අවුරුදු ගාණකින් කිසිම නිලධාරියෙක් ෆාම්වලට ඇවිත් නෑ…

කුකුළු ආහාර මිලතවම 80%කින් වැඩියි…

අපනයනය කරන තරමට බිත්තර නිෂ්පාදනය කෙරෙනවා…

බිත්තරයක් රුපියල් 36කට දෙන්න පුළුවන්…

ලොකු බිත්තරයක් රුපියල් 45කට දෙන්න පුළුවන්… ඒත් වෙළෙඳපොළේ රුපියල් 55ට වැඩියි…

මෙරට දිනක බිත්තර පරිභෝජනය ලක්‍ෂ 80ට වැඩි වෙලා…

ඩොලරයේ අගය ඉහළ ගොස්, රට තුළ දැඩි ආර්ථික ආහේනියක් උද්ගතවීමත් සමග කුකුළු මස්, බිත්තර කර්මාන්තය ද බින්දුවට වැටිණි. එම කඩා වැටීම ගැන මස්, බිත්තර නිෂ්පාදකයන් තේරෙන භාෂාවෙන් බලධාරීන්ට සහ නිලධාරීන්ට පැහැදිලි කර දුන් බව සැබෑය. මාධ්‍ය හරහා දැනුවත් කළ අවස්ථා ද බොහොමයකි. එහෙත් දේශීය කුකුළු මස්, බිත්තර නිෂ්පාදකයන් ආරක්‍ෂා කරගෙන කර්මාන්තය සුරක්‍ෂිත කිරීමට අදාළ බලධාරීහු කිසිදු උත්සාහයක් නොගත්තහ. හිතාමතා කුකුළු මස්, බිත්තර කර්මාන්තය කඩා වැටීමට ඉඩ හැර විසඳුමක් විදිහට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තැනට වෙළෙඳපොළ විකෘතියක් නිර්මාණය කළහ. එහෙත් ආනයනික බිත්තර කෑමට පාරිභෝගික ජනතාව කැමැත්තක් නොදැක්විණි. එහෙයින් ආනයනික බිත්තර කුණුකොල්ලයට හෝ අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් විය. එවැනි පසුබිමක නැවත ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට සූදානම් වන බව වාර්තා විණි.

රට තුළ බිත්තර හිඟයක් පවතින වාතාවරණයක බිත්තර ආනයනය කිරීමේ වරදක් අපි නොදකිමු. එහෙත් බිත්තර නිෂ්පාදකයන් පෙන්වා දෙන ආකාරයට මේ වනවිට මෙරට බිත්තරවලින් ස්වංපෝෂිතය. දිනකට නිෂ්පාදනය කෙරෙන බිත්තර සංඛ්‍යාව ලක්‍ෂ 80කට වැඩිය. මෙරට බිත්තර පරිභෝජනය ද ලක්‍ෂ 80කට ආසන්නය. හිඟයකින් තොරව අඛණ්ඩව බිත්තර නිෂ්පාදනය කෙරෙන මෙරටට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනුයේ මොනකෙන්ගෙඩියකට දැයි යමෙකුට සිතේ. එහෙත් ආනයනයෙන් ලැබෙන ඩොලර් කුට්ටියේ රස දන්නා ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට මෙරට බිත්තර කර්මාන්තයට හෙණ බිඳුණ ද ගැටලුවක් නැත. ඔවුන්ට ඇවැසි බිත්තර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල ය. අපට දුක බිත්තර කර්මාන්තයෙන් යැපෙන මිනිසුන් ගැන ය.

මෙරට බිත්තර කර්මාන්තයේ නියැළී සිටින පිරිස ලක්‍ෂ 30කට ආසන්නය. කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ ග්‍රාමීය ගොවිපළවල් 50,000කට ආසන්නය. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ ගොවිපළවල් 120කි. කුකුළු පැටව් බිහි කරන අභිජනන මධ්‍යස්ථාන 11කි. කුකුළු මස්, බිත්තර කර්මාන්තයෙන් යැපෙන ඍජු සහ වක්‍ර රැකියාකරුවන් ලක්‍ෂ දහයකට වඩා වැඩි පිරිසක් වයඹ පළාතේ පමණක් ජීවත් වෙති. සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 60%ක් නිෂ්පාදනය කරනුයේ වයඹ පළාතේය. වැඩිම කුකුළු ගොවිපළවල් පිහිටා ඇත්තේ වයඹ පළාතේ පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. දෙවැනි, තෙවැනි සහ සිව් වැනි තැනට නිකවැරැටිය, බිංගිරිය සහ කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ බිත්තර කර්මාන්තය බහුලව ව්‍යාප්තව පවතී. මේ මොහොතේ අප සිටිනුයේ කුලියාපිටිය

කෝන්ගහගෙදර ආනන්ද තිස්ස මහතාගේ කුකුළු ගොවිපළේ ය. ආනන්ද තිස්ස කුකුළු බිත්තර කර්මාන්තය ආරම්භ කර වසර විස්සකි. මේ වනවිට ඔහුට වයස අවුරුදු 52කි. මිනිසුන් 15කට රැකියා අවස්ථා සම්පූර්ණ කර ඇති ඔහුගේ ගොවිපළේ ජීවත් වන සතුන් සංඛ්‍යාව 15000කි. කුඩා ගොවිපළකි. සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයෙක් ලෙස පෙළගැසෙන කතාවට හේ මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

“අවුරුදු ගාණකින් කිසිම නිලධාරියෙක් අපේ ෆාම්වලට ඇවිත් නෑ. කොළඹ සීතල කාමරවල ඉඳල මේ කර්මාන්තය ගැන තීන්දු, තීරණ ගන්න බෑ. නියම තත්ත්වය දැන ගන්න බිත්තර කර්මාන්තය වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන වයඹට එන්න ඕනෑ. මේ වෙනකොට රටට ම ඇති වෙන්න බිත්තර නිෂ්පාදනය කෙරෙනවා. ලොකුම බිත්තරයක තොග මිල රුපියල් 36 – 37 යි. පොඩි බිත්තර මිල රුපියල් 32 යි. නිෂ්පාදන වියදමත් එක්ක අපිට ලොකු ලාභයක් නෑ. ඒත් අඩු ලාභයකින් වැඩි වෙළෙඳාමක් කිරීමෙන් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්. වැටිල හිටිය බිත්තර නිෂ්පාදකයන් නැවත අළු ගසා දමා නැඟිටින්න පටන්ගෙන තිබෙනවා. බිත්තර නිෂ්පාදනය වැඩි වෙනකොට ඉදිරියට තවත් මිල අඩු වෙයි…” ආනන්ද තිස්සගේ කතාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ද අඩු වැඩි එකතු කළේ ය.

“මේ වෙනකොට අපේ රට බිත්තරවලින් ස්වයංපෝෂිතයි. අපනයනය කළ හැකි තරමට බිත්තර නිෂ්පාදනය වෙනවා. බිත්තර හිඟයක් නිර්මාණය කරන්න හදන්නේ අදාළ නිලධාරීන් සහ දේශපාලනඥයින්. කන්න ඕන වුණහම කබරගොයත් තලගොයා කරගන්න අපේ නිලධාරීන්, බලධාරීන් දක්ෂයි. ඒ වගේම බිත්තර ආනයනය හොඳ ව්‍යාපාරයක්. වාර්තා වෙන ආකාරයට ඉන්දියාවෙන් බිත්තරයක් ආනයනය කරන්න වියදම් වෙලා තිබුණේ රුපියල් 20කටත් අඩු මුදලක්. ඒත් දේශීය වෙළෙඳපොළේ මුලින් ආනයනික බිත්තරයක් අලෙවි කළේ රුපියල් 35කට. ටිකෙන්, ටික ආනයනික බිත්තර මිලත් රුපියල් 45ක් දක්වා වැඩි කළා. පහුගිය වසර දෙකට කෝටි හය, හතක් බිත්තර ආනයනය කළා. අදාළ ඇමැතිවරුන්ට, නිලධාරීන්ට කල්ල මරේ. ඒත් ආර්ථික අර්බුදයත් එක්ක බින්දුවට වැටිලා හිටිය බිත්තර නිෂ්පාදකයන් නැඟිටගෙන එනකොට නැවත බිත්තර ආනයනය කිරීමට යෑම නම් සහගහන අපරාධයක්. කබලෙන් ළිපට වැටිලා ඉන්න පාරිභෝගිකයන්ව තවත් අසරණ කරන්න දෙන්න බෑ. බිත්තරයක් රුපියල් 36කට දෙන්න අපි සූදානම්. කෙමිකල් නෑ. පරණ නෑ. සියයට 100%ක් පෝෂ්‍යදායි ආහාරයක්. ඒ නිසා බිත්තර ආනයනය කරන්න අවශ්‍ය නෑ. සුළු හා මධ්‍ය පරිමාණ ගොවියා ආරක්‍ෂා කර ගැනීමට බිත්තර නිෂ්පාදන වියදම අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. කුකුළු ආහාරවල 45%ක් තියෙන්නේ බඩඉරිඟු. ඉන්දියාවෙන් ආනයනය කරන්න ඕනේ බිත්තර නෙමෙයි බඩඉරිඟු. එතකොට බිත්තර
ගොවියාට තියෙන ප්‍රශ්න ඉවරයි…” සරත් රත්නායක මෙරට බිත්තර කර්මාන්තයේ දැවැන්තයෙකි. 1996 වර්ෂයේ දී සතුන් 500න් කුකුළු ගොවිපළක් ආරම්භ කර මේ වනවිට නම ගිය බිත්තර නිෂ්පාදනකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටින ව්‍යවසායකයෙකි. එමෙන්ම මෙරට බිත්තර කර්මාන්තය ආරක්‍ෂා කර ගැනීමට ඔහු කරන කැප කිරීම සුළුපටු නැත. පැසසිය යුතු සේවයකි.

බිත්තරවලින් රට ස්වයංපෝෂිතයි…අපේ රටේ බිත්තර ලාබෙට තියෙද්දී ඉන්දීය බිත්තරේට කෙකර ගාන්නේ ඇයි?

මෙරට ආර්ථික අර්බුදය ඇති වීමට පෙර අභිජනන මධ්‍යස්ථානවලින් මව් සතෙක් අලෙවි කර ඇත්තේ රුපියල් 150ත් 200කට වැනි මුදලකට ය. මේ වනවිට මව් සතකුගේ මිල රුපියල් 800ත් 1000ත් අතර මිලකට වැඩි වී තිබේ. මව් සතෙක් බිත්තර දාන වයසට පැමිණීමට මාස හතරමාරක්, පහක් ගත වේ. එම කාලය තුළ මව් සතුන්ව පරිස්සමට උස්, මහත් කළ යුතුය. කෑමට අමතරව විටමින් වර්ග 17ක් එන්නත් වර්ග 03 ලබාදිය යුතුය. එක පැටියකුට දිනකට ග්‍රෑම් 65ක් 70ක් පමණ ආහාර ලබාදිය යුතුය. රුපියල් 65කට පැවැති කුකුළු ආහාර කිලෝවක වර්තමාන මිල රුපියල් 190කි. ඒ අනුව කුකුළු ආහාර පැවැති මිලට සාපේක්‍ෂව තවම 80%ක් වැඩි ය. මව් සතෙක් බිත්තර දාන වයසට පැමිණෙන තෙක් දිනක ආහාර සඳහා රුපියල් 13ක් පමණ වියදම් වේ. ඒ අනුව බිත්තර දමන වයසට කුකුළු පැටවු 1000ක් නඩත්තු කිරීමට රුපියල් ලක්‍ෂ 30කට ආසන්න මුදලක් වියදම් වේ. බිත්තර දාන වයසේ සතෙකුගේ දිනකට කෑම ග්‍රෑම් 110ක් හෝ 120ක් ලබාදිය යුතුය. එම ආහාර සඳහා වියදම් වන මුදල රුපියල් 35ක් හෝ 36 කි. එහෙත් කිකිළියකුගෙන් වසරකට ලබාගත හැකි උපරිම බිත්තර ප්‍රමාණය 280ක් 300ක් අතර සංඛ්‍යාවකි. නිෂ්පාදකයන්ට සැලකිය යුතු ලාභයක් ලබාගැනීමට නම් බිත්තරයක් ලබාදිය යුත්තේ රුපියල් 38ත් 40ත් අතර මුදලකටය. එහෙත් මේ වනවිට වයඹ පළාතේ නිෂ්පාදකයන් විසින් රුපියල් 36ටත් 37ටත් බිත්තර තොග ලබා දෙති. එම ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳපොළේ ලොකු බිත්තරයක මිල රුපියල් 43කි. පොඩිම බිත්තරයක මිල රුපියල් 38කි. එහෙත් සමස්ත රට පුරා ම බිත්තර මිල සමාන නැත. බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 55ට වැඩිය. කළුකඩ මාෆියාව පාලනය කර සාධාරණ මිලකට බිත්තර අලෙවි කිරීමට අවශ්‍ය පසුබිම හදනු වෙනුවට අදාළ බලධාරීන් සහ නිලධාරීන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට සූදානම් වීම කාලකණ්ණි, වල්බූරු උත්සාහයක් බව මොළකළඳක් හෝ තිබෙන මිනිසුන්ට වැටහේවී. පෙළගැසෙන කතාවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා ද අදහස් ඉදිරිපත් කළේය. හේ අලහකෝන් ය. මේ ඔහු කියන කතාවය.

“2021 අවුරුද්දේ අගෝස්තු මාසේ 19 වැනිදා බිත්තර මිල පාලනයට ගැසට් එක නිකුත් කරනකොට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 49යි. පාලන මිල 43යි. අපේ මිනිස්සු තවත් නන්නත්තාර වුණා. ඒත් අපි කර්මාන්තය අතහැරියෙ නෑ. අවුරුදු දෙකක් වැටිලා තිබුණු කර්මාන්තය නැඟිට්ටවන්න උපරිමය කළා. නීති මාර්ගයෙන් කටයුතු කරමින් ගැසට් එකත් අහෝසි කර ගත්තා. අන්තිමේ ලැජ්ජාවට පත් වෙච්ච වෙළෙඳ ඇමැතිවරයා රුපියල් 44ත් 46ත් අතර පාලන මිලක් නියම කරමින් තවත් ගැසට් එකක් නිකුත් කළා. පාලන මිලට අපි බිත්තර දෙනකොට ඒ අයම ගැසට් එක අයින් කරගෙන රුපියල් 35කට වෙළෙඳපොළට නිකුත් කළ ආනයනික බිත්තරය රුපියල් 43ක් දක්වා මිල වැඩි කළා. අපි පාරිභෝගිකයන් හූරගෙන කන්නෙ නෑ. පාරිභෝගිකයන් බිත්තර මිලදීගැනීම තුළ තමයි අපේ කර්මාන්තය රඳා පවතින්නේ. ඒ නිසා අපිට ඕන පාරිභෝගිකයත්, ව්‍යාපාරිකයත්, ගොවියත් තුන් කට්ටුවම සතුටු කරමින් බිත්තර කර්මාන්තය දියුණු කරන්න. දේශීය පමණක් නෙමෙයි, විදේශීය වෙළෙඳපොළටත් බිත්තර අපනයනය කරන වෙළෙඳපොළක් නිර්මාණය කරන්න. දැනටත් බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 42ක් වියදම් වෙනවා. ඉදිරි කාලයේදී නිෂ්පාදන වියදම අඩු කරගෙන බිත්තර මිල තවත් අඩු කරනවා. පාරිභෝගික ජනතාවට උපරිම සාධරණයක් කරමින් මේ කර්මාන්තය පවත්වාගෙන යෑමට අවස්ථාවක් ලැබුණොත් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම බිත්තර නිෂ්පාදනකරුවන්, අදාළ නිලධාරීන්, බලධාරීන් සියලුම අය එකතු වෙලා සාකච්ඡා කර බිත්තර මිල සංශෝධනය කරන්නත් අපි එකඟයි…” අලහකෝන් මහතා නිහඬ විය.

වයඹපළාතේ බොහෝ ප්‍රදේශවල වැසී තිබූ කුකුළු ගොවිපළවල් නැවත විවෘත වී තිබෙන බව අපි දුටිමු. එම පළාතේ කුලියාපිටිය, කොබෙයිගනේ, බිංගිරිය, හෙට්ටිපොළ, නිකවැරැටිය, උඩුබද්දාව සහ වාරියපොළ ප්‍රදේශ රැසක ගොවිපළ කිහිපයකට ගිය අපට විසල් කූඩුවල එක, එක ප්‍රමාණයේ සතුන් වැඩෙන අයුරු දැක ගැනීමට ලැබිණි. සේවකයන් ලහි, ලහියේ වැඩ කරන අයුරු ද පෙනිණි. කොබෙයිගනේ ගොවිපළක පෙට්ටිවලට බිත්තර අසුරමින් සිටි සේවක, සේවිකාවන් පිරිසක් අප සමග කතා බහා කිරීමට උනන්දු වූහ. ඔවුන් අතර සිටි ධම්මිකා පැවසූ වචන ටික දැනුදු මගේ හදවතට දැනේ. වයස අවුරුදු 47 වන වියේ පසු වන ඇය දියණියන් දෙදෙනකුගේ මවකි. දියණියන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගෙන කුකුළු ෆාම්වල රැකියා කරන ඇය කීවේ පෞද්ගලික ජීවන දුක නෙමෙයි. බිත්තර කර්මාන්තයේ සමස්ත සේවකයන්ට තිබෙන ප්‍රශ්න ගැනය.

“සෑම සත්ව ගොවිපළකම වැඩ කරන්නේ දුප්පත් මිනිස්සු. බහුතරයකට හරි හැටි අධ්‍යාපනයක් නෑ. මේ කර්මාන්තය නැති වුණොත් අපේ දරු පවුල්වලට යන කලදසාව හිතාගන්නවත් බෑ. පිටරටින් බිත්තර ආනයනය කළොත් මේ ගොවිපළවල නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට සේවක සංඛ්‍යාව අඩු කරනවා. දැනටත් බාගෙට, බාගයක් සේවකයෝ අඩු කරලා තියෙන්නේ. ජනාධිපතිතුමනිෟ අපි ගැන අනුකම්පා කර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නතර කරන්න…” ඇයගේ කතාව කෙටිය. එහෙත් කෙටි වචන කිහිපයේ ගැබ්ව ඇති අරුත ගැඹුරුය. ලොකු, කුඩා කුකුළු ගොවිපළවල අයිතිකරුවන් මෙන්ම සේවකයන් විශාල පිරිසක් කර්මාන්තයේ හෙට දවස ගැන අපව දැනුවත් කළහ. ඔවුන්ගේ ජීවන ගැටලු ගැන අපට කීහ. හද පාරවන කතා විනා සතුටු වචන කිසිවක් නැත.

බිත්තර යනු සොබාදහම විසින් නිර්මාණය කරන ආහාරයකි. ෆාම් බිත්තරය කෘත්‍රිම නිෂ්පාදනයක් වුවද එහි අඩංගු පෝෂ්‍යදායී ගුණය අඩු නැත. ශරීරයට උරාගැනීමේ ශක්තිය බිත්තරවල 90%කි. උරාගැනීමේ ශක්තියෙන් බිත්තර දෙවැනි වන්නේ මව් කිරිවලට පමණි. එහෙයින් බිත්තර මිනිසාට අත්‍යවශ්‍ය ආහාරයකි. ඊශ්‍රායලයේ මහාචාර්යවරයකු වන ඩේවිඩ් එස්. සැමුවෙල් ඇතුළු කණ්ඩායමක් විසින් මිනිසාගේ මොළයේ සෛල දියුණු කිරීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ගැන සිදුකළ පර්යේෂණයක දී මොළයේ සෛල වර්ධනයට මෙන්ම ශරීරයේ ක්‍රියාකාරිත්වයට බිත්තර පරිභෝජනය අත්‍යවශ්‍ය බව සොයාගෙන ඇත. බිත්තර පරිභෝජනය තුළින් මොළයේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් ලබාදීම කාර්යක්‍ෂමව සිදු වේ. වැඩ කිරීමේ හැකියාව සහ ඥානවන්ත බව වර්ධනයට බිත්තරවල විශේෂ පෝෂ්‍යදායී සංඝටක ඇතුළත් බව ද ඔවුන් සොයාගෙන ඇත. එමෙන්ම බිත්තර කෑමට ගැනීමෙන් නම්‍යශීලී, ජවසම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි බව ඔවුන්ගේ පර්යේෂණයෙන් සනාථ වී ඇත. වයසට යෑමේදී ගිලිහි යන ශාරීරික නාම්‍යශීලී බව බිත්තර පරිභෝජනයෙන් නැවත වර්ධනය කරගැනීමට හැකියාව ඇති බව ද තහවුරු වී ඇත.

එහෙත් එම පෝෂණ ගුණය ලැබෙනුයේ නියම ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන බිත්තරවල පමණි. ආනයනික ඉන්දියන් බිත්තරවල බර ග්‍රෑම් 40කට වඩා වැඩි නැත. දේශීය බිත්තරවල බර ග්‍රෑම් 50 සිට 70ක් දක්වා වැඩි ය. දේශීය බිත්තරවල බර වැඩි වී ඇත්තේ දෛනිකව සතකුට ලබාදෙන කෑම ප්‍රමාණය වැඩි නිසාය. සත්ව ආහාර නිෂ්පාදනයට නම් දරාගෙන සිටින ඉන්දියාවේ කුකුළු ගොවිපළවල දිනකට සතකුට ලබාදියයුතු කෑම ප්‍රමාණය නිසියාකාරව ලබානොදෙන බව වාර්තා වේ. සතුන්ට ලබාදෙන කෑම ප්‍රමාණය අඩු නිසා ඉන්දියන් බිත්තරයේ පෝෂ්‍යදායී ගුණය අඩු බව ද වාර්තා වේ. එමෙන්ම ශීතාගාරවල කල් මැරෙමින් වෙළෙඳපොළෙත් පල්වෙන ආනයනික බිත්තර යහගුණය නොව, අගුණය. එවැනි බිත්තර කෑමට ගැනීම ශරීර කූඩුවට ලෙඩක් ඇතුළු කර ගැනීමක් වැනිය. එහෙයින් ශරීර සෞඛ්‍ය ගැන හිතන ඔබ ඉන්දියානු කුණු බිත්තර තම දරුවන්ට ලබානොදීමට කටයුතු කළ යුතුය. එමෙන්ම ඩොලර් අර්බුදයක් පවතින මෙරට, බිත්තරවලින් ස්වයංපෝෂිත වී තිබෙන පසුබිමක බිත්තර ආනයනය කිරීමට කතා කිරීම විහිළුවකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment