බාලදක්ෂ ගණන 150000 කරගැනීම මේ වසරේ ඉලක්කයයි – ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

31

බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය එක් ලක්ෂ පනස් දහස දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

“විනිවිදභාවය, එකමුතුකම සහ විවිධත්වය” යන්න තේමා කරගනිමින් නව වසර සඳහා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට බාලදක්ෂ මූලස්ථානයේ දී එක්වෙමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින සියලු දෙනා කැපවෙන්නැයි ඉල්ලා සිටින බව ප්‍රධාන කොමසාරිස්වරයා කීවේය.

පසුගිය කාලයේ බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ඉහළට ගෙන ඒමට හැකිවූ බවත් එසේ හැකිවූයේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව නිසා බවත් පැවැසූ ඒ මහතා එම සහය ඉදිරියටත් ලබාදෙන්නැයි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද පැවැසීය.

ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද වන විට බාලදක්ෂ දිස්ත්‍රික්ක සියල්ලෙහිම බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ප්‍රචලිත වෙමින් තිබෙනවා. දවසින් දවස බොහෝදෙනා අපි සමඟ එක්වෙමින් සිටිනවා. අපිට මේ වසරේ ජයගත යුතු ඉලක්ක කිහිපයක් තිබෙනවා. ඒ අතර සාමාජිකත්වය ප්‍රවර්ධනය කරගැනීම, ගුණාත්මකභාවය රැක ගැනීම වගේම මේ වසරේ පැවැත්වෙන ජාතික ජම්බෝරිය සාර්ථකව පවත්වා ගැනීම වැනි කාරණා රාශියක් තිබෙනවා. ජාතික ජම්බෝරිය හරහා සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වගේම රටට අත්කරගත හැකියි. විශේෂයෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ මඟින් සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකියි. විදෙස්වලින් පැමිණෙන බාලදක්ෂයන්ට අපේ රට ගැන, සංස්කෘතිය ගැන, ආහාර රටාවන් ගැන, ස්වභාවික සම්පත් ගැන දැනුමක් ලබාදිය හැකියි. ඒ මඟින් තව තවත් පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඒ වගකීම බාලදක්ෂයන් ලෙස ඔබේ සුරතෙහි තිබෙන්නේ. එය ඉටු කරන්න කැප වෙන්නැයි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර 110ක් සැපිරීම නිමත්තෙන් සකස් කළ ලාංඡනය එම සංගමය විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට මෙන්ම සහය ප්‍රධාන කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්හට පැළඳවීමද මෙහිදී සිදුකෙරිණි.

මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි යන මහත්වරු ද, සහය මූලස්ථාන කොමසාරිස්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයෝ ද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment