනවා.

පළමුව ජාතිවාදය පරාජය කරනවා. මීට පෙර මැතිවරණවලදී අපේ රටේ ජනතාව බෙදෙනවා. මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂවල නායකයන් තෝරනවා, දෙමළ ජනතාව දෙමළ පක්ෂවල නායකයන් තෝරනවා, සිංහල ජනතාව සිංහල පක්ෂවල නායකයන් තෝරනවා. එහෙම නේද තිබුණේ? ඔවුන් ජාතිවාදය වැපිරුවා. පසුගිය මහ මැතිවරණයේදී සියලු ජාතීන් එකට එකතු වෙලා පළමු වතාවට ජාතික ජනබලවේගයට ඡන්දය ලබාදී ජාතික සමගිය පෙන්නුම් කර තිබෙනවා. යළි මේ රට බෙදෙන්නේ නැහැ. ආණ්ඩු බලය වෙනුවෙන් ජාතිවාදය වපුරනවා. සිංහල – මුස්ලිම් ගැටුම් ඇති කරනවා. ජාතිවාදී සංවිධාන පෝෂණය කරනවා. දැන් ජාතිවාදී ප්‍රවෘත්ති තියෙනවාද? අද ජාතිවාදය පරාදයි. ජාතිවාදයෙන් තොර රාජ්‍යයක්, ජාතිවාදයෙන් තොර පාලනයක් ජාතික ජනබලවේගය ඇති කරනවා.

ජාතිවාදයට එරෙහි නව නීති තුළින් හෝ ජාතිවාදය පරාජය කරනවා. අපට අවශ්‍ය සියලු ජාතීන් සහයෝගයෙන් ජීවත් වන රටක්. ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරමින් සිටිනවා. උද්ධමනය පහළ අගයක තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව ලැබෙනවා. විදේශ ව්‍යාපෘති යළි ආරම්භ වී තිබෙනවා. මේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට නම් අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. පුත්තලම දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න දසලක්ෂ 544ක් වෙන් කර තිබෙනවා. දැන් වැඩේ කරන්න ඕනෑ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. බිඳවැටුණු රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට වසර ගණනාවකට පසුව අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගන්න අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

රට හදන්න නම් දක්ෂ කණ්ඩායමක් රාජ්‍ය සේවයට අවශ්‍යයි. වසර ගණනාවකින් පසුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. රටේ ආර්ථිකය හදනකම් ජනතාවට සහනාධාර අඛණ්ඩව ලබා දෙනවා. ජනතාව බලා ගන්න ආණ්ඩුවක් අද නිර්මාණය කර තිබෙනවා. එතැනින් නතර නොවී සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය දියුණු කරනවා. හලාවත රෝහලේ නතර වී තිබූ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට කෝටි 108කට ආසන්න මුදලක් වෙන් කළා. පුත්තලම රෝහලේ අඩුපාඩුකම් පෙන්වා දෙන්න. ඊළඟ වසරේ අයවැයෙන් ඊට අවශ්‍ය මුදල් වෙන් කරනවා. ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් අවශ්‍යයි.

අප පළමු අයවැයෙන්ම ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් සිටිනවා. එදා තිබුණේ පාලකයන් විසින් බෙදාගත් ආණ්ඩුවක්. අද ජනතාවට බෙදන ආණ්ඩුවක් තිබෙනවා. අද වසර 76කට පසුව පාලකයන්ට හිමි වරප්‍රසාද අත්හැර, ජනතාවට බෙදා දෙන ජනතාවගේ ආණ්ඩුවක් හැදී තිබෙනවා. කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් ගොවි ජනතාවට බීජ ලබාදීමට පියවර ගන්නවා. වී ගොවීන්ට සාධාරණ මිලක් ලැබුණේ නැහැ. මේ කන්නයේ ගොවීන්ට හොඳ මිලක් ලැබුණා. රජයේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කළා. අපට අවශ්‍ය ගොවීන්ට හොඳ මිලක් ලබා දෙන්නයි. අපි ඒ යාන්ත්‍රණය සකස් කර තිබෙනවා. නැවතත් වී මිල අඩු නොවෙන ක්‍රමය හදා තිබෙනවා.

එපමණක් නොව එළවළු වගා කරන ගොවි ජනතාව කෘමිනාශකවලට විශාල මුදලක් වියදම් කරනවා. ඒක ගොවි ජනතාවට දරා ගන්න බැහැ. බහුජාතික සමාගම්වලට ගොවි ජනතාව ගොදුරු විය යුතු නැහැ. ආණ්ඩුවේ සමාගම් මගින් වල්නාශක ආනයනය කර, සාධාරණ මිලකට ගොවීන්ට ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. සමාගම්වල ගොදුරු වී තිබෙන ගොවි ජනතාව මුදා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම අප රජයක් විදිහට ඉටු කරනවා. එසේම ධීවර කර්මාන්තය වෙනුවෙන් ඉන්ධන සහනාධාරය ලබා දුන්නා. ඒ ක්ෂේත්‍රයට අදාළ බදු ඉවත් කිරීමට සාකච්ඡා කරමින් සිටිනවා. මහ මුහුදේ ධීවර සම්පත අප රට ගොඩනැඟීමට මනාව උපයෝගි කර ගැනීමට සැලසුම් සකස් කරනවා. ජනතාව අපට ඡන්දය ලබාදී තැබූ අපේක්ෂාවන් අපි නිසි ලෙසම ඉටු කරනවා. ඒ පිළිබඳ මේ රටේ ජනතාව සතුටු වෙනවා. එහෙත් මාධ්‍යවල අඬන පිරිසක් ඉන්නවා. ඔවුන් අඬනවා, නමුත් අපි වැඩ කරනවා, ජනතාව අප සමග ඉන්නවා.

බහු ජාතික සමාගම්වලින් ගොවියා මුදා ගන්නවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

මහජනයාගේ රුපියලක්වත් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩු මීට පෙර තිබුණද? මහජනතාවගේ මුදල් හොරකම් කළා පමණක් නොව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් ආණ්ඩු තිබුණේ. කප්පම් දේශපාලනය, මහජනතාවගේ දේපළ, මුදල් හොරකම් කළ යුගය අවසන්. අද ව්‍යවසායකයන්ට, ආයෝජකයන්ට, සියලු පුරවැසියන්ට අවශ්‍ය නිදහස් පරිසරය රට තුළ නිර්මාණය වී තිබෙනවා.

ආණමඩුවේ බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩම් සම්බන්ධ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදී එම ඉඩම් යළි ජනතාවට ලබා දීමට අපි කටයුතු කරනවා. මීට පෙර එහෙම තිබුණද? එදා නීති දෙකක් ඇති රටක් තිබුණේ. ඒ යුගය අවසන්. කාටත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වන රටක් අපි විසින් නිර්මාණය කර තිබෙනවා. අපරාධ කළා නම්, හොරකම් කළා නම් කවදා හරි ඒකට නීතිය ක්‍රියාත්මක වන රටක් තිබෙන බව සහතික කළ යුතුයි. අපි එය කරනවා.

අද සෑම අතින්ම හොඳ දිශාවකට ගමන් කරන රටක් ගොඩනැඟී තිබෙනවා. ඔබ අපේක්ෂා කළ, බලාපොරොත්තු වූ දේ ඉටු කරන ආණ්ඩුවක් තිබෙනවා. මහ ආණ්ඩුව සමග පෙළගැසුණු නගර සභාවක්, ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. අප තැබූ පියවර ඉදිරියටම යා යුතුයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී, අප ආරම්භ කළ ගමන තවත් ශක්තිමත් කර ගනිමින් අපි ඉදිරියට යමු. සෑම නගර සභාවක්ම, ප්‍රාදේශීය සභාවක්ම මාලිමාවෙන් පුරවමු.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ


advertistmentadvertistment