මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් බව කියන දෙහිවල මුහුදු තීරයේ පිහිටි සෝල්බීච් හෝටලය රජයේ ඉඩමක අනවසරයෙන් ඉදිකළ එකක් බව විමර්ශනවලින් හෙළි වී ඇත.
තහනම නොතකා මෙම හෝටලය නැවත ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයන් 14 දෙනකු දෙහිවල පොලිසිය මඟින් පෙරේදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බව කියන මෙම හෝටලය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසු එම හෝටලයට සම්බන්ධ පිරිසක් විසින් නැවත එය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබුණේ සැකකරුවන් ඉදිරිපත් කර තිබූ බදු ඔප්පු ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවයි.
ඒ අනුව විමර්ශන නිලධාරීන් නැවත එම හෝටලය පිහිටි ස්ථානය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ හෙළි වී ඇත්තේ හොර රහසේ ම හෝටලය නැවත ඉදිකරමින් තිබෙන බවයි.
සැකකරුවන් 14 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේ දී ය. මෙම ප්‍රශ්න සහගත ඉඩම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ එය රජය සතු ඉඩමක් බවයි.
මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
ශිරාන් බාසික් නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
හේමන්ත රන්දුණු