බ්‍රිතාන්‍ය රජය කළුකොටි බෝම්බකරුවන් සැමරීමට අවසර දීම

171

තැම්ස් ගඟේ කොටි බෝට්ටුවකට සැරිසැරීමට හා පාර්ලිමේන්තුව ඉදිරියේ කොටි ධජය ප්‍රදර්ශනයට ඉඩ දී තිබූ අයුරු.

බ්‍රිතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම්ය. එහෙත් බ්‍රිතාන්‍ය පොලිසිය එරට පාර්ලිමේන්තුව ඉදිරියේ කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට හා මියගිය කොටි සමරුම් උත්සවය තැම්ස් නදියේ සරසන ලද කොටි බෝට්ටුවක පැවැත්වීමට අවසර දී ඇත.

මේ හැර මරාගෙන මැරෙන බෝම්බ පිපිරවූ කළු කොටි බෝම්බකරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ද ඉඩ දී තිබේ. එහෙත් අල්කයිඩා හෝ අයිසිස් ත්‍රස්තයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට හෝ අයි ආර් ඒ ත්‍රස්තයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයට බ්‍රිතාන්‍ය රජය අවසර දෙන්නේ නැත. පසුගිය වසරේදී ලන්ඩන් කොටි ජාලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මහාවිරු හෙවත් මියගිය ත්‍රස්තයන් සැමරීම සඳහා නියෝන් ආලෝකධාරාවලින් එළිය කළේය.

බ්‍රිතාන්‍ය රජය කළුකොටි බෝම්බකරුවන් සැමරීමට අවසර දීම

මෙවර ලන්ඩන් නුවර ශාලාවක් කුලියට ගත් කොටි ඩයස්පෝරාව කොටි ධජය සහ ශ්‍රී ලංකාවේ 2/3 ක සිතියම කොටින්ට අයත් බවත් ප්‍රදර්ශනය කෙරුණි. එහෙත් බ්‍රිතාන්‍ය රජය ත්‍රස්තවාදීන්ට අවසර දී තිබේ. මහාවිරු නාල් හෙවත් මියගිය කොටි මිනිමරුවන් සැමරීම සඳහා පොලිසිය අවසර දීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පවා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඊට හේතුව සර්ව පාක්‍ෂික ද්‍රවිඩ පාර්ලිමේන්තු කමිටුව නමින් කොටි හිතවාදීන්ට සම්බන්ධ මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නඟන්නේ නේස්බි සාමිවරයා පමණයි. මේ පසුබිම මැද යුද අපරාධ සිදුකළ ඇඩෙලා බාලසිංහම්ට එරෙහිව පවා බ්‍රිතාන්‍ය රජය කිසිදු පියවරක් ගෙන නැත.

මේ මහාවිරු සමරුවට ඝාතනය වූ ද්‍රවිඩ දේශපාලකයන් අයත් නැත. එසේනම් මොවුන් සමරන්නේ ත්‍රස්තවාදීන්ට නොවේද? පසුගියදා එරට පාර්ලිමේන්තුවේ පැවැති විවාදයක ද හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට හා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය. එහෙත් බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඇතුළු හමුදා ප්‍රධානීන් ඉරාකයේ සිදුකළ යුද අපරාධ ගැන චෝදනා එල්ල වූයේ නැත. මින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුගමනය කරන දෙබිඩි පිළිවෙත තහවුරු වේ.

බ්‍රිතාන්‍ය රජය 2006 වසරේ දී ත්‍රස්ත මර්දන පනතක් සම්මත කරනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා රජයේ ත්‍රස්ත මර්දන පනතට එරෙහිවී තිබේ.

බ්‍රිතාන්‍යය අනුගමනය කරන මේ පිළිවෙත පිළිගත හැකිද? නේස්බි සාමිගේ වාර්තාව අනුව මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 6000ක් 7000ක් අතර වේ. එහෙත් හිටපු බී බී සී වාර්තාකාරි එම සංඛ්‍යාව 140000ක් දක්වා වැඩි කළේය.

එසේ වුවත් මියගිය පිරිස කවුද? ඔවුන්ගේ නම් ගම් සහ ඝාතනය වූ ස්ථාන කුමන ප්‍රදේශයක දැයි ප්‍රාන්සස් හැරිසන් හෙළිකර නැත.

එහෙත් තවදුරටත් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වේ. එසේම මැග්නිට්ස්කි සම්බාධක පනවන ලෙස ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලා ඇත.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment