බැසිල්ගේ අයවැයට ජාතික අභියෝග ජයගත හැකිද?

110

ජාතික ආර්ථිකය අනතුරේය. තට්ටු මාරු ක‍්‍රමයට රට පාලනය කිරීම අසාර්ථකවී ඇති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ වහාම ආර්ථිකය ගොඩගැනීමට වැඩපිළිවෙලකට අවතිර්ණවිය යුතුය. දෙපාර්ශ්වයම ආර්ථිකය අනතුරට පත්කර ඇති බව සක්සුදක්සේ පැහැදිළිය. තවදුරටත් කල් මරමින් විලම්බීත දේශපාලන මෙහෙයුම් කිරීමට අවස්ථාවක් නැත. පාර්ලිමේන්තුව මෙයාකාරයෙන් ක‍්‍රියාත්මක රටක් අස්ථාවර කිරීමට ත‍්‍රස්තවාදය හෝ විදේශීය සතුරන් අවශ්‍ය නැත. දෙපාර්ශ්වයම එක් වී ශ‍්‍රී ලංකාව ආසියාවේ ‘ව්‍යාකුලත්වයේ කේන්ද්‍රස්ථානය’ බවට පත් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය-වැය කොවිඞ් ව්‍යසනයෙන් හෙම්බත් වී ඇති ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සෑහේද?

එම අය-වැය යෝජනා ජාතික ආර්ථිකය ලක්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට ප‍්‍රමාණවත් ද? කෘතහස්ත රාජ්‍ය නිලධාරියකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ශ්‍යාම් නුවන් ගනේවත්ත සමඟ කළ නොවැම්බර් 7.2021 ‘ඉරිදා දිවයින’ සම්මුඛ සාකච්ඡාවකට ශිර්ෂය ලෙස යොදා තිබුණේ ‘මේක පරිවර්තන යුගයකට අතවනන අයවැයක්…’

බැසිල් රාජපක්ෂ කවදත් දේශපාලන අභියෝගවලට මුහුණදීමට පසුබට නොවන මහජන නියෝජිතයෙකි. ඔහුගේ නායකත්වය යටතේ බිහිවූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) 2018 පෙබරවාරි පැවැත්වූ පළාත් පාලන ආයතන සඳහා වූ ඡන්දය, 2019 නොවැම්බර් ජනාධිපතිවරණය සහ 2020 අගෝස්තු මහමැතිවරණය ඉහළින්ම ජයගත්තේ එජාපය සහ ශ‍්‍රීලනිපය බිංදුවට බැස්සවීමෙනි. පාර්ලිමේන්තුවේ එජාප නියෝජනය ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර එකකි. ශ‍්‍රීලනිපයට ආසන 14 කි. එයින් 13 ක්ම පොහොට්ටු පක්ෂය හරහා පාර්ලිමේන්තුවට පත්වීම් ලැබූ මහජන නියෝජිතයන්ය. පොහොට්ටු පක්ෂය පාර්ලිමේන්තුව තුළ සහ පිටත ශක්තිමත්ය. නමුත් දේශපාලන ශක්තිය මත ජාතික ආර්ථිකය රඳා පවතින්නේ නැත. ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයක් යටතේ ඉදිරිපත් කළ අය-වැය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුය.

කොවිඞ් ව්‍යසනය ජාතික ආර්ථිකය බරපතළ අර්බුදයකට භාජනය කර ඇත. නමුත් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කොවිඞ් මත පැටවිය නොහැක. මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අය-වැය යෝජනා සැකසූ කණ්ඩායම ආර්ථිකය පිළිබඳ සැබෑ තත්ත්වය දනී. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (සභාපති මහාචාර්ය චරිත හේරත්), මුදල් කාරක සභාව (අනුර ප‍්‍රියදර්ශන යාපා) සහ ගිණුම් කාරක සභාව (මහාචාර්ය තිස්ස විතාරණ) 2020 අගෝස්තු පැවති මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා ජාතික ආර්ථිකය අර්බුදයට ලක්කර ඇති කරුණු කාරණා පැහැදිළිව පෙන්වා දී ඇත.

එම වාර්තා අනුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය විනයක් නැත. පාර්ලිමේන්තුව මූල්‍ය විනය ආරක්ෂා කර නැත. සමස්ත රාජ්‍ය අංශයම දූෂිත ක‍්‍රියාමාර්ගවලට යොමු වී ඇත. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය එකතුවී ක‍්‍රියාත්මක කර ඇති ‘මෙහෙයුම්’ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය දුර්වල වී ඇත. කිසිදු රජයක් අදවනතුරු මෙම තත්ත්වයට වගකිවයුතු කිසිවෙකුට නීති මාර්ගයෙන් කටයුතු කර නැත. දැවැන්ත මූල්‍ය පරිහානියට වගකිවයුතු කිසිදු මහජන නියෝජිතයකුට, රාජ්‍ය නිලධාරියකුට හෝ පෞද්ගලික අංශයේ ප‍්‍රධානියෙකුට කිසිදු ද`ඩුවමක් අද වනතුරු නැත. මෙහිදී නැවතත් අවධාරණය කළ යුතු වන්නේ මූල්‍ය විනය පිරිහීමට ඉඩ හැරීම හේතුවෙන් කොවිඞ් ව්‍යසනය ඇතිකළ තත්ත්වයට මුහුණ දීමට ජාතික ආර්ථිකයට ශක්තියක් නැති බවයි.

වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව? ජාතික ආර්ථිකය වනසන කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ක‍්‍රියාත්මක වන බව රහසක් නොවේ. නමුත් පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කළ සමස්තයක් ලෙස කිසිදු වංචාවකට, දූෂණයකට, අක‍්‍රමිකතාවයකට හෝ නොසැලකිලිමත්කම නිසා මහා භාණ්ඩාගාරයට කළ පාඩුවකට නිසියාකාරව කටයුතු කරන්නේ නැත. රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවල අභියෝගයට ලක්වෙන බවට පැමිණිලි කර ඇත්තේ මහාචාර්ය චරිත හේරත්ය. කථානායක මහින්ද යාපා අබේවර්ධන රාජ්‍ය මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූවලට යෝජිත නව ව්‍යවස්ථාවෙන් විසඳුම් සෙවීමට අවධානය යොමුකර ඇති බවයි. නමුත් රාජ්‍ය මූල්‍ය පරිපාලනය දුර්වල කිරීම ඒකාබද්ද මෙහෙයුමකි. දේශපාලන සහ නිලධාරී බලය රාජ්‍ය මූල්‍ය රිසිලෙස වනසන බව පැහැදිළිය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය විතාරණ 2021 ජුලි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම සභාවේ පළමුවන වාර්තාව අවධාරණය කරන රාජ්‍ය මූල්‍ය පරිපාලනය කඩා වැටීම අදහාගත නොහැක. රජයට අදායම් එකතු කිරීමේ වගකීම පැවරී ඇති රේගුව, දේශීය අදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුව තම රාජකාරිය සිතා මතා රාජකාරිය පැහැර හැරියාද? රජයට ලැබිය යුතු සම්පූර්ණ ආදායමින්, 90 % පමණ එකතු කර ගැනීමේ ක‍්‍රියාවලියට වගකිව යුතු වගවිය යුතු අදාළ අංශ තුනම තම රාජකාරිය කර නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මැතකදී අවධාරණය කළේ රේගුව විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයකු යටතට පත් කළත් තමන් බලාපොරොත්තුවූ තත්ත්වය ලබාගත නොහැකි වූ බවයි.

ජනාධිපතිවරයා නමින් සඳහන් නොකළත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වීම ලැබුවේ විජිත රවිප‍්‍රිය විශ‍්‍රාමික මේජර් ජෙනල්වරයාය. වන්නි සටන්බිමේ සිටි නිලධාරියෙකු වූ රවිප‍්‍රියට ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ තත්ත්වය රේගුව තුළ ඇතිකිරීමට නොහැකි වූයේ ඇයි? රේගුව මෙන්ම දේශීය අදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුව විමර්ශනයට භාජනය කළ යුතු වන්නේ මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු අදායම දේශපාලන, ව්‍යාපාරික සහ අනෙකුත් පුද්ගල අවශ්‍යතා (පෞද්ගලික දැන හැඳුනුම්කම් මත) දිගින් දිගටම අහිමි කරන තත්ත්වයක් තුළය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව සහ ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා ඇත්ත වශයෙන්ම යැවිය යුත්තේ නීතිපතිට, අල්ලස් සහ දූෂණ කොමිසමට, සහ පොලිස් මූලස්ථානයට බව අවධාරණය කළ යුතුය. කොවිඞ් ව්‍යසනයට එහා ජාතික ආර්ථිකයට දැරිය නොහැකි විනාශයක් ශ‍්‍රී ලංකාවේ තරු පහේ ‘ඩිමොක‍්‍රසිය’ තුළ සිදුකර ඇති බව පැහැදිළිය. සමස්ත ආර්ථිකයම ලංසුවට තබා මූල්‍ය ක‍්‍රමය හසුරුවන බව තේරුම් ගැනීමට අපහසු නැත.

ලැයිස්තුගත සමාගම්වලට 25% එක්වරක් පමණක් ක‍්‍රියාත්මක විශේෂ බද්දක් සහ මූල්‍ය සේවා ලබාදෙන ආයතන මත 3% වැට් මෙවර අයවැයෙන් පැනවීම විමසා බැලිය යුතුවන්නේ පාර්ලිමේන්තුවේ නොසැලකිල්ල, දේශපාලන අවශ්‍යතා සහ දූෂිත ඉහළ නිලධාරී පැලැන්තිය තම වාසිය සහ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග නොගන්නා තත්ත්වයක් යටතේය. ද්විත්ව කාර්ය වාහන ලියාපදිංචි කිරීමේදී රජයට අයවිය යුතු අදායම කූට ක‍්‍රියාමාර්ග හේතුවෙන් අහිමිවන බව ජාතික විගණන කාර්යාලය 2011 දී හෙළිදරව් කළ බව ගිණුම් කාරක සභාව පසුගිය ජුලි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ඇත (ඉංග‍්‍රීසි වාර්තාවේ 29 වන පිටුව). එම වාර්තාව අනුව දැනට රුපියල් බිලියන 1.5 (ලක්ෂ 1,500) අදායමක් මහා භාණ්ඩාගාරයට අහිමි කර ඇත. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව සහ රේගුව මෙම තත්ත්වයට වගකිව යුතු නොවේද? රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන්ව ගකිවයුතු පාර්ලිමේන්තුව ජාතික විගණන කාර්යාලය 2011 දී අවධාරණය කළ දූෂිත ක‍්‍රියාවට වහාම වට බැඳීමට ක‍්‍රියා නොකළේ ඇයි ? පාර්ලිමේන්තුව අසාර්ථකද? මෙවැනි පාර්ලිමේන්තුවක් කුමකටද?

මෙම දූෂිත ක‍්‍රියාව 2011 දී ජාතික විගණන කාර්යාලය පෙන්වා දුන් බව සැබෑය. ද්විත්ව කාර්යය වාහන ලියාපදිංචි කිරීමේදී රජයට අයවිය යුතු අදායම කූට ක‍්‍රියාමාර්ග අහිමි කිරීම කිරීම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තියක් වැළඳගත් දින සිටම සිදුවන්නට ඇත. නමුත් ජාතික විගණන කාර්යාලය වරද පෙන්වා දීමෙන් පසුවත් පාර්ලිමේන්තුව මෙම දූෂිත ක‍්‍රියාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පුදුමාකාරය. ජාතික ආර්ථිකය මරු තුරුලට යනතුරු පාර්ලිමේන්තුව, කමිටු පත් කරමින්, අභ්‍යන්තර පරීක්ෂණ කරමින් කල් මැරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද? ඇත්තවශයෙන්ම ජාතික අපරාධයකි. මෝටර් රථ දෙපාර්තමේන්තුව වාහන ලියාපදිංචි කිරීමේදී රේගුව විසින් නිකුත් කරනු ලබන අනුකූලතා සංකේත (එච්. එස්. කෝඞ්) නොසලකා කටයුතු කිරීම හේතුවෙන් අදාළ වාහන වෙනත් ස්වරූපයකින් ලියාපදිංචි කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු විශාල අදායමක් අහිමිවන බව රාජ්‍ය ගිණුම් පිලිබඳ කාරක සභාව අවධාරණය කර ඇත. මෝටර් රථ දෙපාර්තමේන්තුව මෙයාකාරයෙන් ක‍්‍රියා කරන්නේ ඇයි?

පාර්ලිමේන්තු සභා දිගින් දිගටම කරන හෙළිදරව් ගුජුබ්සාජනකය. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවක් ක‍්‍රියාත්මක කිසිදු රටක මෙවැනි තත්ත්වයක් තිබිය නොහැක. ජාතික ආර්ථිකයට අබමල් රේණුවක තරමක ප‍්‍රමානයකින්වත් තල්ලූවක් දීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව සහ ගිණුම් කාරක සභාව විමර්ශනයට ලක්කළ කිසිදු රාජ්‍ය ආයතනයකට අවශතාවයක් නැත. රාජ්‍ය අදායම ශක්තිමත් කිරීමට බැඳී සිටින ආයතන වගකීම් විරහිතව ක‍්‍රියාකර ඇති ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව ඉතාමත් හෙමින් කටයුතු කරන බව අවධාරණය කළ යුතුය. ටොයෝටා හයිලක්ස් ස්මාර්ට් කැබ්ස් 3000 ආනයනය කිරීමේදී නිසියාකාර බදු අය නොකිරීමෙන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 3 කි. නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව වාහන 10 ක් ආනයනය කිරීම මගින් රජයට කළ පාඩුව රුපියල් මිලියන 60 කි (රුපියල් ලක්ෂ 6000 කි).

රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශය පෞද්ගලික අංශය සහ එක්වී කර ඇති, කරමින් පවතින වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා සීමාවක් නැත. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව සහ ගිණුම් කාරක සභාව විගණකාධිපතිවරයාගේද සහාභාගිත්වයෙන් කළ විමර්ශණ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම ක‍්‍රියා නොකිරීම තේරුම්ගත නොහැක.

ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් ලිටෝ ගැස් (99% කොටස්) සහ ලිට්රෝ ටර්මිනල් (100%) 2020 වසරේදී රාජ්‍ය විගණනයට එරෙහිව අධිකරණයට යෑම අවධාරණය කරන්නේ කුමක්ද? ව්‍යවස්ථානුකුලව සියලූ මහජන මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගවිය යුතුය. නමුත් වසර දෙකක් අදාළ ආයතන දෙක රාජ්‍ය විගණනයෙන් පිට පැන්නේය. ඒ එවකට එහි සභාපති අනිල් කොස්වත්ත ගත් අධිකරණමය ක‍්‍රියාමාර්ග නිසාය. එම ක‍්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥවරුන් වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කණ්ඩායමට නායකත්වය දෙන රොමේෂ් ද සිල්වා සහ මුදල් මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධනය. ඕනෑම නඩු කටයුත්තකට පෙනී සිටීමේ අයිතිය උගත් නීතිඥවරුන්ට ඇත. එම අයිතියට අභියෝග කිරීමට කිසිවකුට නොහැකිය. නමුත් පාර්ලිමේන්තුවට තම වගකීම පැහැර හැරිය හැකිද? ලිට්රෝ රාජ්‍ය විගණනයෙන් පිට පැනීම මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් සාධාරණීකරණය කළ හැකිද?

මහපොළ අරමුදලට හිමිකාරීත්වය තිබූ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනය (ස්ලිට්) වංචනික ක‍්‍රියාදාමයක් තුළින් පෞද්ගලික අංශයට පවරා ගැනීමට එරෙහිව පොහොට්ටු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෑතකදී ගොනු කළේය. හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරන දූෂිත ක‍්‍රියාවලිය මහජන මුදල් කොල්ලකෑමක් නොවන්නේද? අදාළ ව්‍යාපෘතියට රජය ආයෝජනය කළ මහජන මුදල් ගිල්ල බහිරවයා කවුරුද? ස්ලිට් ආයතනය රජයේ හිමිකාරීත්වයෙන් වංචාකාරීව බැහැර කිරීම පාර්ලිමේන්තුවේ අවධානයටද මෑතකදී ලක්විය. පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ස්ලිට් ආයතනය නැවත රජයට පවරා ගැනීමට තමන් ක‍්‍රියාකරන බවට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මෑතකදී පොරොන්දු විය. එම පොරොන්දුව යථාර්ථයක් වේවිද?

මෙවර අය-වැය ඉරිරිපත් කළේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් යටතේය. චීන කාබනික පොහොර තොගයක් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ හබය කෙළවර වූයේ අදාළ ණයවර ලිපි නිකුත් කළ මහජන බැංකුවට තහනමක් පැනවීමෙනි. ඉන්දියාවෙන් ඇනවුම් කළ දියර පොහොර සඳහා රජය මුදල් ගෙවූ ආකාරය පාර්ලිමේන්තුව තුළ සහ පිටත චෝදනාවට ලක්විය. රජයට අයිති යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ කොම්පැනියට පැවරීම හේතුවෙන් ආණ්ඩුව අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇත. ගස් සැපයීමද එම කොම්පැනියට පැවරීමට ගිවිසුම්ගත වීම තත්ත්වය උග‍්‍ර කර ඇත. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ දුසිම් දෙකකට අධික මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ ගිවිසුමට එරෙහි වීම සුළුකොට තැකිය නොහැක. දේශීය සහ විදේශීය ණය පියවීම් ඉතාමත් අභියෝගාත්මක වී ඇති මෙම අවස්ථාවේ සමස්ත අර්බුදය කොවිඞ් ව්‍යසනය මත පැටවීම සැබෑ තත්ත්වය විකෘති කිරීමකි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සති ගණනාවකට ක‍්‍රියාවිරහිත කිරීම අවධාරණය කරන වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතිශය භයානක මූල්‍ය අර්බුදය පාර්ලිමේන්තුවේ අවධානයට යොමු විය යුතුය. කොවිඞ් ව්‍යසනය ජාතික ආර්ථිකයට කර ඇති හානිය විමසා බැලිය යුතු වන්නේ අනෙකුත් ගැටලූ ද අවධානයට කල් කරමිනි.

රටට හෙණ ගැහුවත් බලයේ සිටින රජයෙන් තමන්ට හිමිවන තනතුරු සහ මුදල් ඉපයීමට ලැබෙන අවස්ථා නිසා සියලූ වැරදි තීන්දු, තීරණ වෙනුවෙන් පෙනීසිටීමට සැදී පැහැදී සිටින කණ්ඩායමක් සිටී. පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මෙම කණ්ඩායම ක‍්‍රියාත්මක බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම කණ්ඩායමට වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද අයත්ය. මෙම තත්ත්වය පැහැදිලි කිරීමට දිය හැකි හොඳම උදාහරණය හිටපු එජාප මන්ත‍්‍රී නීතිඥ සුජීව සේනසිංහ 2015 පෙබරවාරි මස සිදුකළ මහා බැංකු බැඳුම්කර වංචාව කළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ වෙනුවෙන් ඔහු පොතක් පළ කළේය. මෙම ලියුම්කරුට ද එහි පිටපතක් ලැබීමට සැලසුවේය. රාජ්‍ය අමාත්‍යධුරයකින් පිදුම්ලැබූ එතුමාගේ ආණ්ඩුව දෙවන මහා බැංකු බැඳුම්කර වංචාව 2016 මාර්තු මාසයේ ක‍්‍රියාත්මක කළේය. එජාප ය මහා බැංකු වංචා යට ගැසීමට කළ හැකි සියල්ල කළේය. අවසන් පාර්ලිමේන්තුවේ ආසන 106 හිමිවී තිබූ එජාපය නායකත්වය දුන් කණ්ඩායම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර එකකට ජනතාව අද දැම්මේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වහාම පසු විපරමක් කළ යුතුය. නිවැරදි මාර්ගයට පැමිණිය යුතුය. තව දුරටත් කිසිදු දේශපාලන පක්ෂයට ඇස් බැන්දුම් මගින් ජනතාව රැවටිය නොහැක. සියලූම දේශපාලන පක්ෂ ජනතාවගේ අභිලාෂයන් සහ අවශ්‍යතාවයන් සපුරාලීමට අපොහොසත් වී ඇති බව අවධාරණය කළ යුතුය. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ‘බොරුවෙන්ම ඉදිරියට‘ යන ක‍්‍රමයක් බව පැහැදිලිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment