බාධා කළොත් 119 ට කියන්න – පොදුජන අධ්‍යාපන සේවා සංගමය

77

පාසල් සිසුන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරුන්ට ගුරු විදුහල්පති සංගම්වලින් එල්ලවන තර්ජන සහ බලපෑම් සම්බන්ධයෙන් දැනට ගුරුවරුන් 30 දෙනකු පමණ පොලිසියට පැමිණිලි කර ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික අත්තනායක මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවැසීය.

තමාටත් ගුරු විදුහල්පති සංගම්වලින් තර්ජන එල්ල වන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ බුද්ධික අත්තනායක මහතා මෙසේද කීය.

ගුරු විදුහල්පති සංගම් ඉල්ලීම් දිනා ගන්න හදන්නේ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා. මේක ඉතා අසාධාරණයි. වර්ජනයට අදට (20 දා) දින 70 ක්.

මේ සංගම් කරන වර්ජනයට විරුද්ධව ගුරුවරු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු කරනකොට ගුරු සංගම් ඔවුන්ට දුරකථනයෙන් කතා කරලා තර්ජනය කරලා තියෙනවා. දැනටමත් ගුරුවරුන් 30 දෙනකු විතර පොලිස් ස්ථානවලට ගිහින් පැමිණිලි කරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අපි සරත් වීරසේකර ඇමැතිතුමාටත් දැනුම් දුන්නා. ඒ අනුව ඒ මහතා සියලූ පොලිස් ස්ථානවලට දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න කියලා.

මම සියලූ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට බය නැතිව උගන්වන්න. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න එපා. ගුරු සංගම්වලින් තර්ජනයක්, බලපෑමක් වෙනවා නම් 119 ට හෝ ළඟම තියෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment