බැට කන අපට තවත් බැටදුන් බස් ගාස්තුව

191

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලී ගොසිනි. ජනතාව නන්නත්තාර කරමින් දිනෙන් දින සහල්, පරිප්පු, අල, සීනි ආදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල සිට සෑම දෙයකම මිල ඉහළ දමමින් තිබේ. ශ්‍රී ලංකාවේ මිනිස්සු රෑ නින්දට යන්නේ එළිවන විට අලුත් මිල ගණන් හීනෙන් දකිමින්ය. රෑ සිහිනෙන් බිය වී අවදිවන බොහෝ අය දැන් රෑට නිදන්නේ තනි ඇහෙනි. අනෙක් ඇහේ කඳුළුය. දරුවන්ට අධ්‍යාපනයක් නැත. උන්ට කන්න දෙන්න අතේ මිටේ මුදල් නැත. රෝගී මවට, පියාට බෙහෙත් ටික අරන් දෙන්නට වත්කමක් නැත. ආදායම් ඇහිරී ගොසිනි. ජීවන වෘත්තීය අනතුරකය. එසේ තිබියදී බඩු මිල නහුතෙට නගිමින් තිබේ.

ගෙවීගිය වසරක කාලයේ දී ඉන්ධන මිල ගණන් හත්වතාවකින් ඉහළ දැමිනි. ඉන්ධන මිල එලෙස ඉහළ දැමුවේ ඉතිහාසයේ පළමු වතාවටය. 2021 ජුනි 21 වැනිදා පෙට්‍රල් ලීටරයක මිල තිබුණේ 137 කටය. ඩීසල් ලීටරයක මිල 104 කි. හරියටම 2022 ජුනි 27 වන විට තෙල් මිල ගණන් වැඩිවී තිබෙන ආකාරය දෙස බැලූ පසු රටට වී තිබෙන නස්පැත්තිය ගැන තේරුම් ගැනීම අමාරු නැත.

හරියටම මාස 12 කට පසු 137 ට තිබු පෙට්‍රල් ලීටරයක මිල මේ වනවිට රුපියල් 470 කි. 104 ට තිබූ ඩීසල් ලීටරයක මිල 460 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 550 ක් වී තිබියදී සුපර් ඩීසල් ලීටරයක මිල 520 කි.

මේ රටේ පොදු මහජනතාවගේ දෛනික ආදායම හෝ මාසික ආදායම සත පහකින් මේ කාලය තුළ ඉහළ දමා නැත. ඒ අල්ල පනැල්ලේ හාල්, පරිප්පු, සීනි, කරවල දිය ලුණුවල සිට සෑම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයකම මිල ගණන් අහස උසට නැග ගොසිනි. නායකයන්ට මේ ජනතා පීඩනය නොතේරේ. තුන්වේල දෙවේලක් දක්වා අඩු කිරීමටත් එතැනින් නොනැවතී අමාරු කාලයකට සූදානම් වන්න යැයි නායකයන් කියන්නේ ඒ අයට ජනතාවගේ

සාමාන්‍ය ජීවිතය පිළිබඳ අවබෝධය නැති නිසාය. හිරි වැටුණ මිනිසුන්ට හැඟීම් දැනීම් දැනෙන්නේ නැත. හිරිවට්ටා දත් ගලවන්නේ එනිසාය. හිරිවැටුණ පසු වේදනාව දැනෙන්නේ නැත. මේ අල්ලපනැල්ලේ බස් ගාස්තුව ඊයේ (30වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් වැඩිකර ඇත. අවම ගාස්තුව රුපියල් 40 කි. යම් මගියෙක් යා යුතු බසය වැරදී ඊළඟ බස් නැවතුම්පොළෙන් බැස යන විටත් කොන්දොස්තර මහතා වෙත රුපියල් 40 ක් දිය යුතුය. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවකු පොදු ප්‍රවාහනයේ ගමන් බිමන් යන්නේ නැත. පළාත් සභා මන්ත්‍රීවරු බසයේ යන්නේ එන්නේද නැත. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පවා පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ යලට මහටය.

වර්තමානයේ ආහාරපාන මිල පසෙකින් තබා අද අප කතා කරන්නේ බස් ගාස්තු පිළිබඳ වය. ජනවාරි මස සිට බස් ගාස්තු හතර වතාවක් වැඩිකර ඇත. ඉකුත් 2021 ජුනි මස සිට බස් ගාස්තුව හත් වතාවකට වඩා වැඩිකර ඇත. කොරෝනා වසංගතය අවසන් වී යන සමයේ ආසන ගණනට මගීන් ගෙනයන පෙරොන්දුව මත බස් ගාස්තු වැඩි කෙරිණ. අන්තිමට ඒ ගාස්තුවද සාක්කුවේ දමාගත් බස් මුදලාලිලාත්, ලංගමයත් පෙර පරිදිම පොල් පටවන්නාසේ මගීන් බස්වලට නග්ගා ගත්තේ කොරෝනා තඹ දොයිතුවකට මායිම් නොකරය. එතැන් පටන් ඉන්ධන මිල ඉහළ දැමූ සෑම අවස්ථාවකදීම බස් ගාස්තු ඉහළ දැමුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. පාලකයින්ටත් අදාළ රාජ්‍ය නිලධාරීන්ටත් මේ මිල ඉහළ දැමීම් පිළිබඳ වගේ වගක් නොවුණත් මේ ඉහළ දමන ගාස්තු ගෙවන්නට පොදු මහජනතාවට හැකියාවක් නැත. අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමුවේ ඉකුත් මැයි 24 වැනිදාය. ඒ මිල ඉහළ දැමුවේ සියයට 19.5 කිනි. අවම ගාස්තුව රුපියල් 32 ට නැග්ගේය. දැන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යැයි කියමින් බස් ගාස්තුව යළි සියයට 22 කින් වැඩි කර ඇත. අවම ගාස්තුව රුපියල් 40 කි.

බස් ගාස්තු වැඩිවීම හමුවේ රස්සාවකට ගොස් ආපසු නිවසට ඒමම අභියෝගයක් බවට පත්ව ඇත. මේ රටේ පඩි පාලක සභාවක් ඇත. මේ රටේ පුද්ගලික හා රාජ්‍ය ආයතනවල සාමාන්‍ය සේවකයින්ට වැටුප් තල ඇත. මේ රටේ සාමාන්‍ය ලිපිකරුවකුගේ මාසික වැටුප රුපියල් 35,000 40,000 කට සීමා වී ඇත. බසයේ නැගී ගමින් නගරයට එන සේවකයකුට රැකියා ස්ථානයට බසයේ යන්නට මෙතෙක් වැය වු බස් ගාස්තුව රුපියල් 100 ක් නම් අද සිට ඒ සඳහා රුපියල් 122 ක මුදලක් ගෙවිය යුතුය. මෙතෙක් කලක් රුපියල් 200 ක් ගෙවා රාජකාරි ස්ථානයට ගිය අයකුට අද සිට ඒ සඳහා වැයවන ගාස්තුව රුපියල් 244 කි. ඉකුත් මැයි 24 වැනිදා බස් ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඉතිහාසයේ ඉහළම බස් ගාස්තු අය කිරීම් මෙරටින් වාර්තා වූ අතර කිලෝ මීටර් 40 ක් දුර ගෙවා කොළඹට තනි බසයක නැගී රාජකාරියට එන්නට පමණක් රුපියල් 200 කට වඩා වැය වෙමින් තිබිණි. ඒ අනුව යම් අයකු කිලෝ මීටර් 40 ක දුරක් ගෙවා රාජකාරියට විත් ආපසු යන්නට රුපියල් 400 ක් බස් රථයට ගෙවිය යුතුය. ඒ පුද්ගලයා තවත් බසයක නැගී ගමට යන්නට රුපියල් 60 ක් වැය කළේ වී නම් උදේ සවස නිවසට යන්නට රුපියල් 120 ක් අමතරව ගෙවිය යුතුය. ඒ අනුව කොළඹ රස්සාවට එන මේ පුද්ගලයාට දිනකට බස් ගාස්තු ලෙස රුපියල් 520 ක මුදලක් අවශ්‍යව තිබිණි. ඊයේ සිට බස් ගාස්තුව යළි සියයට 22 කින් වැඩි කළ පසු අද (01 වැනිදා) සිට ඒ පුද්ගලයාට රාජකාරි කර නිවස බලා යන්නට දිනකට වැයවන මුදල රුපියල් 635 ක් දක්වා වැඩි වී ඇත. එම පුද්ගලයා දිනකට ලබන වැටුප රු. 1500 ක් නම් ඉන් භාගයකට වඩා මහමඟට වැය වී ඇත්තේ බස් ගාස්තු වශයෙන් නම් රස්සාව කර ඵලක් තිබේද? මේ පුද්ගලයා විවාහකයෙක් නම්, දරු මල්ලන් සිටීනම් ඒ කටයුතුවලට මුදල් කොයින්ද? අගමැති කළ ඉල්ලීමට අනුව තුන් වේලෙන් දෙවේලක් කන්නටවත් ඔහුට ආදායමක් නැත. කොළඹ සිට ත්‍රීකුණාමලයට යෑමට ගාස්තුව රු. 1139 කි.

මේ රටේ සමස්ත පොදු ජනතාව මුහුණ දී සිටින්නේ මේ අවාසනාවන්ත ඉරණමටය. දරුවන් බසයක නග්ගා පාසල් යැවීමට නොහැකි තැනට රට පත්වී හමාරය. බෙහෙතක් හේතක් ගැනීමට රෝහලට බසයේ නැගී යන්නට බැරි තැනටම බස් ගාස්තු වැඩිය. ආහාරපාන, ගෑස් මිල, විදුලි බිල, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හමුවේ මිනිසුන් එදා දවස ගතකර ගැනීමට මුදල් නොමැතිව අසරණව සිටිති. නමුත් පාලකයින්ටත් මේ ගාස්තු නග්ගන නිලධාරින්ටත් සාමාන්‍ය මිනිසාගේ මේ දුක නොපෙනේ. මේ ජනතා පීඩනය කොයි මොහොතේ පිපිරී යාවිදැයි අප දන්නේ නැත. රුපියල් 3.50 ට පාන් රාත්තලක් දෙන බවට ඡන්ද පොරොන්දුවක් දී 1994 දී චන්ද්‍රිකා බලයට ආ හැටි මතකය. අද ජනතාවට පාන් කියා ගැනීමටත් නොහැකිව ගොසිනි. හෙට අනිද්දාට විදුලි ගාස්තුත්, දුම්රිය ගාස්තුත් ඉහළ යෑමට නියමිතය.

දර කෑල්ලක් ලිපේ ඔබා යන්තමින් බඩ වියත රැක ගන්නට වෙර දරන මිනිසාගේ අන්තිම හුස්ම පොදත් උදුරාගෙන ඇත. වතුරේ ගිලෙන විට පරඬැලත් වටිනා බව ඇත්තකි. බඩු මිල හා අනෙකුත් ගාස්තු ඉහළයෑම හමුවේ ජනතාවට අල්ලා ගැනීමට පරඬැලක්වත් ඉතිරි කිරීමට පාලකයින් කටයුතු නොකරන්නේනේ පීඩිත පංතිය පිළිබඳ හැඟීමක් නැති රොබෝවරු රට පාලනය කරන නිසාදැයි අප දන්නේ නැත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment