බ්‍රහස්පතිගේ අපල දුරු කරන වත්පිළිවෙත් මෙන්න

1071

විශ්වාසය තැබිය හැකි ශුභ ග්‍රහයා ලෙස හඳුන්වන ගුරු ග්‍රහයා ඉතා ඥානවන්ත, හික්මීමෙන් යුක්ත අයෙක් වෙයි. ශිල්ප ශාස්ත්‍රවලට දක්ෂ වනු ඇත. හරිහම්බ කිරීමට යහපත් වේ. ඉතින් මේ ග්‍රහයා තරහ වන්නේ කලාතුරකිනි. එසේ තරහ වූවොත් උදව් ලබාගැනීම අසීරුයි. උත්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා දුබල ස්ථානයක සිටීමෙන් හෝ ජන්මියාට ගුරු අන්තර් දශා විදශා අශුභ නම් ගුරු ග්‍රහයා අශුභ වේ. ග්‍රහ මාරුවීම්, ග්‍රහ වක්‍රවීම්, ග්‍රහ යුද්ධ, සංක්‍රාන්ති නිරන්තරයෙන් සිදුවන කාලයක අපගේ හඳහන්වල ග්‍රහ බලපෑම් නිරන්තරයෙන්ම වෙනස්වීමකට ලක්වේ. එවැනි අහිතකර ග්‍රහ දෝෂයක් නිසා ඇතිවන අපලකාරී තත්ත්වයකට ඊට අදාළ වත්පිළිවෙත් ඉටු කිරීමට සිදුවෙයි. එයින් ජන්මියාට අපල වලින් වන හානිය අවම කර ගත හැක. ගුරු ග්‍රහයා අපල ගෙන දේ නම් මේ වත්පිළිවෙත් අනුගමනය කරන්න ජය ලබාගත හැක.

බ්‍රහස්පතින්දා දිවා කාලයක ධාන්‍ය වර්ග සහිත ආහාර ඖෂධ වට්ටියක්, දැහැත්, කහ පාට මල්, කහපාට කොඩි හතක් බෝධීන් වහන්සේ නමකට පූජා කොට තෙරුවන් වැඳ නවගුණ පාඨය ද රතන සූත්‍රය ද දිනකට හත්වරක් බැගින් දින හතක් සජ්ඣායනා කරමින් පූජාව තබන්න.

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පලතුරු පූජාවක් තබා අපල උපද්‍රව දුරු කර දෙන ලෙස බාර වෙන්න.

ශ්‍රී විශ්ණු දේව නාමයට සෙත්කවි සාදවා කියවන්න .

වැල්මී, කලාඳුරු, එළ අබ, දෑසමන් ,බෝලිද්ද මල් යන බෙහෙත් ද්‍රව්‍ය සම සමව ගෙන හෝ එළ අබ, වැල්මී, ඉරිවේරිය, බෝලිද්ද මල් යන බෙහෙත් ද්‍රව්‍ය සම සමව ගෙන තම්බා ගත් ජලය හෝ මෙම ඖෂධ වර්ග පැය 6 ක් බහා තැබූ ජලය ස්නානය පිණිස භාවිතා කරන්න.

පුෂ්පරාග මැණිකක් ශරීරයේ ස්පර්ශ වන ලෙස රත්තරන් හෝ රිදී හෝ සුදු යකඩින් තැනූ මුද්දකට හෝ වෙනත් පලඳනාවකට ඔබ්බවා එම මුදුව හෝ පලඳනාව නියමිත වාර ගණනක් ජප කරවා ගුරු දිනක ගුරු හෝරාවේ, ගුරු පංචම කාල හෝරාවේ හෝ ගුරු සූක්ෂ්ම කාල හෝරාවේ පලඳින්න.

බ්‍රහස්පතින්දා දිනවල භික්ෂූන් වහන්සේ කිහිප නමකට දානය පිළිගන්වා සිවුරු පිරිකර පූජා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

බෝ වෘක්ෂයකට සාත්තු කරන්න, ආවතේව කරන්න, නිතර බෝ වෘක්ෂය ස්පර්ශ කරන්න.

අභිසම්භිධාන යන්ත්‍රය, මණ්ඩල සිලම්බර යන්ත්‍රය, නරසිංහ යන්ත්‍රය යන යන්ත්‍ර වලින් එකක් හෝ නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, මාතාංගි ඊශ්වරී යන්ත්‍රය, හෝ බුදුගුණ යන්ත්‍රය යන යන්ත්‍ර වලින් එකක් නියමිත වාර ගණන ජප කර බන්දවා ගන්න.

රන්වන් පාට මල්, කහපාට මල් ,කහපාට කොඩි, ගිතෙල් පහන්, සුවඳ ජාති බෝධීන් වහන්සේ නමකට පුදා දෙවියන්ට පින් දෙන්න.

අටපිරිකර, උක් හකුරු, තිරිඟු, කහපාට වස්ත්‍ර, දන් දෙන්න.

බෝධි මණ්ඩප අමදින්න පිරිසිදු කරන්න.

හැකි සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න.

රාත්‍රි නින්දට පෙර ගුරු ස්තෝත්‍රය හැකි වාර ගණනක් ගායනා කරන්න.

මවුපිය වැඩිහිටි උපස්ථාන සිදුකිරීම යහපත්.

ඉහත දක්වා ඇති ආකාරයට ඔබ ගුරු ග්‍රහයාගෙන් සිදුවන අපල සඳහා ශාන්තිකර්ම කොට පිහිට ලබාගන්න. ඔබ සැමට තිසරණ සරණින් සියලු ග්‍රහ දෝෂ දුරු වී සිරිසෙත ළඟා වේවා.

බ්‍රහස්පතිගේ අපල දුරු කරන වත්පිළිවෙත් මෙන්න

ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී, විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242


advertistmentadvertistment