බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

232

වත්තෙන් කිසිම ළමයෙක් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න උසස් පෙළ සමත් වෙලා නෑ…

වැසිකිළි, ජලය, ලයිට් නැති නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා…

මේ වත්තෙන් සුප්‍රසිද්ධ පාතාල නායකයන් කිහිපදෙනෙක්ම බිහි වෙලා තියෙනවා…

ඒ කාලේ කුණු කන්ද පහළ කුඹුරු යායක්…

නෙලුම් කුලුන යට අපි පයින් ඇවිද ගියෙමු. ඒ කොළඹ නගර මාධ්‍යයේ අහස උසට නැගුණු අවජාතක කොන්ක්‍රීට් බම්බුව වටා නොවේ. එම විසල් කොන්ක්‍රීට් බම්බුව දෙස බලාගෙන සුසුම්ලන පීඩිත මිනිසුන් ජීවත්වන කොළඹ වතු කිහිපයකටය. එම පාද යාත්‍රාවේදී ප්‍රථමයෙන් අපගේ ගිමන්හල වූයේ බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල පිහිටි බ්ලූමැන්ඩල් දුම්රිය පටු මගය.

කොළඹ 15, අලුත් මාවත ග්‍රාම සේවා කොට්ඨාසයේ පිහිටි ‘බ්ලූමැන්ඩල් දුම්රිය පටුමග’ නිවාස තුන්සීය පනහකට වැඩි අති විශාල ගම්මානයකි. එම නිවාස තුන්සීය ගාන තුළ සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් දහකට වැඩි ප්‍රමාණයක් ජීවත්වන බව ප්‍රදේශවාසීන් පවසන විට අපි පුදුම නොවෙමු. කොළඹ අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන වතුවල හැටි එහෙමය. පුංචි නිවාස තුළ පවුල් දෙක, තුන ජීවත්වීම ද අරුමයක් නොවේ. වල් වැදී ගිය කුණු කන්ද පාමුල, දුම්රිය මඟ දෙපස අපිළිවෙළට ඉදිකර තිබෙන එකදු නිවසක් හෝ කලඑළියක් නැත. ඇතැම් නිවාස පොහොසත් මිනිසුන්ගේ මන්දිර පරිශ්‍රයේ පිහිටි බලු කූඩු වැනිය. පිට ලෑලිවලින් හතර කොන ආවරණය කර ටකරන් කොළ සෙවිල්ලන ලද පුංචි පැල්පත් ද විශාල ප්‍රමාණයක් ඇස ගැටිණී. ඈත, මෑත සෙල්ලම් කරන ළමයි, විවිධ කාර්යන්හි නිරතව සිටින මිනිසුන් අතර දෝළනය වූ මගේ දෙනෙත් ගෙපිලක සිල්බරන් කොටයක් පළන පුද්ගලයෙක් අසල නතර විය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

තරමක කපන කටුවක් කොට කෑලිවලට හිර කර මිටියෙන් තලන විට ඔහුගේ ඉලඇට කූඩුව එළියට පණින තරමට ඉලිප්පේ. ශරීර කූඩුව මෙපමණ දිරාපත් වී ඇත්තේ කෑම ආහේනියෙන් ද? මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා ද? උඩුකය නිර්වස්ත්‍රව සිටි ඔහුගේ කාලවර්ණ ශරීර කූඩුව හොඳින් නිරීක්‍ෂණය වනවිට මගේ සිතේ එවැනි කුකුසක් උපන්නේය. මම ඔහුට කතා කළෙමි. හේ රංජිත්ය. වයස අවුරුදු හැට එකකි. කාලයක සිට මුරකරුවකු ලෙස සේවය කළ ඔහුට දැන් අවුරුද්දකට වැඩි කාලයක සිට රැකියාව අහිමි වී තිබේ. පවුල් බරක් නැති, තනියම ජීවත් වන ඔහු දැන් එදා වේල ගැටගසා ගැනීමට අහුවෙන ඕනෑම වැඩක් කරන බව අපට කීවේය.

මේ දර මිටියක් දෙන්නෙ කීයද? මම ඔහුට පැනයක් යොමු කළෙමි.

“මිටියට දාන කෑලි ගාන අනුව රුපියල් 100 ට 200 ට දෙනවා…”

මිටියකට දර කෑලි කීයක් දානවද?

“දහයක්, පහළොවක්…” හීනි දර කැබැල්ලක් අඩියක් උස නැත. එහෙත් රංජිත්ගේ දරමිටිවලට වත්තේ හොඳ ඉල්ලුමක් තිබෙන බව වත්තේ පැරැණිම පදිංචිකරුවෙක් වූ මතුගොඩගේ ප්‍රේමදාස අපට කීවේය. ඔහුට වයස අවුරුදු හැත්තෑ දෙකකි. හේ අපව අතීතයට කැඳවාගෙන ගියේය.

“ඉස්සර මේ රේල් පාර දෙපැත්ත අමු කැලෑව. පැලක් අටවගෙන මම මේ වත්තේ පදිංචි වෙනකොට ගෙවල් දෙකකට වඩා තිබුණේ නෑ. මතක විදිහට මම පදිංචි වෙලා දැන් අවුරුදු පනහක් විතර ඇති. ඊට පස්සෙ එකා දෙන්නා ඇවිත් කැලේ කොටාගෙන ගෙවල් හදා ගත්තා. ඒ පවුල්වල දරුවො ලොකු මහත් වෙලා විවාහ වෙලා මේ වත්තේම ගෙවල් හදාගෙන පදිංචි වුණා. ඒ විදිහට කාලයක් යනකොට වත්ත නිවාස පුරයක් වුණා. ඉස්සර මේ වත්තේ මිනිස්සුන්ට ඔය පේන කුණු කන්ද නිධානයක් වෙලා තිබුණා…” ප්‍රේමදාස වල් වැදී ගිය මහ කන්දක් දෙසට දෑත දිගු කළේය. ඉමක් කොනක් නොපෙනෙන තරමට මහා විශාල කන්දකි. කාලයක් මුළු කොළඹම කුණු ගොඩගැසූ ස්ථානයකි. කුණු කන්ද පැතිරී ඉහළට එසැවී කොළඹ ගඳගස්වන විට වාසුදේව නානායක්කාර මහතා නීති මාර්ගයෙන් කටයුතු කර එම ස්ථානයේ කුණු බහාලීම නතර කළේය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

“මේ වත්තේ පදිංචිකරුවො සියලුදෙනාම වගේ එදා වේල හොයාගත්තේ ඔය කුණු කන්දෙන්. පිරිසක් යකඩ එකතු කරනකොට තව පිරිසක් කාබ්බෝඩ්, පත්තර එකතු කළා. ප්ලාස්ටික් එකතු කළා. කුණු ගොඩට ගෙනත් දාන අල, ලූනු, එළවළු ටික, පැකට් බඩු තොග ගණන් තේරුවා. කෑම, බීමට අරගෙන ඉතිරිය විකුණුවත් එක්ක. සමහර මිනිස්සු බිස්නස් එකටම එකතු කළා. ඒ කාලේ මේ වත්තේ මිනිස්සු ළඟ හොඳට සල්ලි තිබුණා. කාලා බීලා උපරිමයෙන් සතුටු වුණා…” ප්‍රේමදාසගේ කතාවට වත්තේ තවත් වියපත් මිනිසෙක් අඩු වැඩි එකතු කළේය.

“මේ වත්තෙ මිනිස්සු පදිංචි වෙන්න පටන් ගත්තේ 1955 අවුරුද්දෙ ඉඳලා. අපේ තාත්තා වැඩ කළේ කොළඹ වරායේ. යන්න, එන්න ළඟ නිසා අපිත් මේ වත්තෙ ගෙයක් හදාගෙන පදිංචි වුණා. ඒ කාලෙ මේ රේල් පාරේ පීලි තුනක් තිබුණා. ගෙවල් හදන්න අවසර දුන්නෙ රේල් පාරට අඩි විස්සකට එපිටින්. ඉස්සර මගී දුම්රියකුත් වැඩ කළා. කාලයත් එක්ක රේල් වේ එකෙන් පීලි ගැලෙව්වට පස්සෙ වත්තේ ගෙවල් රේල් පාරටම කිට්ටු වුණා. දැන් මේ රේල් පාරේ ධාවනය වෙන්නෙ රේල් වේ එකට බඩු ගෙනියන දුම්රිය විතරයි. ඒකත් යන්නෙ මාසෙකට සැරයක් වගෙයි. ඒ වගේම ඉස්සර මේ රේල් පාරෙන් දකුණු පැත්ත, කුණු කන්ද පාමුල කුඹුරු යායක්. මහා හෙළක්. අපේ මිනිස්සු ගොයිතම් කරලත් තියෙනවා. ඒ කුඹුරේ ගොයිතම් කරපු අම්මා කෙනෙක් තවම ජීවත් වෙනවා. දැන් අවුරුදු අනූ හතරක් වෙනවා. අපි ගිහින් ඒ අම්මා එක්ක ටිකක් කතා කරමු…” හේ එසේ කියමින් නිවාස අතරින් ඉදිරියට ඇවිද ගියේය. ඒ මාර්ගය අඩි දෙකකට වඩා පළල් නැත. සිමෙන්ති ගඩොල්වලින් ගොඩනැගුණු නිවාස අතර ලෑලි නිවාස ද අතරින් පතර පෙනේ. පටු පාරේ කොල්ලො කිහිපදෙනෙක් ඇල්ටේෂන් බල්ලෙක් සමඟ බෝල සෙල්ලම් කරමින් සිටිති. ඒ කොල්ලන්ට මාර්ගයේ ගමන් කරන අය ගැන කිසිදු වගක් නැත. බල්ලා ඇඟට පනී වී දෝ දෙගිඩියාවෙන් සහ බියෙන් අපි සෙමෙන් ඉදිරියට ගමන් කළෙමු.

ඇස ගැටෙන බොහෝ කුඩා නිවාස ඉදිරිපිටම නිදැල්ලේ හෝ කූඩුවක් තුළ උස, කුරු, හරක් පැටව් වැනි විවිධ ස්වරූපයේ ඇල්ටේෂන් සුනඛයන් දැකගැනීමට ලැබිණි. දම්වැල්වලින් ගට ගසාගත් සුනඛයන් සමඟ රේල් පාර දිගට ඇවිදින තරුණ, තරුණියන් ද සුලබ දසුනක් විය. විටෙක අප ගමන් කළ පටු පාරේදී තඩි ගවයෙක් ද මුණගැසිණි.

‘ඉස්සර කිරි ගවයන් රංචු පිටින් හිටියා. දැනටත් කිරි ගවයින් කිහිපදෙනෙක් ඉන්නවා. මේ ඒ එකෙක් තමයි…’ එසේ පවසමින් ගමන් සගයා කුඩා නිවසක් ඉදිරිපිට නතර විය.

‘අයරින් ආච්චිව හොයාගෙන පත්තරෙන් ඇවිත්…’ හේ, වියපත් කාන්තාවකට අපව හඳුන්වා දුන්නේය.

“දැන් ඉතිං මම ලෙඩෙක්. අංශබාගයටත් ආවා. ඒත් පූරුවේ පිනට ඇවිදගන්න පුළුවන් වුණා. දැන් ටිකක් පෙෂර් වැඩියි. මාව රැකබලා ගත්ත මගෙ පුතා කොරෝනා කාලේ නැති වුණා. අනේ මට මිනියවත් පෙන්නුවේ නෑ. රොබින් පුතා කිව්වාම මේ මුළු වත්තම දන්නවා. මාව හොඳින් බලා ගත්තා. දැන් මම තනි වුණා. ක්වින්ටස් පුතා කෑම ගෙනත් දීලා යනවා. දෙන දෙයක් කාලා මම මේ කාමරයේ වැටිලා ඉන්නවා. කෑම පිඟාන පුටුවක් උඩින් තබා එළියට පැමිණ අත සෝදා ගන්නා අතරේ ඇය එසේ කීවාය. දෑස් හොඳට පේන ඇයගේ දෙසවන තරමක් දුර්වලය. ඒ නිසා ඇය සමඟ කතා කිරීමට අපට දැඩි වීර්යක් දැරීමට සිදු විය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

“මේ වත්තේ මුලින්ම පදිංචි වුණේ අපි. මට මතක විදිහට එකදාහස් නවසිය පනස් ගණන්වල. කැලේ එළි කරගෙන ආවේ. රේල් පාර අද්දර කුඹුර කරන්න පටන් ගත්තෙත් මමයි. හොඳ අස්වැන්නක් ගත්තා. වංගෙඩියේ දාලා වී කොටලා හාල් කරගත්තෙත් මම තමයි. ඒ ජීවිතේ හරිම සුන්දරයි මහත්තයො…” ඇය අයරින් ජයවර්ධනය. වයස අවුරුදු අනූහතරකි. දරුවන් දසදෙනකුගේ මවක් වන ඇය අද තනි වී සිටින බව නම් පෙනේ. ඇයගේ ජීවිතය සහ වත්තේ අතීතය ගැන තව බොහෝ දේ කතා කිරීමට තිබිණි. එහෙත් අසල්වැසි නිවසක කැසට් රෙකෝඩරයෙන් ඇසෙන ඝෝෂාකාරී හඬ ක්‍රමයෙන් වැඩිවන විට අයරින් අම්මට අපි කියන කිසිවක් නොඇසෙන ගානට පත් විය. එහෙයින් අපි ඇයගේ පුංචි කාමරයෙන් පිටමං වී පටු පාර දිගේ තවත් වත්ත ඇතුළටම ගමන් කළෙමු. සුනඛයන් සුරතල් කරන ළමයි, විවිධ සෙල්ලම් කරන ළමයි අතරේ එක නිවසක් ඉදිරිපිට ළමයෙක් අප දෙස අමුතු විදිහට බලා සිටී. ඒ ආසන්නයේම වැඩිහිටි කාන්තාවක් කොස්සකින් වැලි පොළව අතුගාන්නීය.

“පුතා මොකද කරන්නෙ…” මම ඔහුට කතා කළෙමි. ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. අප කාන්තාව දෙසට හැරිණී.

“පුතා උප්පත්තියෙන්ම රෝගියෙක්. දැන් වයස අවුරුදු විසි එකක්…” ඇය එසේ කියන විට ජූඩ් අයියා මගේ මුහුණ බැලුවාය. මම ඒ තරුණයාගේ ඉස්මුදුනේ සිට දෙපතුළ දක්වා හොඳින් නිරීක්‍ෂණය කළෙමි. ඔහුගේ පෙනුම වයස දොළහකට වැඩි නැත. කෙසඟ සිරුරේ දෑත්, දෙපා වැල් කූරු වැනිය.

“පුතා ඉපදෙනකොට ගොඩක් බර වැඩියි. ඒ වගේම පුතා උපතින්ම ඇස් පෙනීම, කන් ඇසීම දුර්වලයි. ඇවිදින්නෙ ඇඟිලි තුඩුවලින්. රෑට බලන්නෙ ඇස්දෙක කණපිට හරවලා. වෛද්‍යවරු කියන්නෙ පුතාව සනීප කරන්න බෑ කියලා. මම ජීවත් වෙලා ඉන්නකම් හොඳට බලා ගන්නවා. ඊට පස්සෙ තමයි…” නිමන්ත ජනිත් මදුසංඛගේ මව ශිරානි මල්ලිකා තම පුතා ගැන තව බොහෝ දේ කීවාය. ආබාධිත ජනිත්ගේ බෙහෙත් ලබාගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සරණ බලාපොරොත්තු වන බවද ඒ වචන තුළ ගැබ්ව තිබිණි. එමෙන්ම බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගෙහි එවැනි විවිධ ආබාධ සහිත දරුවන් බොහෝ පිරිසක් ජීවත්වන බව ද ඇය අපට කීවාය. විසිඑක් හැවිරිදි ආබාධිත පුතා ගැන ශිරාණි කම්පනයෙන් කතා කරන විට අසල්වැසි නිවසක පදිංචිව සිටින ඇන්ලස් පෙරේරා කඳුළු සලමින් අපට කීවේ පුතාව බේරාදෙන්න කියාය. ඇන්ලස්ගේ පුතා කුසල්ය. වයස අවුරුදු විසිඅටකි. දින තුනක සිට ඔහු අතුරුදන්ය. ඇන්ලස් සහ වත්තේ මිනිසුන් සැක කරනුයේ කුසල්ව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවටය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

“මේ වත්ත ගන්න දෙයක් නෑ. කසිප්පු, කුඩු, ගංජා, අයිස් මේ රටේ තියෙන සෑම මත්ද්‍රව්‍යයක්ම, මත් වතුරක්ම අපේ වත්තේ තියෙනවා. ඒ වගේම බූරු පිටි, කැට පොළවල් අහලවත් නැති නම්වලින් සූදු ගහනවා. නැති දුරාචාරයක් නෑ. කොච්චර පොලිසියෙන් ඇල්ලුවත් වැඩක් නෑ. ඒවා නතර කරන්න බෑ. ඒ වගේම මේ වත්තෙන් සුප්‍රසිද්ධ පාතාල නායකයන් කිහිපදෙනෙක්ම බිහිවෙලා අකාලයේ මැරිලා ගියා. වත්තේ මිනිස්සු බලා සිටියදී මේ රේල් පාර දිගට කී දෙනකුගේ බෙලි කපලා මරා දලා තියෙනවද? අදටත් පාතාල උණ තියෙන අය ඉන්නවා. නීති විරෝධී කොන්ත්‍රාත් භාරගන්න අයත් ඉන්නවා. ඕනෑම ජාතියේ බුලට් ඉන්නවා. ඒත් අධ්‍යාපනය අතින් ඉදිරියට යන ළමයි නෑ. මේ වත්තේ ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය ගොඩක්ම දුර්වලයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සමත් වෙච්ච, පෙනී හිටිය ළමයි ඉන්නෙ කිහිපදෙනයි. වත්තෙන් කිසිම ළමයෙක් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න උසස් පෙළ සමත් වෙලා නෑ. වත්තේ තරුණ, තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් නැති වෙනකොට විරැකියාව වැඩි වෙනවා. යන්තම් උස්, මහත් වෙනකොට කෙල්ලො දීග යනවා. ඒක වෙන්නෙත් නීත්‍යනුකූලව නෙමෙයි. කොල්ලො කුලී වැඩවලට, නැති නම් නීති විරෝධී වැඩවලට යොමු වෙනවා. දැනුම් තේරුම් වයස එනකොට කෙල්ලො අනාථයි. කොල්ලො හිරගෙවල්වල. පවුල් අවුල්…” වත්තේ වැඩිහිටියෙක් එසේ කීවේ වට පිට විපරම් කරමින් පහත් ස්වරයෙනි. ඒ වචනවල මෙන්ම ඔහුගේ දෑස්වල ද දැඩි භ්‍රාන්ත බවක් ගැබ් වී තිබූ බැවින් ඔහුගේ නම මේ සටහනට ඇතුළත් නොකර සිටීමට අපි තීරණය කළෙමු. එහෙත් වත්තේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කළ සරුවත්කඩේ නිර්මලාදේවී කියන මේ කතාව ඇයගේ වචනයෙන්ම අපි සටහන් කරන්නේමු.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

“ඉස්සර අපේ සරුවත් කඩේට හොඳට බිස්නස් තිබුණා. දැන් දවසකට රුපියල් පන්සීයක බිස්නස් එකක් වෙන්නෙ නෑ. රෑට තෝසෙ දානවා. දැන් ඒ බිස්නස් එකත් අඩුයි. දවල්ට බත් පැකට් දෙනවා. දැන් බත් පැකට් හත, අටකට වඩා දෙන්න බෑ. වත්තේ හැම කෙනෙක්ම ආර්ථික ගැටලුවලින් මිරිකිලා ඉන්නෙ. ගෑස් ආවත් රුපියල් පන්දාහක් දීලා ගෑස් ටැංකියක් මිලට ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. හැම ගෙදරකම කෑම පිළියෙල කරගන්නෙ දර ළිප්වල. හරි හැටි ගෙවල් දොරවල් නැති වුණත් ඉස්සර අපි හොඳට කාලා, ඇඳලා සතුටින් ජීවත් වුණා. දැන් වත්තේ මිනිස්සු අතේ පිච්චිය නෑ. මේ වත්තේ බහුතරය කුලීකරුවන්. පෑලියගොඩ මාළු මාර්කට් එකේ, මැනිං මාර්කට් එකේ බඩු එහාට මෙහාට ගෙනියන බහුතරය මේ වත්තේ මිනිස්සු. සමහර අය තේ කොළ පැකට් කරන පැක්ට්‍රිවල වැඩ කරනවා. රජයේ ආයතන, කොම්පැණිවල හොඳ ජොබ් කරන කවුරුවත් මේ වත්තේ නෑ. කුලියකින් ලැබෙන පඩිය දරු පවුලක් ජීවත් කරන්න දැන් මදි. ඒ වගේම මේ වත්තේ වැසිකිළි නැති නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ මිනිස්සු හිමිදිරි පාන්දරට කිලෝ මීටරයක් විතර ඇවිදගෙන ගිහින් මහ පාරේ පොදු වැසිකිළියට යනවා. වතුර නැති නිවාසත් විශාල ප්‍රමාණයක් තියෙනවා. බොන වතුර ටික ටැප් ලයින් අරගෙන තියෙන ගෙවල්වලින් දෙනවා. වතුර ටිකක් නාගන්න, ඇඟපත සෝද ගන්න මිනිස්සු වතුර දෙන්නේ නෑ. ටැප් ලයින් නැති මිනිස්සු කොහේට හරි ගිහින් නාගෙන එනවා. ඒ වගේම ලයිට් නැති නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මිනිස්සුන්ට සල්ලි නෑ…”

‘කෑම පැකට් එකක් දෙන්නෙ කීයද…’ නිර්මලාදේවීගේ නොනවතින කතාව අතරට මම පැනයෙක් යොමු කළෙමි.

‘රුපියල් 300 යි…’

‘තොසේ එකක් කීයද’ මම තවත් කෙටි පැනයක් යොමු කළෙමි.

“හොදිත් එක්ක 60 යි. සරුවත් එකක් 50 යි…” තවත් පැනයකට ඉඩ නොතබා ඇය පිළිතුරු දුන්නාය. නිර්මලාදේවී සමීපයෙන් ඈත් වූ අපි සරුවත් තට්ටුව අසල රේල් පාරට ඇණ තබාගෙන සිටි තරුණයෙක් අසල නතර වීමු. ඔහු ආකෂ්ය. වයස අවුරුදු 23 කි. හේ පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ 8 වසරට පමණි. විවාහ ජීවිතයට ඇතුළු වී මාස පහක් වන ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආයතනයක පුංචි රැකියාවක් කරමින් පාඩුවේ ජීවත් වන බව අප සමඟ පැවසීය. “අපිට ලොකු සිහින නෑ. කාලා ඇඳලා ජීවත්වෙන්න තිබුණොත් ඒ ඇති…” ආකෂ්ගේ බලාපොරොත්තුව බ්ලුමැන්ඩල් දුම්රිය පටුමගෙහි ජීවත්වන බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව විය හැකිය. එහෙත් අපගේ ප්‍රාර්ථනාව පෙර පාසලේ සිට නිසි අධ්‍යාපනයක් නොලැබෙන එම වත්තේ ළමයින්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට අදාළ බලධාරීන් කඩිනම් විය යුතු බවය. එහෙම වන්නේ නම් ගම්මානයට මෙන්ම සමාජයටද යහපතක් වන බව අපගේ විශ්වාසයයි.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල කුණු නොවුණු ජීවිත

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment