දිනෙන් දින උඩු දුවමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම පාහේ බිඳවැටෙමින් ඇති මොහොතක අර්බුදයේ දිග පළල, එය විසඳීමට රජය ගෙන ඇති විසඳුම් හි හරි වැරදි, ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු කාරණා පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග සිදුකළ එම සාකච්ඡාවයි.
ප්‍රශ්නය- පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇතත් එම අර්බුදය එන්න එන්නම තීව්‍ර වෙමින් පවතින බව ඉතා පැහැදිලිය. ඇත්තට ම මෙම ප්‍රශ්නයෙන් යම් මට්ටමකට හෝ විසඳා ගැනීම සඳහා වත්මන් රජය විදේශ රටවල සහය බලාපොරොත්තුවෙන් සිටිනවා. පවතින තත්ත්වය අනුව විදෙස් රාජ්‍ය අප රට වෙත සහයක් ලබාදේවි යැයි විශ්වාස කරන්න පුළුවන්ද? විශේෂයෙන් යම් ලොකු ණයක් ලබාදීමක් වැනි තත්ත්වයක්
පිළිතුර – එහෙම ලැබෙන්නේ නැහැනේ. ඉන්දියාව පොඩි සේලයින් කටුවක් ගසා තිබෙනවා. රෝගියකු රෝහලකට ගිය පසු සේලයින් දෙනවා වගේ පොඩ්ඩ පොඩ්ඩ ඇතුළට එනවා. එසේ නොමැතිව බලාපොරොත්තු වූ මුදල් කොහෙන්වත් එන පාටක් පේන්න නැහැ. ඇත්තට ම අපට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් බිලියනයක් දෙකක් දෙන්න කවුරුත් ඉන්න පාටක් නම් මට පේන්නේ නැහැ.
ප්‍රශ්නය – එසේ වීමට හේතුව කවරේදැයි ඔබ සිතනවා ද?
පිළිතුර – අප රට කෙරෙහි ඇති විශ්වාසය හැම අතින්ම බිඳවැටිලා ඉවරයි. අපි හැමෝමත් සමග ම ගෝරි දාගෙනනේ ඉන්නේ. පොහොර ප්‍රශ්නයක් නිසා චීනයත් සමග තරහ වුණා. ජපානයත් සමග විරසක වුණා. ඉන්දියාව සමග ප්‍රශ්න මහ ගොඩක් ඇතිකර ගත්තා. මැදපෙරදිග සමග මිත්‍රත්වයක් නැහැ. ජී. එස්. පී. ප්ලස් අනුග්‍රහයත් ස්ථිර නැහැ. ඇමරිකාව සමග ප්‍රශ්නයක ඉන්නේ. ඇත්තට ම අප රට එක අවස්ථාවකදී ලෝකයේ හැම රටක් සමගම කිනම් හෝ ප්‍රශ්නයක සිටින්නේ. එවැනි තත්ත්වයක් තුළ අපට විදෙස් රටවලින් අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ප්‍රශ්නය – මැදපෙරදිග රාජ්‍යන් අප රට පිළිබඳ දක්වන ආකල්පයන් ගැන මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඔබට පැවසූ කාරණයක් පසුගියදා ඔබ මාධ්‍ය ඉදිරියේදී අනාවරණය කළා. ඇත්තට ම අප රජය තුළ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි අය නැද්ද?
පිළිතුර – ඒ ගැන මම කතා නොකර ඉන්නම්. එම කාරණය පිළිබඳ තවදුරටත් කතා කරන්න මගේ අදහසක් නැහැ. හැබැයි ජෙනරල් කමෙන්ට් (පොදු අදහසක්) එකක් ලෙස කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් දිනා ගන්න රජයට පුළුවන් විය යුතුයි. එසේ නොමැතිව හුදකලාව රටක් ලෝකය හමුවේ ඉදිරියට ගෙන යා නොහැකියි. පවුලක් පාලනය කරනවා වගේ රටක් පාලනය කළ නොහැකි බව දැන්වත් මේ අය තේරුම් ගත යුතුයි.
ප්‍රශ්නය – රටේ අති බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තු ඇස් පනාපිට බොඳවෙමින් යනවා. ඔවුන් අද ජීවත් වන්නේ අධි පීඩනයක. මේ අසහනයේ හා පීඩනයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ ඔබගේ අදහස කෙසේද?
පිළිතුර – තමන්ට ලැබිය යුතු අවමය හෝ ලැබේවි යැයි ජනතාව සිතනවා. එයවත් නොලැබෙනවා නම් එය ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. මෙරට ඉතිහාසයේ කිසිදිනෙක මිනිස්සුන්ට මෙහෙම සිදුවෙලා නැහැ. මේ වගේ කන්න නැතිව, බෙහෙත් නැතිව, පෙට්‍රල්, ඩීසල් නැතිව, විදුලිය නැතිව මිනිස්සු මේ රටේ ජීවත් වෙලා නැහැ. මෙහෙම කියලා කොපමණ ඉවසන්න ද? මිනිස්සුන්ට ඉවසීමේ සීමාවක් තිබෙනවා. එය පැන්නොත් මොකද වෙන්නේ. එය ඉතාම නරක තැනකට යා හැකියි.
ඇත්තට ම අද සමාජයේ ඇතැම් ස්ථරවල ජනතාවට කන්න නැති තත්ත්වයක් උදාවෙලා. ලෝක ආහාර සංවිධානය සඳහන් කරන්නේ මෙරට ලක්‍ෂ 50ක ජනතාවට හරියට කන්න නැති බවයි. රුපියල් අසූපහට පැවැති සම්බා මිල අද රුපියල් තුන්සීයයි. ඊට එහා මොන කතා ද? දැන් නම් මිනිසුන්ගේ ඉවසීමේ කට්ට පනින්න ඔන්න මෙන්න තියෙන්නේ. කඩිනමින් මෙම ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලබා නොදුණොත් පවතින අසහනයේ සහ පීඩනයේ ප්‍රතිඵලය කිසි ලෙසකවත් රටට හෝ ජනතාවට හිතසුව වන එකක් වන්නේ නැහැ.
ප්‍රශ්නය – රට වැටී ඇති අසීරු තත්ත්වය පිළිබඳ පැහැදිලියි. එම අසීරු තත්ත්වයෙන් රටට ගොඩ එන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා ද?
පිළිතුර – මෙරට ආර්ථික සංවර්ධන වේගය සියයට ඍණ හය පනීවි. එවැනි තත්ත්වයක් තුළ මෙරට ඉතිහාසයේ අන් කවරදාකවත් නොමැති ලෙස ආර්ථිකය සංකෝචනය වේවි. පසුගිය වසරේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ 3.5යි. එය මේ වසරේ ඍණ 6.5 දක්වා ගොස් ඇතැයි කියන්නේ බරපතළ අනතුරක සේයාවක් පෙනෙනවා කියන එකයි.
මෙතරම් සම්පත් තිබෙන රටකට අර්බුදයෙන් ගොඩ එන්න බැරි කමක් නැහැ. ඒ සඳහා නිවැරදි දැක්මයි අත්‍යවශ්‍ය. දැන්වත් මෙම ආණ්ඩුව බල පොරයෙන් ඈත්වී සැබෑ ලෙසම රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. එසේ නොවන තාක්කල් අර්බුදය අර්බුදයෙන් අර්බුදයට යෑම වැළැක්විය නොහැකියි.
ලෝක යුද්ධයෙන් පසු ජර්මනියට නැඟිටින්න පුළුවන් වුනානම්, ජපානයට නැඟිටින්න පුළුවන් වුනානම් අපට බැරි කමක් නැහැ. ඒක ස්ථිරයි. ඒ සඳහා දක්ෂයන්ට තැන ලැබිය යුතුමයි. පවුලක් රැක ගැනීම සඳහා, බලය පවත්වා ගැනීම සඳහා සිදුකෙරෙමින් පවතින බල පොර දැන්වත් නැවැත්විය යුතුයි.
ප්‍රශ්නය – ඒ අනතුර කුමක්ද?
පිළිතුර- කර්මාන්තශාලා වැසී යාවි. රැකියා අහිමි වේවි. බඩු මිල ඉහළ යාවි. බෙහෙත් හිඟ වේවි. විදුලිය පෙට්‍රල්, ඩීසල්, නැති වේවි. මුළු ආර්ථිකයම ඉතා නරක තැනකට පත්වේවි. දැනටමත් එය සිදුවෙමින් තිබෙනවා.
ප්‍රශ්නය – භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. අද භාණ්ඩයක් මිලට ගත් මිල නෙවෙයි හෙට තිබෙන්නේ. උද්ධමනය මේ වනවිට පවතින්නේ කිනම් තත්ත්වයකද?
පිළිතුර – ආහාර උද්ධමනය සියයට 40 පැනලා. ඒ ආණ්ඩුවේ දර්ශක අනුව.
ප්‍රශ්නය – ඔබ කියන්නේ උද්ධමනය ඊට වැඩි බවද?
පිළිතුර – මම හිතනවා ඊට වැඩි බව. පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 34යි. ආහාර උද්ධමනය සියයට 45.1යි. ඒ රජය කියන ආකාරයෙන්. ඇත්තට ම රාජපක්‍ෂ පවුල් පාලනය අපි හිතපු නැති තැනකට රට ගෙන ගොස් අවසන්.
ප්‍රශ්නය – මහ බැංකු අධිපතිවරයා එම තනතුරේ වැඩ භාර ගනිද්දී සඳහන් කළේ ආර්ථිකය දරුණු අගාධයක් කරා ගමන් කරමින් ඇති බවත් වාහනය බිත්තියේ ගැටීමට ප්‍රථම බ්රේක් ගසා ගන්න කටයුතු කරන බවත්ය. ඇත්තට ම එතුමා සඳහන් කළ ආකාරයට බ්රේක් ගැසීමක් දැන් සිදුව තිබෙනවා ද?
පිළිතුර – මම හිතන්නේ තාම නම් බ්රේක් වැදිලා නැහැ. පවතින තත්ත්වය ඉතා නරක තැනකට යන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්න කටයුතු කරන්න අපි හැමෝම දැනගන්න ඕන. ආනයන අපනයන අතර පරතරය අප හැකි පමණ අඩු කරගන්න ඕන. ඒ වගේම විදෙස් මිත්‍රත්වයන් හරහා කෙටිකාලීන උදව් ලබාගැනීමේ වැඩපිළිවෙළකට යා යුතුයි.
ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අප රට බලාපොරොත්තුවෙන් සිටිනවා. අයි. එම්. එෆ්. සහය ලැබෙන්න තව කොපමණ කාලයක් යාවි ද?
පිළිතුර – ඒ සඳහා තව මාස කිහිපයක් යාවි. ඒ කෙටි කාලය අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සැලසුම් කළ යුතුයි. ඩීසල්, පෙට්‍රල්, ඖෂධ ලබා ගන්න විදේශ ආධාර අවශ්‍ය වෙනවා. එය කෙසේ හෝ කරගත යුතුයි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ රජයට එහෙම හැකියාවක් තිබෙනවා යන්න පෙනෙන්න නොතිබීමයි.
ප්‍රශ්නය – රට කරපු දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් රට අසීරු තැනකට ගෙන ගොස් අවසන්. දැන් ජනතාවට අකමැත්තෙන් හෝ ඊට මුහුණ දිය යුතුව තිබෙනවා. මිනිස්සු කියන්නේ කාගේවත් පව් අපි ගෙවනවා කියලා. කාගේවත් පව් ගෙවන ජනතාව මේ මොහොතේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබාදිය යුතු සහය කෙසේ විය යුතුද?
පිළිතුර – රටේ මිනිස්සු කිව්වහම ස්ථර කිහිපයක් තිබෙනවා. ඇතැම් ස්ථරවලට මේ වෙනකොට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පාලකයන් තේරුම් ගත යුතුයි. ඒ මිනිස්සුන් රැකගැනීමේ යුතුකම රජයට තිබෙනවා. දරුවට කන්න දෙන්න දෙයක් නැතිව ඒ දරුවව ගඟට විසිකරලා දාන තැනකට අම්මලා පත්වෙලා සිටිනවා කියන්නේ දැන් රතු කට්ට පැනලා කියන එක.
ඇත්තට ම ඉවසීම ඉතා වැදගත්. ගහමරා ගත්තා කියලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. සාමකාමීව, මොළයෙන් ප්‍රශ්නය විසඳා ගත යුතුයි. තම තමන්ට පුළුවන් ලෙස ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. අසාමාන්‍ය තත්ත්වය තුළ කැපවීම් මෙන්ම වෙහෙසවීම් රැසක් කරන්න වේවි. නවීන කෘෂිකර්මාන්තයක් වෙත යා යුතු වේවි. තමන්ට හැකි ලෙස වගාවක් කළ යුතුයි. පුළුවන් අය බැරි මිනිහව බලන්න ඕන. ඒ සමගම හැකි තරම් අපනයන ඉහළ නැංවිය යුතුයි. අපගේ වෙළෙඳපොළෙන් එහා ගොස් ලෝක වෙළෙඳපොළ වෙත අප යා යුතුයි. ඒ හරහා ඩොලර් අර්බුදයට විසඳුම් ලැබේවි.
සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර