බැසිල්ට ආටිගලට රට යෑම තහනම් කරන ඉල්ලීම ඉවතට – කබ්රාල්ගේ තහනම දික් කරයි

182

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන්ට ලබන 2 වැනිදා දක්වා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනා ලෙසට හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (18) ප්‍රතික්ෂේප කළේය.

විදේශ ගතවීම වළක්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ නියෝගය ලබන 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට නැවත සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පසුගිය 8 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සිතාසි නිකුත් කර තිබූ නමුත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

සිය සේවාදායකයාට නිත්‍යානුකූල ආකාරයෙන් සිතාසි ලැබී නොමැති බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි නමුත් අධිකරණය මඟහැර යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ගුණතිලක මහතා කියා සිටියේය.

ජාත්‍යන්තර බැඳුම්කර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 500ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිදහස් කිරීමේ සිද්ධිය වී ඇත්තේ සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බවත් ඒ සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ බැසිල් රාජපක්‍ෂ හා එස්. ආර්. ආටිගල යන දෙදෙනා වන බැවින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම ඉල්ලා සිටින බව ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.

නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි, ඉරේෂ් සෙනෙවිරත්න, චරිත ගුණරත්න, චාන් ගොඩකුඹුර, අෂාන් නානායක්කාර, ගුණරත්න වන්නිනායක ඇතුළු නීතීඥ මණ්ඩලය සමග ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා පැමිණිල්ල නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment