බෑ කියලා බැරිය මලේ නොගියොත් රට යළි ඇවිළේ

198

අප සියලු දෙනාම පාහේ මේ වනවිට සිටින්නේ අතිශය සංකීර්ණ වූද නාට්‍යමය උත්ප්‍රාසයකින් යුතුව ප්‍රබලව ගලා යන්නා වූද දේශපාලන රූපමය චිත්‍රයක් නරඹමින්ය. ඒ වූ කලී ගාලු මුවදොර විරෝධතාකරුවන් විසින් උඩු යටිකුරු කරන ලද සම්මත දේශපාලනයට එල්ල වූ දැවැන්ත අභියෝගයකි. එහි කම්පනයට හසුවූ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවත්, 20 වැනි සංශෝධනයෙන් යළි බලගන්වන ලද ජනාධිපතිවරයාත් හසුවී අසරණව සිටිති. මේ තරුණ විරෝධතාකරුවන්ගේ තේමාව වී තිබෙන්නේ රාජපක්‍ෂවරුන් ගෙදර යා යුතුය යන්නයි. ඔවුන්ගේ ඒ සටන් පාඨය මෙරටේ ඈත ගම් නියම්වල ජනතාව මෙන්ම ලංකාවෙන් පිටත විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ ද අතට ගෙන සිටිති. නිර්පාක්ෂික තරුණ තරුණියන් සමූහයක් එක්ව ලංකාවේ පාලකයන්ට මෙවන් අභියෝගයක් එල්ල කළ අවස්ථාවක් ද නැත. ප්‍රචණ්ඩත්වය හා කලහකාරීත්වය බැහැර කරමින් ඇරඹුණු මේ ප්‍රවණතාව පැහැදිලිවම දේශපාලන හරයකින්ද යුතුය. එහෙත් ඒ අප දිගු කලක් නඩත්තු කළ ජරපත් දේශපාලනයට ඉඳුරා වෙනස් වූවකි. නිසැකයෙන්ම එය සාධනීය දේශපාලන ප්‍රබෝධයකි. තාරුණ්‍යයට අමතරව වැඩිහිටි පරපුරෙන් ද එයට අගනා ප්‍රතිචාර ලැබෙමින් තිබේ. සුපිරි බලැති ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකේ ජනවරමින් ඉදිමුණු ඔළුගෙඩි සහිත ඇතැම් මැති ඇමැතිවරුනුත් ඒ විරෝධතා මෙහෙයුම අභියස පසුබාමින් සිටිති. රාජපක්‍ෂ කඳවුරට මෙවන් අභියෝගයක් එල්ල වනු ඇතැයි ද ඔව්හු කිසි විටෙක නොසිතූහ. නොපැතූහ.

ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිවනු ඇතැයි සිතීමට තරම් ශක්තිමත් හේතු හා දේශපාලන ප්‍රතිචාර ද ගාලු මුවදොර විරෝධතාවට ලැබී තිබෙන බව ඉතා පැහැදිලිය. විරෝධතා මාරුතයට හසු වූ ආණ්ඩුවට තම කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට සිදු විය. අනතුරුව පත්වූ කැබිනට්ටුව නියෝජනය කිරීම සඳහා එකම රාජපක්‍ෂවරයකු හෝ තෝරා නොගත් අතර මුල් කැබිනට්ටුවෙහි සිටි චමල්, බැසිල්, නාමල් මෙන්ම රාජ්‍ය ඇමැතිවරයකු වූ ශෂීන්ද්‍රත් ඉවත් කිරීමට ද සිදුවිය. රාජපක්‍ෂ සංයුතිය අඩු කරමින් එතෙක් සිටි ප්‍රබල ඇමැතිවරුන් ඉවත් කළත් එයින් ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ ප්‍රතිචාර අඩු නොවීය. මේ වනවිට ආණ්ඩුව ඇතුළේ තිබුණු මතභේද පවා උත්සන්න වෙමින් තිබුණ.ි ආණ්ඩුවේ 2/3ක බලය සුළු බහුතරයකටත්, ක්‍රමයෙන් එයත් දියවී යෑමේ අනතුරක්ද විය.

බෑ කියලා බැරිය මලේ නොගියොත් රට යළි ඇවිළේ

ගෝඨාගෝගම ලෙස ඇරඹුණු විරෝධතාව වෙනම අරලියගහ මැඳුර අභියසට ද ඇදී ගියේය. රටේ දේශපාලන මෙන්ම රාජ්‍ය කේන්ද්‍ර දෙකම විරෝධතාකරුවන්ගේ නොයෙක් ප්‍රතිචාර ඉවසා සිටිය යුතු අසරණ විලාසයකට ද පත්විය. අරලිය ගහ මැඳුර අභියස වහා ගිනි ඇවිළෙන සුළු වාතාවරණයක් ද විය. එහෙත් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීම කාගේත් භාග්‍යයක් විය. එසේ වුවද ගාලු මුවදොර විරෝධතාවට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද නොහැකි විය. දවසින් දවස උත්සන්න වන ගාලු මුවදොර විරෝධතාවට අමතරව ශීඝ්‍රයෙන් ගරා වැටෙන සමාජ ආර්ථිකයේ පීඩාවන් ද ජන හිස මතට කඩා වැටෙමින් තිබේ. කිලෝ මීටර් ගණන් දිග ඉන්ධන හා ගෑස් පෝළිම් මෙන්ම නූල කැඩී ගිය සරුංගලයක් මෙන් ඉහළ යන බඩුමිලද ආණ්ඩුවට පාලනය කරගත නොහැකි විය. මැති ඇමැතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිට පවා ජනතා උද්ඝෝෂණ පැතිර ගියේය. ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය උග්‍ර වූ අතර ජනතාවගේ ජීවිත රටාව අතිශය ශෝචනීය ලෙස අවුල් වී ගියේය. මේ සියල්ල විශ්ලේෂණය කළ වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රමුඛ විවිධ පිරිස්වල අවධාරණය වූයේ ද මේ අර්බුදයට පළමුව දේශපාලන විසඳුමක් අවශ්‍ය බවය. ඒ දේශපාලන පිළිතුර රාජපක්‍ෂවරුන් නොමැති තාවකාලික භාරකාරත්වයක පත් කළ යුතු බවද යෝජනා විය. එහෙත් රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය වූයේ විරෝධතාකරුවන්ගේ අරගලයේ තේමාව අමතක කර එයට වෙනත් ඇස්බැන්දුම් කර ජාම බේරා ගැනීම බව පෙනුණි. සර්ව පාක්ෂික සහභාගිත්වය සහිත පාලනයකට මාරු වීම තම දේශපාලන සෞඛ්‍යයට වඩාත් හිත කර බවද ඔවුන්ට පෙනුණි.

ගාලු මුවදොර විරෝධතාකරුවන් ඒ සර්ව පාක්ෂික පාලනයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර ඔවුන් අවධාරණයෙන් කියා සිටියේද ජනාධිපතිවරයා – අගමැතිවරයා මෙන්ම සමස්ත පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉවත් වී ගෙදර යා යුතු බවය. තරුණයන්ගේ එම විරෝධය, පිළිකුල, කෝපය මේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි අඟවන සියලුම පාලකයන්ට අතිශය සාධාරණ ප්‍රතිචාර ලෙස අපි දකිමු. රාජපක්‍ෂ පවුල්වාදය මෙන්ම ඊට පෙර හා පසුව ද මේ රට නිරයක් බවට පත් කළ අශිෂ්ට අධම දේශපාලන සංස්කෘතික විකෘතියට ඒ සියල්ලෝම වගකිවයුතු වෙති. 225 දෙනාම යා යුතුය යන්න පිළිබඳව සාපේක්‍ෂ වශයෙන් විමසා බැලිය යුතුය. මක්නිසාද යත්? උද්ගතව තිබෙන මේ අර්බුදය මෙම පාර්ලිමේන්තුවේ සාමූහික එකඟත්වයකින්ම විසඳා ගතයුතු හෙයිනි.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අර්බුදයට මැදිහත්වීම හැඳින්විය හැක්කේ ඓතිහාසික පියවරක් ලෙසය. මහනාහිමිවරුන්ගේ යෝජනාවලින් පවා මහින්ද අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන්ව ඇත. මහින්ද යනු මෙරටේ ජාතික සංස්කෘතික වටිනාකම් අගය කළ නායකයකු ලෙස පිළිගැනීමට ලක්ව සිටින්නෙකි. මල්වතු අස්ගිරි ප්‍රමුඛ ඉහළම බෞද්ධ කේන්ද්‍රවලින්ද මහින්ද අගමැතිවරයාගේ ශාසනික සේවය ඇගැයීමට ලක්ව තිබේ. එසේවුවද මේ අර්බුදයේදී අගමැති මහින්ද ඉවත්විය යුතුය යන යෝජනාව ඒ මහනාහිමිවරු අගතියෙන් තොරව ඉදිරිපත් කළහ. එහෙත් අවාසනාවකට මෙන් ඔහු එයට සෘජුව ප්‍රතිචාර දක්වා නැත. මහනාහිමිවරුන්ට ගාලු මුවදොර විරෝධතාව හා ඒ තාරුණ්‍යයේ මනස පිළිබඳ ඉතා නිවැරදි අවබෝධයක් නොවී නම් එබඳු යෝජනාවක්ද නොකරනු ඇත. අද මහින්ද අගමැතිවරයාට එරෙහිව සංඝසම්මුතියෙන් ඇතිකරගත් පොදු එකඟතාව අනුව කෙරෙන ප්‍රතිචාර දැක්වීමකට ද සූදානම්ය. එය මෙරටේ බෞද්ධ මහනාහිමිවරුන් ඓතිහාසිකව ගන්නා ලද පියවරක.ි මහාවංශයේ ද එබඳු සංඝ සම්මුතිවලට යටත්ව රාජ්‍යත්වය පවා අහිමි වූ රජවරුන් ගැන සඳහන් වේ.

දාඨෝප තිස්ස රජුට මහා සංඝයා විසින් ‘පත්තනි කුජ්ජනි කර්මය’ පැනවූ බව මහාවංශය කියය.ි අපේ මහනායක හිමිවරුන්ගේ උපදේශ – අනුශාසනා නොතකා ක්‍රියා කිරීමට මෙරටේ පාලකයන්ට හැකිද? කුමක් වුවත් මේ මොහොත වනවිට දේශපාලනඥයන්ට මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ද අවසර නැත.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්ද ප්‍රකාශ කර ඇත්තේ රාජපක්‍ෂ පාලනය අසාර්ථක බවත් ඔවුන් ඉවත්ව යා යුතු බවත්ය. එසේම මහනාහිමිවරුන්ගේ යෝජනාව අනුමත කරන බව කාදිනල්තුමා ද ප්‍රකාශ කර තිබේ. දින කීපයකට පෙර මල්වතු මහනාහිමියන් බැහැ දුටු ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ කීපදෙනෙක්ද උන්වහන්සේගේ මැදිහත්වීම අගය කළහ. නීතීඥවරුන්ගේ සංගමය ද මහින්ද අගමැති ඉවත්ව නව අන්තර්පාලනයක් මගින් රට ස්ථාවර කර මහමැතිවරණයකට යා යුතු බව යෝජනා කර තිබේ. සැබැවින්ම මෙම රාජපක්‍ෂ පාලනය සමගම මෙම ව්‍යවස්ථාව ද වෙනස් කළ යුතු බවත් ඊට පෙර 20 වැනි සංශෝධනය අහෝසි කර 19 බලගැන්විය යුතු බවත් නීතීඥ සංගමය අවධාරණය කර ඇත. එහෙත් මහින්ද අගමැතිධුරය හැරයෑමේ සූදානමක් නැති බව පෙනේ. ඉකුත් බදාදා (04) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන ආරංචිමාර්ග දක්වා තිබුණි. පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන පැහැදිලිවම ප්‍රකාශ කළේ එවැන්නක් සිදු නොවන බවය. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් කීවේද තම පක්‍ෂයෙන් මහින්ද හැර වෙනත් නමක් අගමැති ලෙස ඉදිරිපත් නොකෙරෙන බවය.

බැසිල් මෙම ප්‍රකාශය කර තිබුණේ ද විමල්, උදය ඇතුළු දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවකින් ද පසුවය. ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අරගලයේදී විමල් හා උදය දෙදෙනාගේම දැඩි හා නිර්දය විවේචන හමුවේ තිරය පසුපසට ගිය බැසිල්ට යළිත් තම ප්‍රතිවාදීන් දිනාගත හැකි වී තිබෙන බවද පෙනේ. එහෙත් දවසින් දවස උග්‍රවන රාජපක්‍ෂ විරෝධී රැල්ල මැඬලීමට හෝ එය ආපසු හැරවීමට හෝ නොහැකි බවද දැනට තිබෙන දේශපාලන යථාර්ථය. මේ දේශපාලන විරෝධය තවත් තීව්‍ර කරන සිදුවීමක් ද දැන් ජනතාව අභියස තිබේ. ඒ දූෂණ විරෝධී හඬ සංවිධානය ඉකුත් 04 වැනිදා කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී කරන ලද අනාවරණයකි. ජ. වි. පෙ නායක අනුර කුමාරගේ ඒ දූෂණ හෙළිදරව්වේදී රාජපක්‍ෂවරුන්ට මෙන්ම වෙනත් දේශපාලනඥයන් කීප දෙනකුට ද චෝදනා නැඟුණ.ි රාජපක්‍ෂ පවුලේ යෝෂිත, නාමල්, බැසිල් හා නෑයන් කී දෙනෙකුගේ ද අයථා ගනු දෙනු පිළිබඳ වාර්තා, ලිපිගොනු ඉදිරිපත් කිරීමට අනුර කුමාර පසුබට නොවීය. ඊට අමතරව විපක්‍ෂයේ සජිත්, කිරිඇල්ල, රාජිත ගැන ද දූෂණ චෝදනා නැඟුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල හා නිමල් සිරිපාල ද ඒ චූදිත ලැයිස්තුවට ඇතුළත් විය. තිරු නඩේෂන් හා කබ්රාල්ගේ ක්‍රියාකාරකම් ගැන ද අනුර කරුණු දැක්වීය. මෙහිදී දූෂණ ගනුදෙනු 560ක් පමණ තිබුණත් එයින් 163ක් ලිපිගොනු අනාවරණය කරන බව ද ජ. වි. පෙ. නායකයා සඳහන් කළේය.

මේ දූෂණ චෝදනා තහවුරු කිරීමේ වගකීම ජ. වි. පෙට පැවරෙන බව සැබෑය. දැනටමත් කීපදෙනෙක් ම ඒවා අසත්‍යය හා පදනම් විරහිත බවද කියා සිටිති. කුමක් වුවත් අපේ දේශපාලනඥයන්ට මෙබඳු දූෂණ චෝදනා එල්ල වීම අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයන්ට සිය හෘදය සාක්ෂියට එකඟව මේවා ගැන උත්තර බැඳීමට ද සිදු වනු ඇත. මන්ත්‍රීකම, ඇමතිකම දේශපාලන වරප්‍රසාදයක්, බලපත්‍රයක් ලෙස භාවිත කරන අලජ්ජී පුද්ගලයෝ ද බහුලව සිටිති. ඒවා භාවිත කරමින් මහා ධනස්කන්ධයක් උපයා ගත් අය ද සිටිති. හිටපු විගණකාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේ ද මේ වරප්‍රසාදිත දේශපාලන ක්‍රමයයි. විගණනයට යටත් නැති නීතියේ සිදුරුවලින් රිංගා යන දේශපාලන තක්කඩියන්ට උචිත දේශපාලන ව්‍යාපාරයක් අද නිර්මාණය වී තිබේ. ගාලු මුවදොර විරෝදතාකරුවන් පුන පුනා කියන්නේද මේ අශීලාචාර දේශපාලන ක්‍රමය අහෝසි කළ යුතු බවය. නීතියට යටත් නැති ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ශිෂ්ට සමාජයකට අවශ්‍ය ද? සත්තකින්ම මේ ජරාජීර්ණ ක්‍රමය ජේ. ආර්. ජයවර්ධන විසින් සමාජ ගතකරන ලද්දකි. එම විනාශයේ බරපතළම යුගයට රට ගමන් කරමින් සිටියි. රාජපක්‍ෂ ආණ්ඩුවට එයට පිළිතුරු නැති බව තරුණයෝ දැඩිව කියා සිටිති. මේ ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යා යුතු නැති බව ඔව්හු මොර ගා කියති. ඔවුන්ගේ අණසකට යටත් වූ රට භාර කළ හැක්කේ කාටද? පාර්ලිම්න්තුව තුළ ඒ සඳහා යෝජනා කළ හැක්කේ කවරෙක්ද? ගාලු මුවදොර විරෝධතාකරුවෝ මේ යථාර්ථය දකිති. මේ දේශපාලන කුණුපය නඩත්තු කරන දේශපාලන පංචස්කන්ධවලින් වැඩක් නැතැයි ඔවුන් කරන විග්‍රහයට පදනමක් තිබේ. ඒ විරෝධතාව අද ගම් නියම්ගම්වල සාමාන්‍ය ජනතාව ද අන්තර්ඥානයෙන් වටහා ගෙන සිටිති. මර්දනයෙන්, තර්ජනයෙන් ගර්ජනයෙන් ඒ අතීත, අදීන පිවිතුරු යෞවනයේ අරගලය මැඬලිය නොහැකි බව අද නීතික්‍ෂේත්‍රයේ බහුතරය විවෘතව ප්‍රකාශ කරති. ඔවුහු ඒ තරුණයන් වෙනුවෙන් යුක්තිය උදෙසා මැදිහත් වෙති. පොලිසියේ අවංක මහත්වරු ද නීතියේ මුරදෙවිවරු ද මේ යෞවනත්වය හා බැඳුණු දේශපාලනය නිවැරදිව වටහා ගෙන සිටිති. කලාතුරකින් පොලිස් පොල්ලක්, වෙඩිල්ලක් ක්‍රියාත්මක වුවත් අදත් ගාලු මුවදොර සටන සාමයේ පීලි පැන ගිය බවක් කිව නොහැක. එහෙත් අද මේ රට ඇත්තේ භයානක ඉරණමක් අභියස බවද කිව යුතුය. වරප්‍රසාද සහිත පන්තියට අලුත් ධනපතියන් හා ව්‍යාපාරිකයන් අතළොස්සකට ගැටලු ප්‍රශ්න පීඩන නැතිවිය හැකිය. එහෙත් මුළු රටේ ම ගමන නතර වන අසුබ සංඥ නිකුත් වෙමින් තිබේ.

ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ඉතා අගනා විග්‍රහයක් රටට කර තිබේ. එහි බොරු සෝබන නැත. වංගු නැත. ඇද කුද නැත. ලෝකයට ණය වෙමින් ණය ගෙවීම හා ණයට කෑම අපේ ආර්ථික ප්‍රතිපත්තිය වූ අයුරු මුදල් ඇමැතිවරයා පෙන්වා දී තිබේ. එහි රාජපක්‍ෂලාගේ කොටස මෙන්ම ඊට කලින් සිටි උන්නැහේලාගේ කොටස් ද තිබෙන බව ඔහු නිවැරදිව කියා සිටියේය. තවදුරටත් අපට සුරංගනා සිහිනවල ජීවත්විය නොහැකිය. වරද අපේ නොවුවත් කළවුන් බලා ගනු යැයි කීමට ද නොහැක. උන්ට ශාන්තිය අපට කේන්තිය බව ද සැබෑය. එහෙත් උන්ගේම ඇගේ එල්ලී මේ ව්‍යසනය දුරුකර ගැනීම හැර වෙන මඟක් ඉතිරිව නැත. තවදුරටත් කාලය කා දැමිය යුතු ද නැත. ඒ අලුත් ගමනේ ආරම්භය අපට ලබාදීම මේ පාර්ලිමේන්තුවට පැවරී තිබේ. ඒ සඳහා අගමැති ප්‍රමුඛ කැබිනට්ටුව අස්විය යුතුය. විද්වතුන් හා ප්‍රාමාණිකයන්ගේ යෝජනාත්, මහා සංඝරත්නයේ ආශිර්වාදයත් අනුව භාරකාර පාලනයක් වහාම සකසා ගත යුතුය. එයට කියන නම සර්වපාක්ෂික පාලනය ද අන්තර් පාලනය ද නැතහොත් වෙන ඕනෑම එකක් ද යන්න අපටත් රටටත් ප්‍රශ්නයක් නොවේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද මේ ජනතාව විඳවන විඳවිල්ලට තවත් ඉඩ දිය යුතු නැත. එසේම විශ්වාසභංගවල හෝ දෝෂාභියෝගවල හෝ මේ අර්බුදයට විසඳුම් නැත. ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවක් මෙබඳු අප්‍රසාදයකට ලක්ව තිබෙන වාතාවරණයක, ඔවුන්ගේ මූලිකත්වයෙන් විසඳුම් සෙවීම ද නිෂ්ඵලය. ඒනිසා එයට වුවමනා දේශපාලන සරුපස සැකසීම ඔවුන්ට භාරය. එහි නව බිජුවටක් වැපිරීම මුළු පාර්ලිමේන්තුවේම වගකීමය. ව්‍යවස්ථාවේ එන ප්‍රතිපාදන එයට ලේසියෙන් එක් කළ යුතු දේවල් නිගමනය කිරීම ද ඔවුන්ට භාරය. සියල්ල එක රැයකින් විසඳීමට ද නොහැක බවද අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් දිගු ගමනක ආරම්භය පළමු කුඩා පියවරක් බවද කිව යුතුය. රාජපක්‍ෂවරුන් සිය දේශපාලන විජිතයේ පිටවීමේ දොරටුව වෙත ළඟා වී සිටිති. ඔවුන්ට ආපසු හැරීමට දැන් ප්‍රමාද වැඩිය. අමිහිරි වුවද සත්‍යය එයයි. තරුණයන්ගේ සටන්පාඨ, උද්යෝගය අව්‍යාජ, අදීන සාමූහිකත්වයක ප්‍රතිඵලයක් බව වැඩිහිටි පරපුර ද වටහා ගත යුතු වෙති. මේ විරෝධතා දේශපාලනය අර්ථවත් හා බුද්ධිමය පුරවැසි ව්‍යාපාරයක් බවට පත් කිරීමේ වගකීම ඔවුන්ට ද තිබේ.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment