බැලස්ටික් මිසයිල තායිවානය උඩින් පියාසර කරද්දී – ලක් රජය ‘එක් චීනයක්’  ප්‍රතිපත්තිය අවධාරණය කරයි

588

ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට සිය පූර්ණ සහයෝගය පළකර තිබිණි. පකිස්තානය සිය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීන රජයේ සියලු උත්සාහයන්ට සහාය දක්වයි යනුවෙන් චීනයේ පාකිස්තාන තානාපති මොයින් උල් හක් චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. පකිස්තානය සිය “යකඩ සහෝදරයා” වෙත දිගටම පූර්ණ සහයෝගය ලබා දෙනු ඇති බව මෙහිදී තානාපතිවරයා  අවධාරණය කර තිබිණි.

බැලස්ටික් මිසයිල තායිවානය උඩින් පියාසර කරද්දී - ලක් රජය ‘එක් චීනයක්’  ප්‍රතිපත්තිය අවධාරණය කරයි

පුරා වසර 40ක පමණ කාලයක් දේශපාලනයේ යෙදී සිටින එක්සත් ජනපද කතානායකවරිය වන නැන්සි පොලෝසි බොහෝ අවස්ථාවන්හි දී චීනය දැඩිසේ විවේචනයකර ඇත. 1991දී බීජිං නුවර සංචාරය කරමින් පොලෝසි ටියැන්මෙන් චතුරස්‍රයේ සමූල ඝාතනයේ වින්දිතයන්ට සහාය දක්වමින් බැනරයක් ප්‍රදර්ශනය කළ අතර එය ලෝක මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් විය. මේ සිද්ධිය චීන රජය කෝපයටත්, පුදුමයටත් පත්කළේ ය. පසුගිය සතියේ පොලෝසි තායිවානයේ සංචාරයක නිරතවීම බිජිං පාලනය බලවත් කෝපයට පත්කරවන්නක් විය. ඇය තායිවානයේ රැඳී සිටියේ පැය 24කට අඩු කාලයක් වුවත් එම සංචාරය චීන බලවතා නිග්‍රහයට ලක්කරන රාජ්‍යතාන්ත්‍රික ගමනක් විය. වසර 25ක් තුළ තායිවානයට ගිය ඉහළම එක්සත් ජනපද දේශපාලනඥවරිය වන පොලෝසි, එක්සත් ජනපදය විසින් තායිවානය අත්නොහරින බව “පැහැදිලිවම තහවුරු කිරීම” සඳහා සිය දූත පිරිස තායිවානයට පැමිණි වග ප්‍රකාශකර සිටියා ය. පසුගිය 25 දා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලීජියැන් අනතුරු අඟවා සිටියේ පොලෝසි තායිවානයට ගියහොත් සිය රට විසින් “දැඩි හා ස්ථිර පියවර” ගනු ඇති බවකි. ඇත්තෙන්ම දැන් තායිවානය උඩින් බැලස්ටික් මිසයිල පියඹා යන්නේ ඇමෙරිකානු කතානායකවරිය ඇති කළ කලබලය නිසාය. චීන දේශයට කිලෝමීටර් 161ක් දුරින් දකුණු චීන මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් 36000ක භූමි ප්‍රමාණයක් ඇති තායිවානය බිජිං පාලනය සලකන්නේ

 තමන්ගේම කොටසක් ලෙසය. එය වෙන්වූ තමන්ට අයත් ප්‍රාන්තයක් බව චීන රජය කියයි. අවශ්‍ය වුවහොත් බලහත්කාරයෙන් තායිවානය අල්ලාගන්නා බවට නැවත නැවතත් චීන ආණ්ඩුව පවසා තිබේ. තායිවාන හා එක්සත් ජනපද රජය අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වැඩෙමින් පවතිතැයි විශ්වාස කරන චීනය ඒ සම්බන්ධව අප්‍රසාදය කිහිප විටක්ම පළකර ඇත. පොලෝසිගේ සංචාරයෙන් පසුව චීනය ඇමෙරිකාව සමග පවත්වන ආරක්ෂක සබඳතා අත්හැර දමා තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද දේශපාලනඥයන් සයදෙනකු තායිවානයේ හදිසි සංචාරයක නිරත විය. “ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් චීනයේ ස්වෛරීභාවය කෙලෙසන බවට” එක්සත් ජනපදයට චෝදනා එල්ල කළ චීන විදේශ අමාත්‍ය වන්ග් යී, “ගින්දරත් එක්ක සෙල්ලම් කරන අයට හොඳ අවසානයක් ලැබෙන්නේ නැහැ. චීනය අමනාප කරගන්නා අයට දඬුවම් ලැබෙනු ඇති” යි ප්‍රකාශ කර තිබිණි.

 මේ වන විට චීනය තායිවානය අවට මුහුදේ දී එරට ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසය සිදුකරමින් සිටියි. මෙම යුද අභ්‍යාසයන් කාර්යබහුල මුහුදු මාර්ගවල දී සිදුවනු ඇතැ යි ද, දිගුදුර සජීවී උණ්ඩවලින් වෙඩි තැබීම සිදුවනු ඇතැ යි ද චීන රජය පවසයි. කෙසේ නමුත් චීනය තායිවානය ආක්‍රමණය කළහොත් එය රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයටත් වඩා වැඩියෙන් ලෝකයටම මෙන්ම

 ශ්‍රී ලංකාවට ද බලපානු ඇත. ලංකාව නම් තායිවානය පිළිගන්නේ නැත. එරටින් එන සංචාරකයන් වීසා පහසුකම් ලබා දෙන්නේ වීසා සහතිකය අමුණාය. කෙලින්ම ගමන් බලපත්‍රයට වීසා ස්ටිකරය අලවනු නොලබයි. චීනය හා තායිවානය අතර උණුසුම් තත්ත්වයක් වර්ධනය වන විට මේ අතරේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවන බව යි. “චීනයේ තානාපති  කි සෙන්හොන් සමඟ පැවැත්වූ හමුවක් අතරේ දී,

 ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට මෙන්ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද දැඩිව කැපවන බව මම නැවත අවධාරණය කළෙමි,” යනුවෙන් ජනපති වික්‍රමසිංහගේ ට්විටර් පණිවිඩයේ දැක්විණි. එහි වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබිණි. “වත්මන් ගෝලීය ආතති තත්ත්වයන් තවදුරටත් උත්සන්න කරන අන්දමේ ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු ය. අන්‍යොන්‍ය ගෞරවය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගිතාවට සහ ගැටුම්වලින් තොරවීම සඳහා වැදගත් පදනමකි. ඇත්තෙන්ම තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස හඳුනාගන්නේ රාජ්‍යයන් කීපයක් පමණි. බොහෝ රටවල් පිළිගන්නේ බෙයිජිං පදනම් කරගත් චීන රජය යි. එක්සත් ජනපදයට ද තායිවානය සමඟ නිල සබඳතා නැති නමුදු තායිවානයේ ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය අවි සැපයීම සිදුකළ යුතු යැයි පවසන නීතියක් ඔවුන් සතු වේ. තායිවානයට තමාගේම ව්‍යවස්ථාවක් තිබෙන අතර, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ නායකයන් ද, සන්නද්ධ හමුදාවන්හි 300000ක පමණ සක්‍රීය භට පිරිසක් ද සිටියි. එය චීනය මෙන් තනි පක්ෂ පාලනයක් නොවේ.

 චීනයට පක්ෂපාතී වෙමින් තායිවානය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපාහැරීමට නිකරගුවාව තීරණය කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය. පැසිෆික් දූපත් රාජ්‍යයන් වන කිරිබාති සහ සොලමන් දූපත්, නිකරගුවාවට පෙර 2019 දී චීනයට පක්ෂපාතීව තායිවානය සමඟ සබඳතා කපා දැමූහ. තායිවානයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට බෝල්ටික් රාජ්‍යයක් වන ලිතුවේනියාවට අවසර දීමෙන් දින කිහිපයකට පසු පසුගිය නොවැම්බර් මාසයේදී, චීනය ලිතුවේනියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට සිය පූර්ණ සහයෝගය පළකර තිබිණි. පකිස්තානය සිය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීන රජයේ සියලු උත්සාහයන්ට සහාය දක්වයි යනුවෙන් චීනයේ පාකිස්තාන තානාපති මොයින් උල් හක් චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. පකිස්ථානය සිය “යකඩ සහෝදරයා” වෙත දිගටම පූර්ණ සහයෝගය ලබා දෙනු ඇති බව මෙහිදී පාකිස්තාන තානාපතිවරයා අවධාරණය කර තිබිණි.

 මීට දෙමසකට ඉහතදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ යම් හෙයකින් චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තායිවානයට අයිතියක් ඇති බවය. එහිදී තායිවාන හමුදාවට ඇමෙරිකා සහාය ලැබෙනු ඇති බවත් සඳහන් කර තිබිණි. එවරද එම ප්‍රකාශය චීනයේ විරෝධයට හේතු වූ අතර, ඇමෙරිකාව ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමට සැරසෙන්නේ යැයි පෙන්වා දී තිබිණි. චීන ජනාධිපති ෂී ජිංග් පිංග් ගේ අදහස වන්නේ චීන විප්ලවයට වසර 100 සපිරෙන විට එනම් 2049 වන විට තායිවානයත් තමන්ගේම පාලනයේ කොටසක් ලෙස තිබෙනු දැකීමයි.

 පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීන ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණේ “මව්බිම සම්පූර්ණයෙන් යළි එක්සේසත් කිරීමේ ඓතිහාසික කර්ත්‍යය ඉටු කළ යුතු අතර, එය අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත,” යනුවෙනි. 1911 දී චීනයේ අවසන් අධිරාජ්‍ය රාජවංශය පෙරළා දැමූ විප්ලවයේ 110 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවති උත්සවයකදී ඔහු පැවසුවේ “සාමකාමී ආකාරයකින් තායිවානය එක්සේසත් කරගත යුතු බවයි. චීනයේ කොටසක් වන නමුත් ස්වයං පාලනයක් ඇති හොංකොං පාලනය වන ආකාරයට “එක් රටක්, පද්ධති දෙකක්” මූලධර්මයක් යටතේ තායිවානයද එක්සත් වීම සිදුවනු දැකීමට තමාට අවශ්‍ය බව ෂී මහතා පවසා තිබිණි. නමුත් දැන් ජනපතිවරයා කෝපයට පත්ව ඇති බව පෙනෙන්නේ චීන හමුදාවේ ක්‍රියාකාරීත්වය අනුවය. දකුණු චීන මුහුද රත්වී ඇති සෙයකි.

 මේ අතර ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ චීනයේ හමුදා අභ්‍යාස “ප්‍රකෝපකාරී” සහ “වගකීම් විරහිත” බවයි. “මෙම ක්‍රියාකාරකම් පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය දරන උත්සාහයේ සැලකිය යුතු උත්සන්න වීමකි. ඒවා ප්‍රකෝපකාරී, වගකීම් විරහිත වන අතර වැරදි ගණනය කිරීමේ අවදානම මතු කරයි, “ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කර තිබිණි. එහෙත් තමන්ගේ කතානායිකාව මේ ගින්න ඇවිලූ බව ධවල මන්දිරය කිසිවක් නොකියයි. පෙන්ටගනය පසුගිය සතියේ නිවේදනය කළ පරිදි මැදි දුර කාලතුවක්කු අවි පද්ධති 40ක් තායිවානයට සැපයීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු අනුමැතිය ලැබී ඇති බවයි. මෙය ඇ. ඩො. මිලියන 750ක ගනුදෙනුවකි. මෙවැනි පියවරක් ගැනීම අන්තර්ජාතික නීතියට සහ ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ මූලික සිද්ධාන්තවලට ද පටහැනි බව චීනයේ අදහසයි. එසේම එය චීන – ඇමෙරිකා අගෝස්තු 17 ඒකාබද්ධ ප්‍රකාශනය ද ඇතුළුව ප්‍රකාශන තුනක් උල්ලංඝනය කිරීමක් බව ද චීනය පෙන්වා දී ඇත. නමුත් නැන්සි ඇවිලූ ගින්න නිමෙන පාටක් නම් නැත. යුක්‍රේන ගින්න නොව දැන් සැම දෙනා බලා සිටින්නේ දකුණු චීන මුහුදේ කවරක් සිදුවන්නේ ද යනුවෙනි. චීන විරෝධී භාරත මාතාවද මේ ගැන ඉතා උනන්දුවෙන් බලා සිටී. හම්බන්තොටට එන චීන නැව ගැනද මොවුන් කලබල වී ඇත්තේ එනිසාය. ආර්ථික අර්බුදය හමුවේ තවත් රාජ්‍යතාන්ත්‍රික අවුලක් ඇති කර ගැනීම සුදුසු නොවන නිසා ආණ්ඩුව මේ නැව ලංකාව පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා ඇති බව ප්‍රකාශ වේ. මේ ඉන්දීය බ්‍රාහ්මණවංශික නිලධාරීන් සතුටු කිරීමටද? කෙසේ නමුත් ඉන්දියාවට අවශ්‍ය ලෙස අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment