බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ
කිත්සිරි හේවාගමගේ කියන්නේ රංගනය, අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාකරණය වගේම කලා අධ්‍යක්ෂණයෙන් දස්කම් දක්වන කලාකරුවෙක්. ඔහුගේ නවතම සිනමා සිනමා නිර්මාණය වන බැක් ටූ ස්කූල් පිළිබඳව දිවයින සිනමා කලා පසුගියදා පුංචි සංවාදයක නිරත වුණා.

ඔබේ නවතම සිනමා නිර්මාණය බැක් ටු ස්කූල් නිර්මාණය වෙන්නේ කොහොමද?

මම දවසක් පාරේ ඇවිදගෙන යනකොට පාරේ බෝඩ් එකක් ගහලා තියෙනවා දැක්කා බැක් ටු ස්කූල් එන්න කියලා. ඊට පස්සේ මම බැලුවා මොකක්ද කියලත්. කොහොම හරි මගේ කැමරා උපකරණ ආයතනයක් තියෙනවා. මේ වැඩසටහන සංවිධානය කරන පිරිස අන්තිමේ මගෙන් කැමරාවක් ඉල්ලගෙන ආවා මේක පටිගත කරන්න. එහිදී මම දැක්කා ටිකක් වයසට ගිය පිරිසක් එකතු කරගෙන තමයි ආපහු පරණ ඉස්කෝලයක් පවත්වන්නේ. මම මේක පටිගත කර කර ඉන්නකොට පස්සේ මගේ සහායක කැමරා ශිල්පියා වන තිලකරත්නට කිව්වා මේක මාර මාතෘකාවක්නේ චිත්‍රපටයක් කරන්න කියලා. මොකද දැන් බැක් ටු ස්කූල් කියන කන්සෙප්ට් එක ලංකාවේ තියෙනවා. හැබැයි මේක සිනමාවට නඟන්න හොඳ අවස්ථාවක්නේ. චිත්‍රපයකට හැදුවොත් මේක ලංකවේ මිනිස්සු භාර ගනීවි කියන අදහසේ තමයි මම හිටියේ.

මෙහි පිටපත ලිව්වෙත් ඔබම ද?

ඔව්. මම තමයි පිටපත ලිව්වේ.

බැක් ටු ස්කූල් සිනමා නිර්මාණයට නළු නිළියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කර ගත්තා කියන්නේ ඇත්තද?

ඔව්. මේ සිනමා නිර්මාණයට දැනට රංගනයෙන් දායක වුණා හයසිය හැත්තෑවක්. කැලණිය සරසවියේ දරුවන්, මහානාම විද්‍යාලයේ දරුවන්, උඩුගම්පොළ සෙනරත්පරණ විතාන විද්‍යාලයේ දරුවන්, කලායතනවල දරුවන් වගේම බොහෝ පළාත්වල දහම් පාසල් දරුවන් ද රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපටයට ප්‍රධාන ධාරාවේ නළු නිළියන් හැටදෙකක් රංගනයෙන් දායක වුණා. මහේන්ද්‍ර පෙරේරා, සුසිලා කෝට්ටගේ, අංජලී ලියනගේ, විජේරත්න වරකාගොඩ, ප්‍රියා රණසිංහ වගේම වර්තමාන පරම්පරාවේ පූජනී භාග්‍යා, නිලූෂි පවන්‍යා වගේ පිරිසක් ද එකතු වුණා.

බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ

නළු නිළියන් රැසක් අධ්‍යක්ෂණය සිදු කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?

ඒක තමයි මට ලැබුණ හොඳම සහයෝගය. මේ සෑම නළු නිළියෙක්ම මට ඉතාම උනන්දුවෙන් උදව් කළා. පාසල් නිල ඇඳුම හින්දා වෙනස්ම අත්දැකීමක් තිබුණා. මෙහි ගීත පහක් අඩංගු වෙනවා. ඒ අතරට දේශාභිමානී ගීතයක් පවා ඇතුළත් වෙලා තියෙනවා. බැක් ටු ස්කූල් ගීතයකුත් නිර්මාණය කරලයි තියෙන්නේ.

ඔය අතරේ ඔබ රංගන ශිල්පියෙක් විදිහට සෑහෙන කාලයක් කේෂ්ත්‍රයේ රැඳී සිටියා නේද?

මම මීට අවුරුදු විසිපහකට විතර කලින් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. එතැනදී මට තේරුණා ආධුනියක්ට ලබාදෙන අවස්ථාව හරි අඩුයි කියලා. මම ඒ කාලේ රාජ්‍ය ආයතනයක සේවය කළේ. මට අවශ්‍යතාවය තිබ්බා කලාව විෂයක් විදිහට හදාරන්න. කැමරාකරණය, අධ්‍යක්ෂණය, රංගනය, සංස්කරණය යනා දී සියලු කාරණා ඇතුළත් පාඨමාලා දහතුනක් මම හැදෑරුවා. ඊට පසුව තමයි මම කේෂ්ත්‍රයට ආවේ. එතකොට තමයි මට මෙහි වටිනාකම තේරුණේ. ඒ අනුව නෙයිනගේ සූදුව වේදිකා නාට්‍ය තමයි මගේ කත්සලාව. ඒකෙන් තමයි මිනිස්සු මාව හඳුනාගන්න පටන්ගත්තේ. එහි ප්‍රධාන භූමිකාව, නිෂ්පාදන භූමිකාව වගේම මගේ මිතුරෙක් සමග එකතුවෙලා අධ්‍යක්ෂණ භූමිකාවත් සිදු කරගෙන යනවා. නෙයිනගේ සූදුව අවුරුදු විසිහතරක් දර්ශන වාර හයදහස් එකසිය තිස්හතක් මේ වෙනකොට ලංකාව පුරා වේදිකාගත කරලා තිබෙනවා. ඒකෙන් පාසල් දර්ශන වාර වේදිකාගත කරලා තියෙනවා එක්දහස් හත්සිය ගණනාවක්. ඉතින් විශාල පාසල් ප්‍රමාණයක මේ නාට්‍ය වේදිකාගත කරලා තියෙනවා. මේ නාට්‍යයේ ඒ කාලේ රඟපෑ පිරිස අද නැහැ. අලුත් පරම්පරාවත් සමග තමයි මේ නාට්‍ය වේදිකාගත කරන්නේ.

බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ

නෙයිනගේ සූදුවට ලැබෙන ප්‍රතිචාර ?

ඉතාම ඉහළයි. සෑම දර්ශනයකට ම විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙනවා. සමහර පාසල්වල දර්ශන වාර තුනක් පෙන්වලත් හතර වැනි දර්ශන වාරය ප්‍රදර්ශනය සිදු කරන්නත් පිරිස ඉන්නවා. මෙහි කවිකොළ කාරයාගේ භූමිකාව තමයි නිරූපණය සිදු කරන්නේ. මේ නාට්‍යයේ මුල්පිටපත ලියපු රචකයා තමයි මම දැන් රඟපාන කවිකොළ කාරයාගේ චරිතය නිරූපණය සිදුකරලා තිබෙන්නේ. මමත් කවිකොළකාරයාගේ චරිතය හරහා විවිධ පරාසයන් නිරූපණය කරනවා.

බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ
නෙයිනගේ සූදුව නාට්‍යයෙන්

ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු ගැනත් කතා කළොත්?

මම ටෙලිනාට්‍ය තුනක් නිෂ්පාදනය කරලා තියෙනවා. එකක් මම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තව දෙකක් අධ්‍යක්ෂණය කරලා එන්න තියෙනවා. එකක් අරුණලු මුතු වරුසා. අනෙක් ඒවා භවශක්ති සහ මාංචු යුගල්. අද කාලේ ටෙලිනාට්‍යයක් කරලා අපිට දාන්න තැනක් නැහැනේ. හැබැයි චිත්‍රපටයක් කළොත් ඒක පෙන්වන්න පුළුවන්. ඊළඟට වේදිකා නාට්‍යයක් නිර්මාණ කළොත් කොහේ හරි පෙන්නගන්න පුළුවන්නේ. ඒ හින්දා මම ගොඩක් ආසා කරන්නේ සිනමාවටයි, වේදිකා නාට්‍ය කලාවටයි. මේ වෙනකොට මට තවත් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න කියලත් ගොඩක් ඉල්ලීම් තියෙනවා. ඉදිරියේ දී අලුත් වේදිකා නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි නෙයිනගේ සූදුව තවම පණ ගැහෙනවානේ. ඒක හින්දා නෙයිනගේ සූදුව නාට්‍ය රටවටා රැගෙන යනකොට මට වෙන නාට්‍යයක් කරන්න වෙලාවක් නෑ.

කලා ජීවිතය ගැන ආපහු හැරී බැලුවොත් ?

හරිම තෘප්තිමත්. ඉතින් මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ප්‍රචාරක නිලධාරී තනතුර අවුරුදු දහයක් තිස්සේ සිදු කරනවා. එහිදී මට දැවැන්තයන් රැසක් මුණගැසුණා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට මම විශේෂ ස්තුතියක් සිදු කරනවා. මොකද ඒ සංසදය නිසා තමයි ජ්‍යෙෂ්ඨයන් අතර මම ඉන්නේ.

බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ
නෙයිනගේ සූදුව නාට්‍යයෙන්

බැක් ටු ස්කූල් ස්වතන්ත්‍ර නිර්මාණයක්. එහෙමද?

ඔව්. මගේ බැක් ටු ස්කූල් සිනමා නිර්මාණය ස්වතන්ත්‍ර නිර්මාණයක්. මේක කාගෙවත් කොපියක් නෙමෙයි. මේ නිර්මාණය ඇතුළට මම ආදර කතාවකුත් රැගෙන ආවා. වර්තමාන ෆේස්බුක් සමාජය අලළා තවත් කතාවක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඇත්තට ම පවුලේ චිත්‍රපටයක්. මේක එක දවසක සිද්ධියක් අනුව නිර්මාණය කරපු සිනමා නිර්මාණයක්. බැක් ටු ස්කූල් නිර්මාණය කරනකොට තවත් මට සිනමා නිර්මාණ හතරක් කරන්න අවස්ථාව සැලසුණා.

තව මගේ තියෙනවා සිහිලැල් ෆිල්ම්ස් කියලා නිෂ්පාදන ආයතනයක්. එහි චිත්‍රපට නිෂ්පාදන කටයුතු තමයි සිදු කරන්නේ. දැනට චිත්‍රපට දහතුනක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ අතරතුර මටත් එකක් අධ්‍යක්ෂණය කරන්න හිතුණා.

අපේ සිනමා ප්‍රේක්ෂකාගාරය හදන්න ඕනෑ. ප්‍රේක්ෂකාගාරය හදන්නේ නැතිව චිත්‍රපට හැදුවට වැඩක් නැහැ. ඒ වගේම ප්‍රේක්ෂකයාට ඕනෑ දේ හදන්නත් ඕනෑ.

දිනේෂ්

බැක් ටු ස්කූල් නැවුම් මුණගැසීමක් වේවි… - අධ්‍යක්ෂ කිත්සිරි හේවාගමගේ

advertistmentadvertistment