බ්‍රැඩ්මන් බලන්න මම ක්‍රීඩාංගණයට ආවේ බිත්ති දිගේ බඩ ගාගෙන…

509

රට වෙනුවෙන් ක්‍රිකට් ගැසූ ප්‍රවීණතමයා වන චන්ද්‍රා ෂාෆ්ටර් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියයි…
තණතීරුව බලපු බ්‍රැඩ්මන් කියලා තිබුණා මේක ටිකක් කොටයි වගෙයි අපි මැනල බලමු කියලා…
82 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් බෞතිස්මය දුන් සරවනමුත්තු පිටිය 83 දී ගිනිබත් වුණා….
ක්‍රිකට්වලට මුදල් පැමිණීමේ හොඳ මෙන්ම නරකත් තියෙනවා….
ක්‍රිකට් ආයතනය අද ක්‍රීඩා සමාජවලට හොඳින් සලකනවා…..
සතාසිවම් තමයි ලංකාවෙන් බිහිවුණු හොඳම පිතිකරුවා…

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා ගෙන අදට හරියටම වසර 41ක් සහ දින නවයකි. එම ඓතිහාසික සන්ධිස්ථානයට තෝතැන්න වූ පී. සරවනමුත්තු පිටියේ ප්‍රේක්ෂකාගාරයක අප එන තෙක් බලා සිටි ඔහු ඒ පමාවට සිසිල්බීම බෝතලයක් හිස් කරමින් සිටියේය. වයස අවුරුදු අනූ දෙකක් ඉක්මවමින් තවත් මාසයක පමණ ඇවෑමෙන් වයස අවුරුදු අනූතුනේ කඩඉමට පිවිසෙන්නට ඔන්න මෙන්නව සිටි ඔහු වියපත් වුවත් මහලු නොවන තරුණයෙකි. හිස පුරා දිගට වවා පීරා තිබූ සුදුවන් කෙස් කළඹ ඔහුගේ මුහුණ ට ගෙන දුන්නේ අමුතු තේජස් බවකි. අප එන දුටු ඔහු සිය අසුනෙන් නැගිට අතට අත දී ඉංග්‍රීසි ක්‍රමයට පිළිගනිද්දී ඒ අතෙහිද වියපත් බවක් නම් නොවිණි.

මෙරටට ටෙස්ට් වරම් හිමි වීමට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග තුනකට සහභාගි වූ හෙතෙම මේ වනවිට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ අනුශාසකවරයාය. මෙරට ක්‍රිකට් වංශ කතාවට සම්බන්ධව මේ වනවිට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා ලෙස ද සැලකෙන හේ චන්ද්‍රා ෂාෆ්ටර් නම් වේ. ඔහුට පසුව වයසින් වැඩිම ජීවතුන් අතර සිටින්නා ස්ටැන්ලි ජයසිංහ මහතායි. ස්ටැන්ලි ජයසිංහ මහතාගේ වයස මේ වන විට අවුරුදු අනූ දෙකයි මාසයක් පමණ වේ.

“එදා මේ පිට්ටනිය අපට නොතිබුණා නම් ශ්‍රී ලංකාවට 82 දී ටෙස්ට් වරම් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ දවස්වල අපේ රටේ ජාත්‍යන්තර තරගයක් පවත්වන්නට පුළුවන් ආකාරයේ වෙන කිසිම පිට්ටනියක් තිබුණේ නැහැ. පළමු ටෙස්ට් තරගයට මේ පිට්ටනිය නියමිත ප්‍රමිතියට සූදානම් කිරීම වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කරන්න සිදුවුණා. එම තරගය පවත්වන්න අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට පැවරුවා. එකල මම ටැමිල් යුනියන් එකේ කමිටු සාමාජිකයෙක්. අපේ ක්ලබ් එකෙන් ඒ සියලු කටයුතු භාර නිලධාරියා ලෙස මාව පත් කළා. ඒ අනුව ප්‍රවේශපත්‍ර මුද්‍රණයේ පටන් පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට අදාළ සියලු පරිපාලන කටයුතු මගේ අතින් තමයි වුණේ.

මීඩියා සෙන්ටර් එකක් හැදුවා. ඊට පසුව 3000 ක ට පමණ ආසන පහසුකම් ඇති ප්‍රේක්ෂකාගාරයක් හැදුවා. තව තාවකාලික ප්‍රේක්ෂක අට්ටාල හැදුවා. වැසිකිළි පද්ධති හැදුවා.”

අපේ කතාවට මුල පුරමින් ෂාෆ්ටර් මහතා එසේ පැවසීය. ඒ අතරතුර අපෙන් අතුරු ප්‍රශ්නයකි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ කවුරුවත් ඒ කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

“නැහැ. පාලක මණ්ඩලයේ කවුරුවත් ඒවට ඇඟිලි ගහන්න ආවෙ නැහැ. නිදහසේ මට අවශ්‍ය ලෙස වැඩ කටයුතු සිදු කළා. කොහොමහරි තරගය පවත්වන්නට පෙර අපේ සූදානම පිළිබඳව සොයා බලන්නට එංගලන්තයෙන් නියෝජිතයෙක් ආවා. ඔහුගේ නම අපේ ක්‍රීඩාංගනයේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු දේ ඔහුගේ අධීක්ෂණයට ලක් වුණා. පසුව ඔහු ලබා දුන් වාර්තාව පිළිබඳව සෑහීමකට පත් වුණු එංගලන්ත කණ්ඩායම ලංකාවට ආවා. ශ්‍රී ලංකාව ලංකාව ටෙස්ට් බෞතිස්ම ලැබුවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමට ප්‍රධානම දායකත්වය දුන්නේ ගාමිණී දිසානායක මහතා. ඔහුගේ උත්සාහය සහ කැපවීම නොතිබුණා නම් ක්‍රීඩාංගණයක් තිබුණත් අපිට ටෙස්ට් වරම් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් කියන්න ඕන. ගාමිණී දිසානායක මහතා කියන්නේ බැට් එකෙයි බෝලෙයි වෙනසවත් හරියට දන්නෙ නැති කෙනෙක්. එහෙත් ඔහුට රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න තිබුණු ඇල්ම සහ ලැදියාව නිසා ශ්‍රී ලංකාවට හිතුවටත් වඩා කලින් ටෙස්ට් වරම් හිමි වුණා.”

චන්ද්‍රා ෂාෆ්ටර් මහතා එම ප්‍රෞඪ අතීතය පිළිබඳ මෙනෙහි කරමින් සිටී. අප එහි සාකච්ඡා කරමින් සිටින විටද එම ඓතිහාසික පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබුණේය. වර්තමානයේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය ලෙස සැලකුවද එකල මෙම ක්‍රීඩා පිටිය හඳුන්වා තිබුණේ ඕවල් ක්‍රීඩා පිටිය නමිනි. අප ඉදිරියේ දැන් පැවැත්වෙන තරගය දෙසටද ඒ අතරතුර ෂාෆ්ටර් මහතාගේ තියුණු දෑස් යොමු වේ. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ යාපනය සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය එලෙස පැවැත්වෙමින් තිබිණි. එහි අද තරග කළෝ අශාන් ප්‍රියංජන් ය. මිනෝද් භානුකය. වනිදු හසරංග ය. බිනුර ප්‍රනාන්දු ය. තවත් නොකී නම් බොහොමයකි. එහෙත් අද ප්‍රියංජ්න් ලා තරග කරන ඒ සරවනමුත්තු පිටිය මීට වසර 75 කට පෙරදී එනම් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩා පිටිය වේ. මෙලොව ක්‍රිකට් වංශ කතාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ එකම ක්‍රීඩා පිටියද පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඩොනල්ඩ් බැඩ්මන් ශ්‍රීමතාණන්ගේ එදා ශ්‍රී ලංකා ආගමනය පිළිබඳ චන්ද්‍රා ෂාෆ්ටර් මහතාට තිබෙන්නේ අදටත් නිමක් නැති ගෞරවයකි.

“එදා බොරැල්ලට, කොළඹට මඟුල් ගෙයක් වගේ. බ්‍රැඩ්මන් ව බලන්නට ඇවිල්ල හිටිය සෙනඟ කොතරම්ද කියනවා නම් මම ක්‍රීඩාංගණයට ඇතුළු වුණේ බිත්ති දිගේ බඩ ගාලා. එතකොට මට වයස අවුරුදු දහඅටයි. ප්‍රේක්ෂකයෝ අතුරු සිදුරු නැතිව පිරිලා හිටියා. එකම ඝෝෂාවකින් ක්‍රීඩාංගණය දෙවනත් වී තිබුණා. එතකොට අපේ කණ්ඩායමේ නායකයා වුණේ එම්. සතාසිවම්. අපේ කණ්ඩායම කිව්වට කළ අපේ කණ්ඩායම හැඳින්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස නොවෙයි. “ඕල් සිලෝන්” තමයි අපේ කණ්ඩායමේ නම. එංගලන්ත කණ්ඩායමේ නායකයා වුණේ බ්‍රැඩ්මන්. කාසියේ වාසිය උරගා බලන්න සතාසිවම් මහතා සහ බ්‍රැඩ්මන් මහතා පිටියට එනවිට අර ඝෝෂාව තවත් වැඩි වුණා.

ආ.. ඊට කලින් තවත් විශේෂ දෙයක් සිදු වුණා. තරගය ආරම්භ කරන්න කලින් බ්‍රැඩ්මන් මහතා ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කළා. තරගය සඳහා සකස් කර තිබූ තණතීරුවේ නියමිත දිග ප්‍රමාණය තිබෙනවාද කියලා බ්‍රැඩ්මන් මහතාට එහිදී සැකයක් පහළ වුණා. ඔහු කියලා තිබුණා තණතීරුවේ නැවත දිග මනින්න කියලා. ඔහුගේ සැකය නිවැරදියි. යාර 22ක් තියෙන්න ඕන තණතීරුවේ තිබුණේ යාර විස්සයි. පසුව එය නිවැරදි කරල තමයි තරගය පටන් ගත්තේ.

බ්‍රැඩ්මන් මහතා කොච්චර ක්‍රිකට් ක්‍රීඩා කළත් එතුමා ඉන්දියාවටවත්, පකිස්තානයට වත් ක්‍රිකට් ගහන්න ගිහිල්ලා නැහැ. කොටින්ම නවසීලන්තයට වත් ගිහිල්ලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ අපේ රටට ඔහු පැමිණි එක කොච්චර භාග්‍යයක් ද? ඒ පැමිණි ගමනෙත් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළේ මෙතන පමණයි. එදා තරගය පැය හතර පහකට සීමා වුණා. බ්‍රැඩ්මන් ක්‍රිකට් ගහපු, ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ, මෙම ක්‍රීඩා පිටිය අසූ තුනේ කළු ජූලියේදී සම්පූර්ණයෙන්ම වගේ ගිනිබත් වුණා.ඊට පස්සේ අපි මේක අමුතුවෙන්ම හැදුවා. කවුරුවත් සල්ලි දුන්නෙ නැහැ. ඊටත් වසර දෙකකට පසුව ඉන්දියාවට එරෙහිව මේ පිට්ටනියේදී පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අපට හැකි වුණා.”

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ වරින් වර සභාපති ධුර, ලේකම් ධුර දරා ඇති ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස ද අවස්ථාවන් කීපයක දී කටයුතු කර ඇත. අද ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය යනු ඉතා භාරදූර කාර්යයකි. කොහොමද ඔබ සහ ක්‍රීඩකයන් අතර එකල පැවති සම්බන්ධය?

මොහොතක් කල්පනා කර මහ හඬින් සිනා සුනු ඔහු මෙසේ කීය.

“මම හරි සැරයි. නැහැ එහෙම නොවෙයි මම කියන්නේ මගේ රූල්ස්වලට පිටින් ගියොත් මම සැරයි. හැමෝටම පොදු නීති පද්ධතියක් තිබුණා. ඒ නීතිවලට ගරු කරමින් කටයුතු කරපු අයට මගෙන් කරදරයක් තිබුණෙ නැහැ. විනය තමයි අංක එක විය යුත්තේ. විනයක් නැති තැන මුකුත් කරන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ධනුෂ්ක ගුණතිලක ගේ සිද්ධිය. ඔහු හොඳ ළමයෙක් වෙන්න පුළුවන්. ගමෙන් ක්‍රිකට් ගහන්න පැමිණි අහිංසක ළමයි. ඒත් නිකන් නාස්ති වුණා. අපි ඒ අයට නිසි මග කියා දෙන්න ඕන.”

අප සිටි මේසයේ සිසිල් බීම වීදුරුවේ බහා තිබුණු බීම බටය දෙසට අතක් දිගු කළ ෂාෆ්ටර් මහතා එය මඳක් ඉහළට එසවීය.

“මේ බීම බටයෙන් කරන්න පුළුවන් දේ ගැන ඔබ නොදන්නවා නම් සමහර විට ඔබ මේක කාලා බීම ටික කටට හලා ගන්න පුළුවන්. ඒත් මම ඒ ගැන ඔබව හරියට දැනුවත් කළොත් මේ බීම බටය තිබෙන්නේ කන්න නොවෙයි බීම බොන්න කියලා ඔබ එසේ කරන එකක් නැහැ. බටෙන් බෝතලේ බීම ටික බොයි. ඒ වගේ දෙයක් තමයි ධනුෂ්කටත් වුණේ”

ඕල් සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් රට වෙනුවෙන් තරග තුනකට සහභාගි වී ඇති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ප්‍රකට ව සිටියේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස ය. එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 28කට කඩුලු 3ක් දවා ගැනීම ය. සිය දකුණත් වේග පන්දුවෙන් කඩුලු දහයක් දවා ගෙන ඇත. එහෙත් එකල ක්‍රීඩාවට තිබුණු අනුග්‍රහය ගැන ඔහු සිහිපත් කළේ මෙසේය.

“ක්‍රීඩකයන් විදියට අපිට සත 5ක්වත් කවුරුවත් දුන්නේ නෑ. කාගෙන්වත් අනුග්‍රහයක් ලැබුණෙත් නැහැ. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයටත් සල්ලි තිබුණේ නැහැ. අපේ අතේ සල්ලිවලින් බැට්, බෝල්, ෆෑඩ්ස් අරගෙන බොරැල්ලට වෙනකම් බස් එකේ ඇවිල්ලා එතන ඉඳන් මෙතනට පයින් ඇවිල්ල තමයි අපි රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවේ. අද නම් ක්‍රීඩා සමාජයකට සෙල්ලං කළත් ඒ අයට හොඳට ගෙවීම් කරනවා. මේ අපි ඉස්සරහ දැන් සෙල්ලම් කරමින් ඉන්න අයටත් තරගයකට රුපියල් තිස් හතළිස් දහස් ගණන් මුදල් ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ගොඩක් ධනවත්ව සිටින නිසා තමයි ක්‍රීඩකයන්ටත් මේ විදියට ඉහළ ගෙවීම් ලැබෙන්නේ. මම හිතන්නේ ආයතනය ගිණුමේ ඩොලර් මිලියන 30 කට වැඩිය තිබෙනවා. ඒ මුදල් ඔවුන් බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කරනවා වගේම ඔවුන් සෑම ක්‍රිකට් සමාජයකටම එක සමාන විදියට සලකනවා.”

එකල ක්‍රීඩා සමාජවල තත්ත්වය සහ අද ක්‍රීඩා සමාජවල තත්ත්වය මොනවගේද?

“ඉස්සර ක්‍රීඩා සමාජවල එක පුහුණුකරුවෙක් විතරයි හිටියේ. ඒ අයටත් හොඳ ගෙවීම් ලැබුණේ නැහැ. අද ඒ වගේ නෙවෙයි. පුහුණු කාර්ය මණ්ඩලය පුළුල්. සහායක පුහුණුකරුවන් ඉන්නවා. එක් එක් අංශවලට වෙනම පුහුණුකරුවන් ඉන්නවා. භෞත චිකිත්සකවරු ඉන්නවා. මේ ආදී අයට හොඳ වැටුපක් ලබා දෙන්න ඕන. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙන දායකත්වය අගය කළ යුතුයි. ක්‍රීඩා සමාජයකට තනිවම මේ වියදම් දරන්න බැහැ.”

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. එම තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජයට පත්කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය ශක්තිය ලොවට පෙන්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ස්ථාපිත කර ඇති කාන්තා උසස් කාර්ය සාධන ඒකකය පිහිටා ඇත්තේ ඇත්තේද ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ ය.

“කාන්තා ක්‍රීඩිකාවන් අපේ ක්‍රීඩා සමාජය තමයි ප්‍රයෝජනයට ගන්නෙ. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් අපි සපයනවා. ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය අපට ගෙවීමක් සිදු කරනවා. මම හිතන්නේ අපේ කාන්තා කණ්ඩායම ඉස්සරහට මීට වඩා දියුණු වේවි.”

ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

“එකක් 1982 වසරේ දී අපට ටෙස්ට් වරම් හිමි වීම. ඊට පසුව 1996 වසරේදී අපි ලෝක ශූරයන් වීම. අපි අයිසීසී සාමාජිකත්වය ලැබුවාට පසු ව අපේ ක්‍රිකට්වලට යම් මුදලක් ලැබෙන්න පටන් ගත්තා. එහෙත් 96 ලෝක ශූරයන් වුණාහම විශාල මුදල් සම්භාරයක් අපේ ක්‍රිකට් වටා කරකැවෙන්න පටන් ගත්තා. ක්‍රීඩකයන්ට යහමින් නෙවේ හිතුවටත් වඩා මුදල් ලැබුණා. ක්‍රිකට් ආයතනය ධනවත් ආයතනයක් වුණා. අද ඔවුන් ක්‍රිකට්වලට පමණ ක් නොවෙයි වෙනත් ක්‍රීඩා වලටත් විශාල වශයෙන් මුදල් ලබා දෙනවා. සමාජ සුබසාධන කටයුතු කරනවා. හැබැයි ක්‍රිකට්වලට මෙතරම් මුදල් පැමිණීමේ හොඳ මෙන්ම නරක දේවල්ද තිබෙනවා.”

දක්ෂ ක්‍රිකට් පරිපාලකයකු වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ජනශක්ති රක්ෂණ ආයතනයේ නිර්මාතෘවරයා ද වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට මුදල් හදල් හිග කාලයේදී බිහි වුණු ජනශක්තියෙන් එදා ක්‍රිකට්වලටත් ශක්තියක් ලැබුණා ද?

“ටෙස්ට් තරග කිහිපයකටම අපි අනුග්‍රහය දැක්වූවා. ඒ වගේම ක්‍රීඩකයන් විශාල පිරිසකට අපේ ආයතනයේ රැකියා ලබා දුන්නා. ඔවුන් රැක බලා ගත්තා. ඒ වාගේම ක්‍රීඩා සමාජයක් ලෙස ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයෙන් ද ක්‍රීඩා නේවාසිකාගාර පවා පවත්වාගෙන යමින් ක්‍රීඩකයන් දෙතුන් සියයකට වඩා අපි රැකවරණය දී තිබෙනවා”

රට නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා යනු ඉතා දුලබ භාග්‍යයකි. එසේම ක්‍රීඩා දෙකකින්ම රටක් නියෝජනය කරනවා යනු අතිශය දුලබ කාරණයකි. ඒ ඉතා විරල භාග්‍යයකට හිමිකම් කීමට අප ඉදිරියේ සිටින මේ මිනිසා සමත් වී තිබේ. ක්‍රිකට් හැර ඔහු මෙරට නියෝජනය කරමින් ක්‍රීඩා කළ අනෙක් ක්‍රීඩාව හොකීය.

“අවස්ථා කීපයකදී මම රට වෙනුවෙන් හොකී සෙල්ලම් කරල තියෙනවා. ඉස්සර ටැමිල් යුනියන් කියන්නේ ක්‍රීඩාවටත් විශේෂ තැනක් දුන් ක්‍රීඩා සමාජයක්.”

රටේ ක්‍රිකට් ක්‍රීඩාව සහ පරිපාලනය සම්බන්ධයෙන් අද නොයෙක් මතවාද පවතී. ඇතැමෙක් පවසන්නේ ක්‍රිකට් අතුරු කමිටුවක් වුව ද පත් වීමට පුළුවන් බවයි. අපි ඒ පැනය මේ ප්‍රවීණයාට යොමු කළෙමු.

“අතුරු කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පිළිගන්නෙ නැහැ. එයාල පිළිගන්නේ ක්‍රීඩා සමාජවල නිල ඡන්ද බලයෙන් පත් වූ විධායක මඬුල්ල පමණයි. ඒ වගේම අතුරු කමිටුවක් ආවොත් අපට ලැබෙන ආධාරත් නවතින්න වුණත් පුළුවන්. මොකද අතුරු කමිටුවක් ආවොත් වගේම ක්‍රිකට් ආයතනයට නොයෙක් දේශපාලන බලපෑම් එල්ල වුණොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපට ක්‍රිකට් තහනමක් පනවන්න වුණත් බැරි කමක් නැහැ. හැබැයි අපේ රටේ අතුරු කමිටු කිහිපයක් ක්‍රියාත්මක වුණා. ඉන් එකක් දෙකක් සාර්ථකව කටයුතු කළා.”

මෙරට ක්‍රිකට් පිටියෙන් ලොවට බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ගණන අති විශාලය. ඒ අය අතරෙන් අපේ රටේ බිහි වූ දක්ෂතම පිතිකරුවා සංගක්කාර ද අරවින්ද ද යන්න බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නයකි. ඔබ හිතන්නේ ඒ කවුද?

“ඒ කවුරුවත් නොවෙයි. සතාසිවම් තමයි ලංකාවෙන් බිහිවුණු හොඳම පිතිකරුවා. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පවා ඒ බව කියා තිබෙනවා. ඔහු කීවේ ලංකාවේ පමණක් නොව ලෝකයේම හොඳම පිතිකරුවා එම්. සතාසිවම් බවයි. අරවින්ද ඉතාම දක්ෂ පිතිකරුවෙකු බව මමත් පිළිගන්නවා. හැබැයි සතාසිවම්ට තිබුණා ඒ හැම හැමදෙනාටම නොතිබුණු දක්ෂකමක්. ඉස්සර මිනිස්සු මැච් බලන්න පොරකකා ඇවිත් සතාසිවම් අවුට් වුණහම ගෙදර ගියා. ඒ අයට ඕන වෙලා තිබුණේ සතාසිවම් බැට් කරනවා බලන්න විතරයි.”

සතාසිවම් පිළිබඳ ඒ කතාව අපේ කතාවේ නිමාව විය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment