ප්‍රමිතියෙන් තොර එන්නත් භාවිතය නිසා තම දෑස් සම්පූර්ණයෙන්ම පාහේ පෙනීම අහිමිවීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව සිවිල් පුරවැසියන් තිදෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු හා නීතිඥ ප්‍රවින්කා රත්නසේකර යන නීතිඥවරුන් මගින් ගොනු කර ඇති මෙම නඩුවල සෙසු වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අක්ෂි වෛද්‍ය විශේෂඥ රෝහණ එදිරිසිංහ, චමි කෙමිස්ට් ප්‍රයිවට් ලිමිටඩ් හා නීතිපතිවරයා ඇතුළු 11 දෙනකු නම්කර ඇත.
කඳපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මක්කාරි රාජරත්නම් මහතා ඇතුළු පැමිණිලිකරුවන් තිදෙනා ගොනු කර ඇති එම වන්දි නඩුවල වගඋත්තරකරුවකු ලෙස එම එන්නත් නිෂ්පාදනය කළේ යැයි කියන ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි ඉන්දියානා හා ඔප්ටිමික්ස් සමාගම ද නම් කර ඇත.
ඒ.ජේ.ඒ. අබේනායක