බැසිල්ට රටෙන් යන්න බැරිවුණේ ඇයි?

875

● ජාත්‍යන්තර නීතිය යටතේ දූෂණ වංචාවලට අත්අඩංගුවට ගන්න හැටි
● එ.ජා. දූෂණ විරෝධී සම්මුතියට 2004 දී රනිල් වික්‍රමසිංහ අත්සන් කරලා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 11 වැනි දින විදේශ ගතවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගිය අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් පරීක්ෂා කර ආගමන විගමන කටයුතු සිදු කිරීමට කිසිදු ආගමන විගමන නිලධාරියකු හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ආපසු ගුවන්තොටුපළෙන් නික්ම ගිය බවට’ මාධ්‍ය විසින් වාර්තා කරන ලදි. මෙයින් පැහැදිලි වන්නේ මේ වන විටත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රටින් බැහැරව යෑම වැළැක්වීම කෙරෙහි මහජනතාව තුළ ඇති වී ඇති ආකල්පයයි. මෙම මහජනතාව කියන කොටසට රාජ්‍ය නිලධාරීන් ද ඇතුළත් වීම ඉතා සුවිශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකියි.

මෙවැනිම තත්ත්වයක් 1977 දී ඉන්දියාවේ ද උද්ගත වී තිබෙනවා. හදිසි නීතිය දඩමීමා කරගෙන ඉතා දරදඬු පාලනයක් ගෙන ගිය ඉන්දිරා ගාන්ධිගේ පාලනය 1977 බිඳ වැටී මොරාජි දේශායි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙමින් සිදු වූ දේශපාලන පෙරළියෙන් පසුව හිටපු අගමැතිනිය ගේ දේශපාලන පුත්‍රයා ලෙස සැලකෙන සංජය ගාන්ධිගේ බිරිඳ වන maneka gandhi විදේශගත වීම සඳහා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉන්දියාවේ ආගමන විගමන පාලකවරයා විසින් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇය විදේශ ගත වීම වළක්වනු ලැබුවා. මේ සම්බන්ධයෙන් maneka gandhi මහත්මිය විසින් ඉන්දියාවේ’ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනු ලැබූ අතර නඩුව විභාග කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය maneka gandhi මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය කිසිදු හේතුවක් නැතිව අත්හිටුවීමට ඉන්දීය ආගමන විගමන පාලකවරයා විසින් ගනු ලැබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළත්ව නැති එහෙත් ඉන්දීය ව්‍යවස්ථාවේ ඉතා හරවත් කොටසක් ලෙස පවතින නීතීන් වෙනස් කිරීම සඳහා ඇති “අධිකරණමය පුනරීක්ෂණ බලය” නොහොත් judicial review නිවැරදිව ක්‍රියාත්මක කරමින් ඉන්දීය ආගමන විගමන පාලක පනත යටතේ ආගමන විගමන පාලකවරයා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් ඔහුගේ අභිමතයට අත්හිටුවීම සම්බන්ධව තිබූ නීති එම පනතින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම නඩු තීන්දුව “maneka gandhi ට එරෙහිව ඉන්දියානු රජය” (Maneka Gandi Vs’ State of India) ලෙස ඉතා ප්‍රබල නඩු තීන්දුවක් ලෙස අදටත් අධිකරණ ක්ෂේත්‍රය විසින් සලකනු ලබනවා.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ මල්වාන නඩුවෙන් ඔහුව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබෙනවා. එහෙත් මහජනතාව ඉතා හොඳින්ම දන්නවා මෙම නඩුවෙන් ඔහු නිදහස් වීමට කටයුතු කළේ මුල් අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් පොලිසියට කරනු ලැබූ ප්‍රකාශ සියල්ල පසුව නැවත බලයට පැමිණි රාජපක්ෂවරුන්ගේ රෙජීමය යටතේ වෙනස් කර ගැනීමට ඔවුන් සමත් වීම නිසා බව. එසේම එම වකවානුවේ දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු විශාල සංඛ්‍යාවක් කොමසාරිස්වරුන් තිදෙනකු විසින් අත්සන් කළ යුතුව තිබූ චෝදනා පත්‍රය එක් කොමසාරිස්වරයකු විසින් පමණක් අත්සන් කිරීමේ තාක්ෂණික දෝෂය මත නිදහස් කරනු ලැබුවා. එහෙත් මාධ්‍ය මගින් මේ සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය. අල්ලස් කොමිසම විසින් දේශපාලනඥයන්ට එරෙහිව දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පවරනු ලැබූ නඩුවලින් එම දේශපාලනඥයන් නිදහස් වූ බවයි. මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් මතුවෙනවා. මෙම නඩු පවරනු ලැබූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නීති තත්ත්වය නොදැන මෙම නඩු පැවරුවාද? එහෙම නැත්තං තාක්ෂණික දෝෂයක් මතුකර චූදිතයන්ට නිදහස් වීමේ අවස්ථාව ලබා ලබාදීම සැඟවුණු අරමුණක් මත මෙම නඩු පැවරුවාද? යන කරුණු දෙකයි. කෙසේ වෙතත් ඒ සියලුම නඩුවල තාක්ෂණික දෝෂ ඉවත් කර නැවත නඩු පැවරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තු සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත මේ අවස්ථාවේදී පැවරෙන අතර ඔවුන් එය ඉතා ඉක්මනින් ඉටු කරනු ඇතැයි මහජනතාව බලාපොරොත්තු වෙනවා.

මෙහි දී මතුවන තවත් ඉතා වැදගත් කරුණක් තිබෙනවා විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ රටවල්වල සිදුවන ජාතික ධනය කොල්ලකෑම් සහ දේශපාලනඥයින් විසින් එම ධනය විදේශ රටවලට රැගෙන යෑම වැළැක්වීම අරමුණු කොට 2002 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය” එළිදක්වනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 192 අතරින් රටවල් එකසිය අසූ නමයක් මේ වන විටත් මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන් බවට පත් වී තිබෙනවා. 2004 වර්ෂය එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකු කරමින් සම්මුතිය අත්සන් කරනු ලැබුවා. සම්මුතියට ඇතුළත් වී වසර දහ අටක් ගත වන මේ අවස්ථාව වන විටත් එම සම්මුතියේ ඇතුළත් නෛතික කරුණු මේ රටේ නීති පද්ධතියට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමට කිසිදු රජයක් සමත් වී නැහැ. එයින් ගම්‍ය වන ප්‍රධාන කරුණ නම් කිසිදු දේශපාලනඥයකු මෙම සම්මුතියට ඇතුළත් කරුණු දේශීය නීතියක් බවට පත් වනවාට ඇති නොකැමැත්ත නොවේද? වර්තමාන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා එම සම්මුතිය දේශීය නීතියක් බවට පත් කිරීමට අදාළ පනත කැබිනට් මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය කළත් එයින් පසු රට තුළ උද්ගත වූ ව්‍යාකූල තත්ත්වය මත එම කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද නැද්ද යන්න මේ වන විටත් ප්‍රශ්න සහගත තත්ත්වයක්. එම නිසා ඉදිරියේ දී බලයට පත්වෙන රජයේ ප්‍රමුඛම කාර්යයක් විය යුත්තේ එම පනත දේශීය නීතියක් බවට පත් කිරීමට පාර්ලිමේන්තුව තුළින් සම්මත කර ගැනීමයි. ඒ සඳහා සියලුම දේශපාලනඥයන් පෙළඹවීම මහජනතාව සතු ප්‍රධාන කාර්යයක් කොට සැලකෙනවා.

පනත සම්මත කරගැනීමෙන් පසු මෙරට සිදුව ඇති ප්‍රධාන ගණයේ දූෂණ වංචා සම්බන්ධ විමර්ශන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කර දේශීය අධිකරණයන් තුළ එම කරුණු සනාථ කිරීම අප විසින් කළ යුතුව තිබෙනවා. එම ක්‍රියාදාමයෙන් පසුව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් දූෂණ විරෝධී සංවිධානයේ සහාය ඇතිව විදේශ රටවල සඟවා ඇති දේශීය සම්පත් සොයා ගැනීමේ කාර්යය ආරම්භ කළ යුත්තේ. ඒ සඳහා කැපවුණු වෙනම සංවිධාන මේ වනවිටත් බිහිවී තිබෙනවා. මෙම සම්මුතියේ ප්‍රධානම කරුණක් වන්නේ එම සම්මුතිය අනුව කටයුතු සිදුවන්නේ රාජ්‍යයන් අතර එම නිසා ඉදිරියේදී බලයට පත්වන රජය මෙම කටයුතු සම්බන්ධව ඉතාම උනන්දුවෙන් සහ අවධානයෙන් කටයුතු කරනු ඇතැයි අප සැම බලාපොරොත්තු වෙනවා. එසේ වුවහොත් පමණයි දශක ගණනාවක් තිස්සේ දේශපාලුවන් විසින් සූරා කන ලද මෙරට ජාතික ධනයෙන් නැවතත් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන්නේ.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment