බ්‍රෙවික්ගේ තුවක්කුවෙන් බේරී මන්ත‍්‍රීවරියක් වූ කම්සාජිනි

564

‘‘මම නොර්වේවල දේශපාලනයේ නියැළුණේ ප‍්‍රධාන වශයෙන් ලංකාවේ පවතින වාතාවරණය හේතුවෙන්. ලංකාව සෑම විටම මිනිසුන්ට ආරක්ෂිත නොවන රටක් ඔස්ලෝහිදී මට තිබූ සමාන අයිතිවාසිකම් හා අවස්ථා එහි ළමයින්ට නොමැති බව මම තේරුම් ගත්තා.

ඒ ගැන යමක් කිරීමට මට අවශ්‍යයි.”

නෝර්වේ කම්කරු පක්ෂයේ තරුණ ලීගය ඔස්ලෝ හි උතෝයා දිවයිනේ පැවැත්වුණේ හරියටම මීට වසර 10කට පෙර එනම් 2011 ජුලි 22 වැනිදා දිනයේය. එදින තරුණ සමුළුව එකම ලේ විලක් බවට පත්වූයේ දැඩි මතධාරී සුදු ජාතිකයකු වූ 33 හැවිරිදි ඇන්ඩර්ස් බෙහාරින් බ්‍රෙවික් නිසාය. බ්‍රෙවික් නොර්වේ රාජ්‍යයෙන් බිහිවූ ප‍්‍රමුඛතම ත‍්‍රස්තවාදියාය. ඉස්ලාම්කරණයට එරෙහිව සටන්වැදි ඔහු එදින තනිවම ක‍්‍රියාත්මක විය. ඔස්ලෝ නගරයේදී කාර් බෝම්බයක් පුපුරවා 8 දෙනෙක් මරා දමා පසුව නෝර්වේ කම්කරු පක්ෂයේ තරුණ ලීගය උතෝයා දිවයිනේ පැවැත්වූ සමුළුවට පහරදී තවත් පුද්ගලයන් 69 දෙනෙක් මරා දැමීය.

බ්‍රෙවික් උතෝයා දූපතට පැමිණියේ පොලිස් නිලධාරියකු ලෙස වෙස්වලාගෙනය. ඔහු මේ දූපතටම පැමිණෙන විට එහි 536 දෙනෙක් රැස්ව සිටියහ. කම්කරු පක්ෂයේ තරුණ තරුණියන්ට වෙඩි තැබීමට හෙතෙම සිය පිස්තෝලයෙන් වෙඩි 121 ක් තැබූ අතර තම අර්ධ ස්වයංක‍්‍රීය රයිෆලයෙන් වෙඩි 136 ක් තැබීය. උතෝයා දිවයිනේදී ඝාතනය වූ 26 හැවිරිදි තරුණියකට බ්‍රෙවික් හයවතාවක් වෙඩි තබා තිබිණි. මේ සිද්ධියට මුහුණපා දිවි ගලවාගත් තරුණ තරුණියෝ රැසක් අදත් මේ භීතියෙන් පෙළෙන මානසික රෝගීන් වී ඇත. මෙම ප‍්‍රහාරයෙන් මාස 13 කට පසුව ඔහුට වසර 21ක සිර ද`ඩුවම් හිමි වුවත් ඒ තීන්දුව ප‍්‍රකාශ කරන අවස්ථාවේදී පවා ඔහු සිනාසුණි. නඩු තීන්දුවේදී බ්‍රේවික් මානසික රෝගියකු නොවන බවත් ප‍්‍රකාශ විය.

අපි අද කතා කරන්නේ ඉස්ලාම්කරණයට එරෙහිව සටන් වැදුණු බ්‍රෙවික් ගැන නම් නොවේ. එදා නෝර්වේ කම්කරු පක්ෂයේ තරුණ ලීගයට සහභාගිවී බ්‍රෙවික්ගේ ප‍්‍රහාරයෙන් බේරීමට මීටර් 500ක් ටයිරිෆ් ජෝර්ඩන් විල හරහා පිහිනා ගිය කම්සාජිනි ගුණරත්නම් ගැන කතා කිරීමටය. එදා 23 හැවිරිදි වියේ පසුවූ කම්සාජිනි සමූහ ඝාතනයෙන් ගැලවීමට වාසනාවන්ත වූවාය. එනිසාම ඇය අද නොර්වේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකි. පූර්ණ කාලීන දේශපාලනඥයෙකු ලෙස ඉස්මතු වූ එකම නෝර්වීජියානු දෙමළ ජාතිකයා හම්සි බව සැලකිය යුතු කරුණකි. වෙඩිකෑවානම් මේවා හිමිවන්නේ නැත. යාපනයේ කොටි වෙඩි නිසා වයස තුනේදී සිය දෙමාපියන් සමග නෝර්වේ රාජ්‍යයට සරණාගතයන් ලෙස පලා ගියද ඇගේ ඉරණම අද වෙනස් වී ඇත. පසුගිය 12 වැනිදා නොර්වේ හි මහමැතිවරණය පැවැත්විණි. මේ වන විට ඇය 33 හැවිරිදි වියේ පසුවන අතර ලංකාවෙන් පලා ගිය ඇගේ දෙමාපියෝ උතුරු නොර්වේ හි ධීවර කර්මාන්තයේ යෙදී සිටිති.

කම්සාජිනි ගුණරත්නම් මුලින්ම කොටි හිතවාදී දෙමළ තරුණ ව්‍යාපාරයට සම්බන්ධ වී දේශපාලනයට පිවිසියාය. පසුව ඇය ඔස්ලෝ තරුණ කම්කරු පක්ෂයට සම්බන්ධ වී එහි නායකයා ලෙස කටයුතු කළාය. ඔස්ලෝහි දෙමළ තරුණ සංවිධානයට සම්බන්ධ වීමෙන් පසු ගුණරත්නම්ට නගරාධිපති රේමන්ඞ් ජොහැන්සන් මුණගැසුණු අතර දේශපාලනයට සම්බන්ධ වීම සඳහා ඇය දිරිමත් කළාය. 2007 දී ප‍්‍රථම වතාවට ඔස්ලෝ නගර සභාවේ නියෝජිතවරියක් ලෙස තේරී පත් වූ ගුණරත්නම්, ඇය ස්ටෝර්ටිං හි නාගරික මන්ත‍්‍රීවරියක වූ අතර ඔස්ලෝහි නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස 2015 ඔක්තෝබර් 21 දින වැඩ භාර ගත්තාය.

මීට වසර කිහිපයකට පෙර බි‍්‍රතාන්‍ය ගාර්ඩියන් පුවත්පතට කම්සාජිනි මෙලෙස ප‍්‍රකාශ කර තිබුණාය. ‘‘මම නොර්වේවල දේශපාලනයේ නියැළුණේ ප‍්‍රධාන වශයෙන් ලංකාවේ පවතින වාතාවරණය හේතුවෙන්. ලංකාව සෑම විටම මිනිසුන්ට ආරක්ෂිත නොවන රටක් ඔස්ලෝහිදී මට තිබූ සමාන අයිතිවාසිකම් හා අවස්ථා එහි ළමයින්ට නොමැති බව මම තේරුම් ගත්තා. ඒ ගැන යමක් කිරීමට මට අවශ්‍යයි.”

බ්‍රේවික් වෙඩිපහරින් බේරුණු කම්සාජිනි මන්ත‍්‍රීධුරය උපයෝගී කරගෙන ලංකාවට වෙඩි තබන්නට උත්සහ කරයිද යන්න අපට පැහැදිලි නැත. ඔස්ලෝ හි වෙසෙන කොටි ඩයස්පෝරාව සතුටු නොකර ඇයට දේශපාලනයේ ඉදිරියට යන්නට නම් බැරිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment