බාල බෙහෙත් නිසා අසාධාරණයට ලක්වූ රෝගීන්ට ජනාධිපති කොමිසමකින් වන්දි ගෙවන්න – පුරවැසි බලය ජනපතිගෙන් ඉල්ලයි

27

2021-2024 වකවානුවේ රෝහල්වලින් ලබාදුන් බාල ඖෂධ හේතුවෙන් දෑස් අඳ වූ හා සංකූලතාවයන්ට ලක්වූ මෙන්ම මියගිය පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කර වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (16දා) ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයට ලිපියක් භාර දුන්නේය.

තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් ජනතාවට සිදු වූ විශාල අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර මහජන අදහස් ද ලබාගෙන ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව, පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට පැවසීය.

බාල ඖෂධ නිසා අසාධාරණයට ලක්වූ රෝගීන් වෙනුවෙන් සිය සංවිධානය 2023.07.09 දින සෞඛ්‍ය ලේකම්වරයා ද 2023.12.04 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද ලිපි මගින් දැනුවත් කළ ද මේ දක්වා කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment