බෑග් බර සහ ජීවන බර

362

පාසල් පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීන්දුවක් ගෙන තිබේ. ඊට අදාළ චක්‍ර ලේඛය ද මේ වන විට නිකුත්කර ඇත. ඉහත සඳහන් තීන්දුව පාසල් දරුවන්ගේ හිතට මෙන්ම හිසටද ලොකු සහනයක් වනවා ඇත. මන්ද ඇතැම් දරුවෝ පොත් බෑග් හිස උඩ තබාගෙන යනවාද අප දැක තිබේ. ඉහත සඳහන් චක්‍ර ලේඛයට සමගාමීව ජීවන බර අඩු කිරීමටද ආණ්ඩුව තීන්දුවක් ගෙන චක්‍ර ලේඛයක් නිකුත් කළොත් එය ජනතාවගේ මහත් සතුටට හේතුවනවා ඇත. ජීවන බර අඩු කිරීමේ තීන්දුව මේ ආණ්ඩුව බලයට එන දවසේ සිටම ගත්තේය. එහෙත් එකම අඩු පාඩුව වූයේ එයට අදාළ චක්‍රලේඛය නිකුත් කරගැනීමට බැරි වීමය. සමහර චක්‍රලේඛ මළාට නිකුත් කිරීමට බැරි ය. ජීවන බර අඩු කිරීමේ චක්‍රලේඛයද එවැන්නකි. විවිධ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම සඳහා ආණ්ඩුව විටින් විට ගැසට් නිවේදන නිකුත් කරනු ලැබේ. එහෙත් ඉතා කෙටි කාලයක් තුළ ගැසට් නිවේදනය යට යන අතර භාණ්ඩ මිල නැවතත් තිබුණු තැනටම පත්වේ. මේ සඳහා ඇති හොඳම උදාහරණය බිත්තර මිලය. බිත්තර මිල අඩු කිරීම සඳහා ආණ්ඩුව අවස්ථා ගණනකදීම අණ පනත් නිකුත්කර ඇත. එහෙත් කිකිළියක් කෙකර ගාන කාලය තුළ බිත්තර මිල නැවතත් වැඩිවේ. එවිට ආණ්ඩුව කරන්නේ වැඩේ අත්හැර දැමීමයි. පොල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතී. එහෙත් එම මිල පහළ දැමීමට ක්‍රමයක් නැත. හරියාකාර නිෂ්පාදනයක් නැති රටක බඩු මිල පහත දැමීමට නොහැක. මේ නිසා ගැසට් සහ චක්‍රලේඛ වලින් තඹ සල්ලියක වැඩක් නැත. ඉන්දියාවේ නීතියට අනුව පොත් බෑගයක බර ළමයකුගේ මුළු බරින් 10% නොඉක්මවිය යුතුය. ලංකාවේද ඇත්තේ මේ හා සමාන නීතියකි. එහෙත් දැනට මේ රටේ පාසල් ළමයින්ගේ පොත් බෑගයක බර ළමයාගේ මුළු බරට සමාන වන අවස්ථා ඇත්දැයි අපට සැක සිතේ. ආණ්ඩුව පොත් බෑගයේ බර අඩු කිරීමට යන්නේ එදිනෙදා ලියන කියන පොත් පමණක් පාසලට ගෙන ඒමට ළමයාට ඉඩ දීමෙනි. මෙවිට ටොන් ගණන බර පෙළ පොත් ගෙන ආ යුතු නැත. යුරෝපයේ දියුණු රටවල මේ ආකාරයෙන් පෙළ පොත් පාවිච්චියක් නැත. අවශ්‍ය පෙළ පොත්වල පිටපත බැගින් පන්ති කාමරයේ තිබෙන අතර ඒවා පාඩම අවස්ථාවේදී දරුවන්ට බෙදා දෙනු ලැබේ. ලංකාවේ තත්ත්වයට අනුව පෙළ පොත ළමයා සමගම පාසල් යෑම් ඊම් කරයි. මේ අනුව වාර විභාග සහ වාර අවසාන විභාගවලට ඉදිරිපත් වීමට පෙළ පොත් වලටද පුළුවන.

ලංකාවේ පාසල් දරුවාගේ බෑග් එක තුළ නැත්තේ මව, පියා, වංගෙඩිය සහ මෝල් ගහ පමණි. ඊට අමතරව සියලු දේ මේ තුළ ඇත. පෙළ පොත් නිකන් දෙන නිසා ලබාගැනීමට හැකි වුවද ලියන පොත් සල්ලිවලට ගත යුතුවේ. පිටු වැඩි එක්සයිස් පොත් ගැනීමෙන් ආර්ථික ලාභයක් තිබෙන නිසා දෙමාපියෝ නිතරම එම පියවරට යොමුවෙති. මෙහි ප්‍රතිඵලය වන්නේ පාසල් බෑගය පොත් සාප්පුවක් තරමටම බර වීමය. මේවා ඔසවාගෙන යෑමට දරුවන්ට ශක්තියක් නැත. විශාල පොත් බෑග් සහිත දරුවන් රැඳී සිටින බස් නැවතුම්පළ දුටු විට ප්‍රයිවට් බස්කාරයෝ එම බස් හෝල්ට් මගහැර යති. විශාල බෑගයක් සහිත ළමයකු යනු දෙදෙනකුගේ ඉඩය. බස් එක පිරුණු පසු බෑගයේ විශාලත්වය නිසා පහසුවෙන් බැස ගැනීමට දරුවන්ට නොහැක. මේ නිසා ප්‍රයිවට් බස් එකේ සිටින කොන්දොස්තර සහ ඩ්‍රයිවර්ගේ ද්වේශයට පාසල් ළමෝ ලක්වෙති. ලංකාවේ පොදු ප්‍රවාහනය තවමත් කිසිදු ප්‍රමිතියකට නැත. කොන්දොස්තරලා දරුවන්ට කතා කරන්නේ ඉතාම පහත් ලෙසිනි. මෙවැනි කට වාචාලයකු එළියට ඇද හොම්බ තැලෙන්නට පහරදීමට හැකි නමුදු එතැන් සිට එම රූට් එකේ ප්‍රයිවට් බස් වර්ජනය කරනු ලැබේ. ප්‍රයිවට් බස් කාරයාටද හැමදාමත් වර්ජනය අල්ලාගෙන සිටීමට නොහැක. ඔවුහු ෆිනෑන්ස් කොම්පැනියට ෆිනෑන්ස් ගෙවිය යුතුය. මේ නිසා දෙතුන් දිනකින් වර්ජනය අත්හැරීමට සිදුවන නිසා එමගින් වෘත්තීය සමිති ව්‍යාපාරයද හෑල්ලුවට ලක්වේ.

ලංකාවේ පාසල් දරුවා නිදහස් අධ්‍යාපනයේ මුල සිටම හරියට කෑවේ බිව්වේ නැත. ඔහු උදයට පාසල් එන්නේ කෑම නොකාය. මේ නිසා එසෙම්බ්ලි එකේදී ඔහු ක්ලාන්තව බිම ඇද වැටේ. සමහරවිට මේ ළමයින් දිවා ආහාරය ගන්නේ ගෙදර ගොස්ය. ටියුෂන් තිබෙන නිසා එම වේලද මගහැරී යයි. ලංකාවේ නාගරික ළමයාගේ ආහාරය පළමුවත් මාළු පාන්ය. දෙවනුවත් මාළු පාන්ය. තෙවනුවත් මාළු පාන්ය. මෙය එක්දහස් අටසිය ගණන්වල මැද භාගයේ එංගලන්තයේ කම්කරු පන්තිය හා සමාන වෙයි. කාල් මාක්ස් කියන පරිදි එක්දහස් අටසිය ගණන්වල එංගලන්ත කම්කරු පන්තියේ ආහාරය. පළමුවත් අර්තාපල්ය. දෙවනුවත් අර්තාපල්ය. තෙවනුවත් අර්තාපල්ය. අර්තාපල් නමැති කාබෝහයිඩ්‍රේට් ගුලියෙන් සිරුර තර වුණාට මොළය තරවන්නේ නැත. මොළය තර නැති ජාතියකින් රටකට වැඩක් නැත. ලංකාවේ වතුකරයේද මේ ප්‍රශ්නය තිබිණ. මෑතක්වනතුරු වතුකරයේ ආහාරය පළමුවත් පාන් පිටි රොටීය. දෙවනුවත් පාන් පිටි රොටීය. තෙවනුවත් පාන් පිටි රොටීය. මේ රටේ ප්‍රශ්න ගණනාවකට මුල වන්නේ ජීවන වියදමයි. ජීවන වියදම අඩු වුණොත් පොත් බෑගය පමණක් නොව බස් හෝල්ට් එකේ සිටින ගුරුවරයෙක්ද කරේ තබාගෙන යෑමේ හැකියාවක් ළමයකුට ඇතිවිය හැක. අපේ මේ සමහර උදාහරණ යථාර්ථය වශයෙන් ගෙන නොගෙන න්‍යාය පමණක් ලෙස ගෙන අවබෝධ කරගන්නා ලෙස අපි පාඨකයන්ගෙන් ඉල්ලමු. ඇත්ත හැමවිටම අතට අසු නොවේ. එසේ කියා ඇත්ත බොරු වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment