දරුණු රෝගාබාධවලට ලක්වූවන්ට මුදල් ආධාර ලැබෙන බැංකු ගිණුම්වලට ඉතාම සූක්‍ෂම ලෙස ඇතුළුවී එම ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පරිගණක විශේෂඥයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (11 දා* අත්අඩංගුවට ගෙන ඇත.
විවිධ රෝගාබාධවලට ලක්වූවන්ට ආධාර ලැබෙන බැංකු ගිණුම් විශාල ප‍්‍රමාණයකට සූක්‍ෂමව ඇතුළුවී දීර්ඝ කාලයක් තිස්සේ මෙම සැකකරු රුපියල් කෝටි ගණනක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් නන්දන මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂක රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
මෙම සැකකරුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ තවත් පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
විවිධ රෝගාබාධවලට ලක්වූවන්ට මූල්‍ය ආධාර ලබාදෙන බව පවසා ඔවුන්ගේ හැඳුනුම්පත් අංක සහ බැංකු ගිණුම් අංක ලබා ගන්නා මෙම සැකකරු ඉතාම සූක්‍ෂම ආකාරයට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට පරිඝණක මාර්ගයෙන් ඇතුළුවී ඒවායේ ඇති මුදල් තම ගිණුමකට බැර කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
දරුණු රෝගාබාධාවලට ලක්වූවන්ට විවිධ දානපතියන් විසින් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කරන මුදල් මෙම සැකකරු මේ ආකාරයට ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
|