ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කිරීමට පවා හොඳ හැකියාවක් ඇති වියතෙක් අද ඔබ හමුවට මම ඉදිරිපත් කරමි.
ඔහු අපේ පළාතේ බාබර් මහතාය. ඔහු පමණක් නොව, බාබර් මහත්වරු මා සලකනු ලබන්නේ හොඳ බුද්ධිමත් වියතුන් ලෙසටය.
ගෙදර ගෑනිගේ බරබරයෙන් බේරීමට සමහරු බාර් එකට යති. සමහරු දුම්රියපළ වේදිකාවේ මහ රෑ දුම්රිය එනතුරු රටකජු හපමින් පසුවෙන්නේ ගෙදර ගෑනි නිදාගත්තට පසු ගෙදර යෑමටය.
හේතුව අද රටේ හැටියට බිරින්දලා ප්‍රශ්න වැලක් ඉදිරිපත් කරන නිසාය. “මේ ඇහුණ ද.. අද ගෙදර සීනි ඉවරවෙලා. මිරිස් නැහැ. පරිප්පු එක ඇටයක්වත් නැහැ. එළවළු ගිනි ගණන්. ඉන්ධන මිල… ගෑස් මිල… කොච්චර අඩු කළත් වෙළෙන්දා ගණන් උස්සනවා. ගෙදර ගැහැනු බොහෝ දෙනෙක්ගේ විලාප හඬ එසේ ඇසෙති. පිරිමි කවුරුත් එකම බෝට්ටුවේය. මේ ප්‍රශ්නවලින් බේරීම සඳහා සමහර මිනිස්සු මහ රෑ ගෙදර යති.
ගෙදර බිරිඳගේ එෆ්.එම්. නාදයෙන් බේරීම සඳහා දිනපතාම මා යන්නේ බාබර් මහත්තයාගේ සැලුන් එකටය.
දොරේ…. චුට්ටක් පරක්කු වෙනවා. මේ නෝනලාගේ පේෂල් එක ඉවර කරලා දොරේගේ රැවුල කපන්නම්. බාබර් උක්කුං මල්ලි මට එසේ කිවේ ඉතා යටහත් පහත් අන්දමිනි.
ඡන්ද කාලේ අපේ මනාපය ලබාගැනීමට දේශපාලනඥයා අපට බැගෑපත් වූයේත් ඒ ආකාරයට. ඒත් බාබර් උක්කුං මල්ලි හැමදාමත් කාරුණිකය.
හැත්තෑව පැන්න කාන්තාවන් තුන්දෙනා ප්‍රමාද වී යන තරමට මා කැමැතිය. හේතුව සැලුන් එකේ තව පැය දෙක තුනක්ම මට කාලය ගත කළ හැකි බැවිනි.
හරි දොරේ… අපි රැවුල කපමු…. කියමින් බාබර් උක්කුං මල්ලි රැවුල කැපීම ආරම්භ කිරීමට දැළිපිහිය මුවහත් කළේය.
පිටිපස්සෙන් ඇවිත් බෙලිකපන උදවිය මට මතකයට ආවේය. “දොරේ… කොණ්ඩයත් කපමුද?” අපි හෙට කොණ්ඩය කපමු මම කිවෙමි.
“නැහැ දොරේ… සල්ලි නැතිනම් ණයට හරි කොණ්ඩය කපලා දෙන්නම්. සල්ලි ප්‍රශ්නයක් තියෙනවාද?”
“චි…. එහෙම හිඟයක් නැහැ. මම කැමතියි හැමදාම වුණත් කොණ්ඩය දිනපතා ටිකෙන් ටික කපලා දෙනවානම්.”රැවුල කැපිල්ල පැත්තකට දමා ඔහු සිනාසුණේය.
“දොරේ… මාර කතා තමයි කියන්නේ. එතකොට දොරේ… හැමදාම සවසට මෙහේ එනවා. ඒක හොඳයි.”
බාබර් උක්කුං මල්ලි රාජකාරි කරන අතරතුරේදී මා සමග මුහුණට මුහුණ කතා කරන්නේ නැත. හැම බාබර් මහත්මයකුම එසේය.
රැවුල හෝ කොණ්ඩය කපන්නේ කණ්ණාඩිය බලාගෙන කතා කරමින්ය. බාබර් උක්කුං මල්ලි මගේ මුහුණ අතගෑවේය. ටෙලි නාට්‍යයක් රූගත කරද්දී වේශ නිරූපණය කළ වයලට් අක්කත් මගේ මුහුණට අත තිබ්බේ මේ ආකාරයටය. බාබර් උක්කුං මල්ලි මගේ බෙල්ලට අත තැබුවේය.
මට පොලී මුදලාලි මතක් විය. ඔහු මගේ බෙල්ලට කී වතාවක් මෙසේ අත තබා ඇද්ද?
ඕනෑම ලොක්කෙකුගේ ඔළුවට අත තියන එකම බලගතු පුද්ගලයා බාබර්ය. ඔහු කණ්ණාඩිය බලාගෙන වරින් වර මා සමග කතා කළේ මට නින්ද යා හැකි නිසා විය හැකිය. ඒත් කාන්තාවෝ බොහෝ දෙනෙක් බාබර්ලා සමග කතාව දමන්නේ බාබර්ලාට නින්ද යන නිසාය.
මහ රෑ වාහන එලවන රියැදුරන් සමග සමහරු කතා කරන්නෙත් රියැදුරන්ගේ නින්දයෑම වැළැක්වීමටය.
බාබර් උක්කුං මල්ලි මගේ කනට අත තිබ්බේය. තුන්වරක් චක්කරේ බැරිව රීටා ටීචර් මගේ කන මිරිකුවෙත් මේ ආකාරයටය.
දොරේ… මම හොඳ වැදගත් කතාවක් කියන්නම් දොරේ… මේක පත්තරේ දාන්න කියමින් ඔහු වැඩේ නතර කර කණ්ණාඩිය දෙස බලාගෙන මා සමග කතාව ආරම්භ කළේය.
“දොරේ… හරි නම් විපක්ෂය ආණ්ඩුවේ මැති ඇමතිවරු සමග විවාද කරන්න අභියෝග කරන්න ඕනෑ.”
“මේක නාඩගමක්නේ ආණ්ඩුව පැත්තක තියෙද්දී විපක්ෂයි – විපක්ෂයි අතර විවාද කරන්න අභියෝග කරනවා.
දොරේ… අද අපිට ප්‍රශ්න ගොඩයි. දොරේ මම මේ වැඩේ ඉවර කරලා මහා රෑගෙදර යන්නේ.
“ගෙදර ගෑනි අර වෘත්තීය සමිති අය වගේ ඉල්ලීම් ගොඩක් ඉදිරිපත් කරනවා.” යකෝ… මේ මිනිස්සු විවාද කරන්න ඕනෑ රටේ දැවෙන ජනතා ප්‍රශ්න වෙනුවෙන්.
බාබර් උක්කුං මල්ලිව, මට වඩා ගැනීමට හිතුණි.
“මේ ගොල්ලෝ විවාද කරලා එක පැත්තක් ජය ගනියි. අපි තමයි දිනුවේ, අපි තමයි දිනුවේ කියලා. ඒ ගොල්ලෝ හැමකෙනාම සතුටු වෙයි. අපිට ඇති පලේ මොකක්ද දොරේ…
බාබර් උක්කුං මල්ලි ඡන්දයකට ආවනම් කියන්න වචන නැහැ. බාබර් උක්කුං මල්ලි තවත් මාතෘකාවක් ඉදිරිපත් කළේය. දොරේ… දැන් චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල ඉන්න අලුත් නළු නිළියන්ගේ නම් දන්නවාද? මගේ ගෑනි ඒ නිළියන්ව හඳුන්වනනේ අර කෙට්ටු නිළිය…. අර මහත නිළිය… වපර නිළිය… කොට නිළිය උස නිළිය කියලා. කොහොමද මාලනි…. ගීතලා, සබීතලා, සංගීතලා ඔය වගේ නම් මිනිස්සුන්ගේ මතකයෙන් අයින් කරන්න බැහැ.
දොරේ ගමේ ගොඩේ සමිත සමාගම්වල වාර්ෂික නිලවරණ තියෙනවා. සමහර වෘත්තීය සමිතිවල ඉන්නෙ එකම සභාපති, එකම ලේකම්ලානේ…. අවුරුදු ගාණත් තිස්සෙ මේ අය මේ තනතුරුවල ඉන්නවා. එයාලට නිල වරණයක් නැද්ද? දොරේ හොඳට කල්පනා කරලා බලන්නකෝ… මම නම් කියන්න ඕනෙ නෑනෙ….
බාබර් උක්කුං මල්ලිව හොඳ වියතෙක් යැයි සඳහන් කළාට වරදක් නැත. ඔහු ආර්ථික විද්‍යාව පවා මැනවින් දන්නා අයෙකි.
ඉතිරි කොටස හෙට කියන්නම් දොරේ.. කියමින් ඔහු ලහි ලහියේම මගේ රැවුල කපා අවසන් කළේය.
කොණ්ඩයේ මුල් කොටස කැපීමට හෙට මම එම සැලුන් එකට යමි.