බළධාරීන්ගේ අවධානය පිණිසයි… රිජ්වේ රෝහල වනසන ‘මිනිස් වෛරසයක්’

393

රිජ්වේ ආර්යා ළමා රෝහල හෙවත් ‘නෝනා වාට්ටුව’ මෙරට පිහිටි ප්‍රධානතම ළමා රෝහලය. කලක් මෙරට පමණක් නොව දකුණු ආසියාවේ හොඳම ළමා රෝහල ලෙසද එය ප්‍රකටව පැවතියේය. මෙරට ළමා පරපුර නිරෝගීමත් කිරීම තුළ යහපත් මිනිස් සමාජයක් නිර්මාණය කිරීමේ භාරදූර කාර්ය ඉටුකරන මෙරට පිහිටි ජාතික ළමා රෝහල ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහල නම් කළ ද එහි කිසිදු වරදක් නැත.

එවැනි යහපත් භූමියක්, ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සපයන රට සතු ප්‍රධාන රෝහලක් ඇතැම් රෝහල් සේවකයන්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් යම් කඩා වැටීමකට ලක්වේ නම් එය රටේ දරු පරපුරට එල්ලවන මරු පහරකට සමාන කළ හැකිය. මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල එම අවාසනාවන්ත ඉරණමේ ගොදුරක් බවට පත්ව අවසන්ය. මෙරට රෝහල් පද්ධතිය ආශ්‍රීතව ඇතැම් සුළු හා කනිෂ්ඨ සේවකයන් විසින් සිදුකරන ‘වැඩ කිඩ’ ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එවැනි පුද්ගලයන් විසින් සිදුකරමින් සිටින නොමනා ක්‍රියාවන් ගැන පමණටත් වඩා මාධ්‍ය මගින් දැනුවත් කර ඇතත් ඒ සඳහා ගත් විනය ක්‍රියාමාර්ග පිළිබඳ හරි හමන් තොරතුරු මාධ්‍යයට වාර්තා නොවන තරම්ය. එබැවින් රාජකාරිය වෙනුවට නොයෙකුත් අනීතික ක්‍රියාවන්ගේ නිරත රෝහල් සේවකයන් පිළිබඳ කැත හිරිකිත පුවත් මෙරටින් වාර්තා නොවන දිනයක් නැති තරම්ය.

පහත පෙළ ගැසෙන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තම පුද්ගලික බූදලයක් බවට පත්කර ගත් සුළු සේවා පාලකවරයකු පිළිබඳ අප්‍රසන්න කතාවය. ශිෂ්ට සමාජයේ කිසිවෙකු විසින් අනුමත නොකරන එම කතාව අප හමුවේ සඳහන් කර සිටින්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත සුළු හා කනිෂ්ඨ සේවකයන් හා රෝහල් කාර්මික නිලධාරීන් පිරිසක් විසින්ය. ඔවුන් සඳහන් කරන පරිදි මෙම ප්‍රධාන සුළු සේවා පාලකවරයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් මේ වනවිට රෝහලේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවෙමින් ඇත. ඒ සම්බන්ධව අවස්ථා කීපයකදී රෝහල් අධ්‍යක්‍ෂවරයාව දැනුවත් කිරීමෙන් පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් එම නිලධාරියාට වෙනත් රෝහලක් වෙත ස්ථාන මාරුවක් ලබාදීමට නිර්දේශ කර ඇතත් තවමත් එය නිර්දේශයකට පමණක් සීමාවී ඇත.

රෝහලක් නිසි පරිදි පවත්වාගෙන යෑම පිණිස වෛද්‍ය, හෙද හෙදි සහාය වැදගත් වන්නේ යම් සේද අදාළ රෝහල තුළ සුළු සේවා කටයුතු ආදියද ඒ අයුරින්ම විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. රෝහල් යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ එවිටය. රෝහලක් තුළ ක්‍රියාත්මක වන සුළු සේවාවන් ‘සුළුවෙන්’ තැකිය නොහැකි වන්නේ එබැවින්ය. රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ කලක පටන් සිදුවන දූෂණ අක්‍රමිකතා හේතුවෙන් සහ එහි සේවය කරනු ලබන ප්‍රධාන සුළු සේවා පාලකවරයාගේ නම එම සෑම දූෂණ අක්‍රමිකතාවයන් හමුවේ සඳහන්ව තිබීම හේතුවෙන් මේ වනවිට සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇත. රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට නම් බලය අත්තනෝමතික ලෙස භාවිතකරමින් අනීතික ක්‍රියා රැසක් සිදුකර ඇති මෙම නිලධාරියා පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එතෙක් ඔහුට වෙනත් රෝහලක් වෙත කඩිනමින් ස්ථාන මාරුවක් ලබාදිය යුතු බවත්ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කොවිඩ් වසංගත සමයේදී රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත එක්තරා කතෝලික දේවස්ථානයක් විසින් ප්‍රදානය කරන ලද පරිත්‍යාග තොගයකින් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රධාන සුළු සේවා පාලකවරයාගේ අනුදැනුම මත අස්ථාන ගත වූ බවත් අදාළ පරිත්‍යාගයන් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් භාරගත් පසු එම පරිත්‍යාග තොගය රෝහල් පරිශ්‍රයේ වෙනත් ස්ථානයක පිහිටි ගබඩා කාමරයේ තැන්පත් කිරීමට රැගෙන යෑමේදී එම වංචාව සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී චෝදනා ලද ප්‍රධාන සුළු සේවා පාලකවරයා එම ස්ථානයේ රැඳී සිටින අයුරු සීසීටීවී දර්ශන ඔස්සේ මැනවින් දැකගත හැකි බවත්ය.

ඒ පිළිබඳව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ නියෝගය පරිදි විමර්ශනයක් සිදුකර ඇතත් මේ වනවිට අක්‍රමිකතා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී ඇති රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවා අංශ ප්‍රධානියෙකු යැයි සඳහන් පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය කර නැත. රටේ දුවා දරුවන් ප්‍රතිකාර ලබන රෝහලක මෙවැනි නිලධාරියකු සේවයේ නිරත වීම කිසිසේත් සුදුසු නොවන බව රෝහල් සේවකයන්ගේ මතය බවට පත්වී ඇත.

අදාළ සුළු සේවා අංශ ප්‍රධානියා ස්ථාන මාරුකර විදිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම රෝහල් සේවකයන් පිරිසක් විසින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීම් පවා සිදුකර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රෝහල් අධ්‍යක්‍ෂවරයාට කීපවරක් පැමිණිලිකර ඇතත් මොන යම් හෝ හේතුවක් මත මෙම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකරන එම ක්‍රියාමාර්ග අතර මඟ නතර වන බව ද රෝහල් සේවකයෝ සඳහන් කර සිටිති. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබල වෘත්තීය සමිතියක් මෙම දූෂිත නිලධාරියාගේ ආරක්‍ෂාව පිණිස ක්‍රියාත්මක වන බවට ද රෝහල් සේවකයන් තුළ සැකයන් හටගෙන ඇත.

විෂමාචාරයන් සහ අක්‍රමිකතාවයන් රැසකට සම්බන්ධ මෙම නිලධාරියාව ස්ථාන මාරුකර විමර්ශනයක් පවත්වන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ අත්සනින් යුත් දීර්ඝ ලිපියක් රෝහල් අධ්‍යක්‍ෂතුමා වෙත භාරදීමෙන් පසු ළමා රෝහල් අධ්‍යක්‍ෂතුමාගේ නියෝගය පරිදි තවත් ලිපි ගොනුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන් බව සඳහන් කරන රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග ඒ සම්බන්ධව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කිසිවෙකුගේ බලපෑම මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම දිනෙන් දින ප්‍රමාද වන බවය.

කීර්තිමත් ඉතිහාසයක් සහිත රිජ්වේ ආර්යා ළමා රෝහලේ එක් පුද්ගලයකුගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් යම් හානියක් සිදුවේනම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම බලධාරීන්ගේ වගකීම විය යුතුය. කලක් තිස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහල තම පුද්ගලික බූදලයක් බවට පත්කර ගැනීමට යත්න දරන මෙම සුළු සේවා පාලකවරයා මේ වනවිට වසර 16 ට අධික කාලයක් එම රෝහල තුළ රාජකාරි කරන ලද පුද්ගලයකු වීමත් එම කාලය තුළ විවිධ දූෂණ අක්‍රමිකතා ආදියට සම්බන්ධ වීමත් හේතුවෙන් මෙරට පිහිටි වැදගත් රෝහලක් ‘රෝගී’ තත්ත්වයට පත්වීමේ දැඩි අවධානමක් මේ වනවිට හටගෙන තිබෙන අතර ඉදිරියේදී රෝහල් කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම පිණිස මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව විමර්ශන වහ වහ කඩිනම් කළ යුතුව ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment