බිත්තර මැර ප්‍රහාර හා නොහික්මුණු ඇමති පුත්තු

286

පසුගිය සතිය වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේත් දැඩි අවධානය යොමු වූ කරුණක් වූයේ කොරොනා අවදානමයි. කොරෝනා රෝගයේ අපේ රටේ ඊළඟ රැල්ල ඇතිවූයේ යැයි කිසිවෙක් නොකීවත් ක‍්‍රියාකාරී අංශ සියල්ලෙහි අලූතින් රෝගීන් බිහිවන්නට පටන් ගැනීම තුළ එළඹෙන තත්ත්වය අවදානම් සහගත විය. ජනාධිපතිවරයා මේ ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කරන්නට අවධානය යොමු කළේ ජනාධිපති මාධ්‍ය අංශයේ පවා සේවක සේවිකාවන් බලාසිටියදී කොරෝනා රෝගීන් ලෙස තහවුරු වීම නිසාය. ඒ හැරුණු විට රටේම තත්ත්වය අවදානම්සහගත බව සෞඛ්‍ය බලධාරීන් ජනාධිපතිවරයාටත් නිවැරදිව කරුණු වාර්තා කර තිබිණි.

ඇත්ත වශයෙන්ම මෙම අවදානම සහ උණුසුම් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ කල්තියාම රජයට රතු නිවේදන නිකුත් කර තිබුණි.

2021 වසර අවසන් වී 2022 පටන් ගැනීමත් සමගම රටේ ජනතාව අප‍්‍රමාණ ලෙස නිදහසක් භුක්ති විඳින්නට පටන් ගෙන තිබිණි. වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ රටේ තත්ත්වය මත රෝ බියෙන් හා ආර්ථික අපහසුතාවෙන් පීඩා විඳිමින් අපේක්ෂා භංගත්වයට පත්ව සිටි ජනතාව යම් නිදහසක් දුක් විඳීම ගැන රජය දැඩි ප‍්‍රතිරෝධයක් දක්වන්නට ගියේ නැත.

එහෙත් ජනවාරි මාසයේ 14 වෙනි සිකුරාදා සිට 17 වැනි සඳුදා දක්වා යෙදී තිබූ දීර්ඝ සතිඅන්ත නිවාඩුව තුළ ජනතාව නිදහස භුක්ති විඳි ආකාරය ගැන රජයේ වගකිවයුත්තන්ට ද කට උත්තර නැති විය. ලක්ෂ ගණනක් සිරීපාදේ නැග තිබිණි. තවත් ලක්ෂ ගණනක් කතරගම ය. දරාගත නොහැකි පිරිසක් නුවරඑළිය බණ්ඩාරවෙල බදුල්ල ප‍්‍රදේශයන්හි විනෝද ගමන් ගොස්ය. අනුරාධපුර පොලොන්නරුව යාපනය ත‍්‍රිකුණාමලය සීගිරිය ආදී ප‍්‍රදේශවල ද කැපී පෙනෙන ජන සන්නිපාතයකි.

මේ තත්ත්වය සැලකිල්ලට ගත් සෞඛ්‍ය බලධාරීන් රටට හොඳ අනාවැකියක් කීවේය.

‘‘දීර්ඝ සති අන්තයේදී ජනතාව නිදහස භුක්ති විඳීමේ ප‍්‍රතිඵල ලැබෙන්න සතියක් විතර යාවි.”

එම ප‍්‍රකාශය යථාර්ථයක් බවට පරිවර්තනය වීමට වැඩි දොහක් ගියේ නැත.

ජනවාරි 15 වැනිදා වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන්ගේ ප‍්‍රමාණය 11,126 ක් බවට පත්ව තිබිණි. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 840කට අඩු විය. දෛනිකව මියයන ගණන දහයට දොළහට අඩුව තිබිණි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු කීවා සේ දීර්ඝ සතිඅන්ත නිවාඩුවෙන් සතියක් ගත වූ දා සිට සියලූ සංඛ්‍යාලේඛන කණපිට හැරෙන්නට පටන් ගත්තේය.

දිනකට හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහසේ අගයද ඉක්මවා 1200 දක්වා පැමිණියේය. නේවාසිකව රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් ප‍්‍රමාණය 11,000 සිට දින දහයක් ඇතුළත දී 20,000 දක්වා වර්ධනය විය. දිනකට මියයන ගණන විස්සකට ආසන්න විය. දීප ව්‍යාප්ත ලෙස දෙවන එන්නත ලබාදීම තුළින් රෝගීන්ට අසාධ්‍ය වීම හා මරණයට පත්වීම සැලකිය යුතු පමණින් අවම වී තිබුණ ද රෝග ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී තිබීම නිසා ජනාධිපති ගෝඨාභය ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරන්න පටන් ගත්හ.

සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වූයේ රෝගය පැතිරීම වළක්වන්නට අවධානය යොමු කරනවට වඩා රෝගයෙන් මියයන සංඛ්‍යාව හා අසාධ්‍ය වන සංඛ්‍යාව පාලනය කිරීමට අවධානය යොමු කිරීම සඳහා පියවර ගත යුතු බවයි. ඊට හොඳම පිළියම වන්නේ කොරොනා එන්නතේ තුන් වන මාත‍්‍රාව හෙවත් බූස්ටරය ජනතාව වෙත ලබා දීම බව ඔවුන්ගේ අදහස වූහ.

ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය ඇමැතිවරයා අතර මේ පිළිබඳව ඇතිවූ සාකච්ඡාවේදී තීරණය කරගත් පරිදි, එන්නත්කරණයට වසරක් පිරෙන ජනවාරි 29 වැනිදා විශේෂ කඩඉමක් කරගනිමින් තුන් වන මාත‍්‍රාව ප‍්‍රචලිත කිරීම ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට වැඩකටයුතු සකස් කෙරිණි.

මෙහි සමාරම්භක උත්සවය පසුගිය 29 වැනි සෙනසුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු අතර රට පුරා ද පළාත් හා ප‍්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය මධ්‍යස්ථානවල හා ආගමික මධ්‍යස්ථානවල තුන් වන මාත‍්‍රාව එන්නත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක විය.

  • බූස්ටරය ගැන
    බය බොරුවක්ලූ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ වැඩ පටන් ගත්තේ තුන් වන මාත‍්‍රාව එන්නත් කිරීම වේගවත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ගෙන යන වැඩසටහන පිළිබඳව අවධානය යොමු කරමිනි.

‘‘සංචරණ සීමා පනවලා මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යෑමට ඇති අවස්ථාව පාලනය කරලා මිනිස්සුන්ගේ හැසිරීම් පාලනය කරලා ජනතාව කෙරෙහි දැඩි නීතිරීති පනවලා කොරෝනා පාලනය කිරීම අසාර්ථක බව මුළු ලෝකෙන්ම ඔප්පු වෙලා තියෙනවා. අද ලෝකයේ වඩාත් සාර්ථක වුණු පිළියම තමයි එන්නත්කරණය. දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට එහා ගිය පූර්ණ එන්නත්කරණයක් ලබා ගැනීමට හැකි වන්නේ ‘‘බූස්ටරය” ගත්තට පස්සේ. ඒක නිසා අපි රජයක් හැටියට බූස්ටරය සඳහා ෆයිසර් එන්නත ගෙනල්ලා ජනතාවට එය ලබා ගන්න පහසුකම් සලසලා තිබියදීත් ජනතාව ඒ සඳහා දක්වන උනන්දුව අඩුවෙලා තියෙනවා.

අද වසංගතය වේගයෙන් පැතිරුණාට අසාධ්‍ය වන හා මියයන සංඛ්‍යාව ඉතාමත් අඩු වෙලා තියෙන්නේ දෙවැනි එන්නතේ ආරක්ෂාව ජනතාවට ලැබිලා තියෙන නිසයි. මේ ආරක්ෂාව තව තවත් විශ්වාසනීය වෙන්නට නම් අපි වහාම බූස්ටරයත් ලබාගෙන පූර්ණ එන්නත්කරණයට පත්විය යුතුයි. ජනතාව ඒ සඳහා පස්සට යා යුතු නෑ.”

ජනාධිපතිවරයා එසේ කියමින් අවධානය යොමු කළේ ජනතාව අතර වැරදි මත ප‍්‍රචාරය කරමින් බූස්ටරය ගැනීමෙන් ජනතාව වළක්වන ඇතැම් සංවිධාන හා සංවිධානාත්මක බලවේග කෙරෙහි ය.

‘‘ඇතැම් දේශපාලන පක්ෂ, ඇතැම් සංවිධාන පටු දේශපාලන වාසි තකාගෙන බූස්ටරය ගසා ගැනීම වළක්වමින් ජනතාව තව තවත් අපහසුතාවයට පත් කරවමින් ජනතාව අතර ආණ්ඩුව කලකිරීමට පත් කරවන්න ව්‍යාපෘති දියත් කර තියෙන බව පේනවා. ඒවා අපි හොඳින් තේරුම් ගන්න ඕන. ඒ තමයි අපේ කලාපයේ රටවල දේශපාලනයේ හැටි. හැබැයි ජනතාවට ඒ සත්‍යය පැහැදිලි කරදීම සඳහා රජය ජනමාධ්‍යවල සහයෝගයත් අරගෙන අපේ රටේ ආගමික නායක තුමන්ලාගේ සහයෝගයක් අරගෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. විපක්ෂයත් එක්ක රණ්ඩු වෙනවා වෙනුවට අපි මේ වෙලාවේ ඒක තමයි කළ යුතු වන්නේ….”

ජනාධිපතිවරයා මෙසේ කියමින් පසුගිය සෙනසුරාදා එන්නත්කරණය වේගවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘති කෙරෙහි සිය දැඩි අවධානය යොමු කර සිටියේය.

ඒ අතර ජනාධිපතිවරයා 29 වන සෙනසුරාදා උදේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති විශේෂ උත්සවයක් සඳහා පිටත්ව ගියේය. අලූතින් පුහුණුව ලත් ගුවන් හමුදා සෙබළුන් හා නිලධාරීන්ගේ විසිරයෑමේ උත්සවයක් එහි පැවැත්විණි. ජනාධිපතිවරයා ඒ සඳහා නිසි වේලාවට පැමිණි බැවින් විසිර යෑමේ පෙරට්ටුවේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. කොට්ට ආචාර පෙළපාලිය, සම්මාන මුරය හා පදක්කම් ප‍්‍රදානය ආදී නිල කටයුතු සියල්ල නිසි පරිදි නිසි වේලාවට පැවැත්වුණේ හමුදාවේ නිසි වේලාව හා විනය පිළිබඳව හොඳ ආදර්ශයක් සපයමිනි.

එම නිල කටයුතු අවසානයේ ඉතා මනරම් හමුදා සරඹ සන්දර්ශනයක් දැකබලා ගන්නට ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ට අවස්ථාව සැලසී තිබීම විශේෂත්වයක් විය.

එම කටයුතුවලින් පසුව ගුවන් හමුදාපතිවරයාගේ විශේෂ තේ පැන් සංග‍්‍රහයටද ජනාධිපතිවරයා සහභාගි විය. ඉන් අනතුරුව නිලධාරීන්ගේ විශේෂ නිවස්නය වෙත ගිය ජනාධිපතිවරයා එහි ආරාධිතයන්ගේ සටහන් පොතේ විශේෂ සටහනක් දැමීය.

ගුවන් හමුදාපතිවරයා අතින් මේ වෙලාවේ ජනාධිපතිවරයාට සිහිවටන දෙකක් පිලිගන්වනු ලැබීය.

ජනාධිපති ඇතුළු සියලූම ආරාධිත අමුත්තන් වෙනුවෙන් එදින දිවා භෝජන සංග‍්‍රහය ගුවන් හමුදාපතිවරයා විසින් සූදානම් කර තිබුණත් එදිනට යෙදී තිබුණු තවත් විශේෂ වැඩකටයුතු රාශියක් තිබූ බැවින් ජනාධිපතිවරයාට ඒ සඳහා සහභාගිවීමට ඉස්පාසුවක් නොවීය. ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් සමුගත් ජනාධිපති කටුනායකින් ඉතා ඉක්මනින් පිටත්ව ආවේය.

ඉන් පසුව ජනාධිපතිවරයා සෙනසුරාදා සවස් වරුවේ කොළඹට වී කරනු ලැබුවේ ඒ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඉහළින් කරුණු අධ්‍යයනය කිරීමයි.

ඉරිදා දිනයේ ජනාධිපතිවරයා තරමක් නිදහසේ කාලය ගත කළේය. රටේ පවතින විදුලි අර්බුදය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර මිල පිළිබඳ ගැටලූව, පොහොර අර්බුදයේ අනාගතය, අධ්‍යාපනය පිළිබඳ ගැටලූව, නිෂ්පාදනය ඉහළ දැමීම හා ව්‍යවසාය සංවර්ධන, අපනයන වෙළෙ`දාම වර්ධනය වැනි කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ සතියක් ලෙස පසුගිය සතිය සැලකිය හැකිය. ඔහු ඒ පිළිබඳව නිරතුරුව කරුණු අධ්‍යයනය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ තරම් මේ රටේ දේශපාලන ප‍්‍රහාරවලට ලක් වූ තවත් පක්‍ෂයක් ඇත්තේ නැති තරම් ය. දේශපාලන ප‍්‍රහාර නිසා ජවිපය මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ දෙවරක් සමූලඝාතනය වූ බව ද රහසක් නෙවේ. එහෙයින් මැර ප‍්‍රහාර යනු ජනතා විමුකිත් පෙරමුණට අමුතු දෙයක් වන්නේ නැත.

පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ තවත් මැර ප‍්‍රහාරයක් ගැන දේශපාලන ලෝකයේ කතාබහක් ඇති විය. සිද්ධිය වී තිබුණේ ඉකුත් සති අන්තයේ ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේ එක්තරා ශාලාවක පැවැති ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සම්මන්ත‍්‍රණයකට සහභාගි වන්නට ජවිපෙ නායකයා වන අනුර කුමාර දිසානායක සහෝදරයා පැමිණි අවස්ථාවකදී ය.

මෙම රැස්වීමට රජයේ ආශිර්වාදය ඇතිව පැමිණි එක්තරා මැර පිරිසක් බිත්තරවලින් මැර ප‍්‍රහාර එල්ල කළේ යැයි පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් රටට හෙළි කළේ ජවිපයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ය. ඔහු මෙමගින් පාර්ශ්ව දෙකකට චෝදනා එල්ල කරනු ලැබීය.

එක් චෝදනාවක් එල්ල කළේ ගම්පහ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ඇමැති ප‍්‍රසන්න රණතුංගට ය. මෙසේ බිත්තරවලින් මැර ප‍්‍රහාර එල්ල කරන ලද්දේ ප‍්‍රසන්න රණතුංග විසින් එවන ලද පිරිසකැයි කී ඔහු තවත් කෙනකුගේ නමක් ඊට ඈඳුවේ එම ප‍්‍රහාරය එල්ල කළේ යැයි අල්ලා ගත් දෙදෙනා මෙරට සුප‍්‍රකට ආරක්‍ෂක ආයතනයක් වන ඇවන්ගාඞ් ආයතනයේ සේවය කරන දෙදෙනකු යැයි යෝජනා කරමිනි.

ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නම ද කියමින් විජිත හේරත් මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළේය. මේ අතර එක්තරා මාධ්‍යවේදියෙක් මේ ගැන විමසන්නට ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපතිට දුරකථනයෙන් කතා කළේය. ඒ වනවිට ඔහු සිටියේ තරමක් අසනීපයෙන් වුවත් උත්තරයක් දුන්නේය.

‘‘ජනතා විමුක්ති පෙරමුණට බිත්තරවලින් මැර ප‍්‍රහාර එල්ල කරන්නැයි කියලා මිනිස්සු යවන්න අපට පිස්සු නෑ. අපිට වෙන වැඩ තියෙනවා. හැබැයි මේ සමාජයේ ජනතා විමුක්ති පෙරමුණ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ කරපු වැඩ නිසා රස්සාවල් අහිමි වුණු දාස් ගණනක් ඇවන්ගාඞ් සේවකයෝ. රැකියා විරහිතව සමාජයේ ඉන්නවා. ඒ අය කේන්තියට මොනව කරනවද කොහේ කොහෝ යනවද කියලා කියන්න අපට වගකීමක් නෑ….’’

කෙසේ වෙතත් පසුගිය සතියේ මේ බිත්තර මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් නම් රටේ නොයෙකුත් වේදිකාවල නොයෙකුත් කතා ඇති විය.

පසුගිය සතියේ මැර ප‍්‍රහාර ගැනම කියවුණු කතා බොහෝ ය.

  • විදුලි අර්බුදයට
    නොවරදින විසඳුමක්

මේ වන විට රටේ විදුලිය අඛණ්ඩව සැපයීම කෙරෙහි තිබෙන ගැටලූව ගැන ජනාධිපතිවරයා මෙහිදී මූලික අවධානය යොමු කළේය. රට තුළ ඉහළ යන විදුලිබල ඉල්ලූම ට අනුව විදුලිබල සැපයුම වේගවත් කිරීමට ඒ ඒ ආණ්ඩු තම තමන්ගේ කාලවලදී අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කළ යුතු වුවත් 2015 – 2019 සමයේ ආණ්ඩු බලයේ සිටි පාර්ශ්ව කිසිදු අලූත් විදුලි බල නිෂ්පාදන ව්‍යාපෘතියක් රටට හඳුන්වා නොදීම තුළ වර්තමානයේ මතු වී තිබෙන අර්බුදය ජනාධිපති හොඳින් අධ්‍යයනය කළේය. රටේ පවතින ඩොලර් අර්බුදය මත දැවි තෙල් හා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට යම් යම් බාධා පැමිණියත් රට තුළ අඛණ්ඩව ජනතාවට විදුලිය සැපයීමට දැනට තිබෙන ලොකුම බාධකය වූයේ විදුලි බල උත්පාදන ක‍්‍රියාවලියෙන් තිබෙන අඩුපාඩුවක් බව ජනාධිපති තේරුම් ගත්තේය. අවශ්‍ය ඉන්ධන දැවි තෙල් ආදිය ඕනෑ තරම් තිබුණත් නොරොච්චෝලේ වැනි බලශක්ති මරමස්ථානයක සිදුවන හදිසි බිඳවැටීමක් හෝ යම් යම් වෘත්තීය සමිති හිතාමතා සිදුකරන කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් හේතුවෙන් බිඳවැටෙන විඳවැටෙන විදුලි බල පද්ධතියේ දුර්වලතාවන්ට අද උත්තරයක් නොමැතිව ඇත්තේ විදුලිබල නිෂ්පාදනයට අවශ්‍ය විකල්ප ක‍්‍රියාමාර්ග පසුගිය කාලයේ නිර්මාණය කර නොතිබීම බව ජනාධිපති හොඳින් අවබෝධ කරගත්තේය.

‘‘අපට මේ තියෙන බලාගාරවලින් විතරක් ඉදිරියේ දී වැඩි වන සාමාන්‍ය විදුලි අවශ්‍යතාවයන්ට විසඳුම් හොයන්න බෑ. ඒ වගේම ඒ සඳහා ඒකකය රුපියල් 75 – 80 – 100 වගේ මිල ගණන් වලට (emergency) පුද්ගලික අංශයෙන් හදිසි විදුලිය ගන්නත් බෑ. ඒකයි මම ප‍්‍රතිපත්තියක් විදියට පුනර්ජනනීය බලශක්තිය රටේ ප‍්‍රචලිත කරන්න යෝජනා ගෙන ආවේ. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට පසුගිය කාලයේ රජය සහ පුද්ගලික අංශය ගෙනාපු යෝජනා අතරින් වැඩි කොටසක් මේ වන විට විදුලි බලධාරීන් අනුමැතිය නොදී නවත්තගෙන ඉන්නවා. මේවා සිද්ධ කරන්නේ ඇයි කියන එක ගැන අපි හොඳ අවධානයෙන් ඉන්නේ. මේ ගැන අපි පුළුල් වශයෙන් සාකච්ඡා කරලා විසඳුමක් ගන්න අවශ්‍යයි”

විදුලිබල ක්ෂේත‍්‍රයේ දැනට තියෙන ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා වහාම සාකච්ඡාවක් කැඳවන්නැයි විදුලිබල ඇමැතිවරයාට හා අදාළ නිලධාරීන්ට නියෝග කළේ පසුගිය සති අන්තයේය. ඒ අනුව පසුගිය තිස් එක් වැනි සඳුදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා විදුලිබල ඇමැතිවරයා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, විදුලිබල මණ්ඩලයේ ඉල්ලා අස්වූ සභාපති, අලූත් සාමාන්‍යාධිකාරි, අමාත්‍යාංශ ලේකම්වරු, විදුලිබල වෘත්තීය සමිති හා සේවක සමිති සියල්ලම කැඳවන්නට ජනාධිපති උපදෙස් දී තිබිණි. ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතාගේ වෘත්තිය සමිතියද මේ සඳහා පැමිණ සිටියේය. විශේෂයෙන්ම විදුලිබල ක්ෂේත‍්‍රයේ අද පවතින හදිසි විදුලි බිඳ වැටීම්වලට හා වෘත්තීය අරගලවලට නියමින් හෝ අනියමින් නායකත්වය සපයන වෘත්තිය සමිති නායකයන් කැඳවන්නයි ජනාධිපති නියෝග කර තිබිණි.

31 වන සඳුදා උදේ 11.00ට මෙම රැස්වීම ආරම්භ කළේය.

රැස්වීම වාර්තා කරන්නට පැමිණ සිටි මාධ්‍යවලට එතනින් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති ඉතා ප‍්‍රසන්න ලෙස මෙම සාකච්ඡාවට සහභාගි වූයේ ය.

‘‘ඇත්තටම මම ඔයගොල්ලන් එක්ක මේ සාකච්ඡාව කැඳෙව්වේ මේ ඇතිවෙලා තියෙන ප‍්‍රශ්න මගහරවා ගන්න අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු කියලා කියන ආරාධනාව කරන්න”.

ජනාධිපතිවරයා එසේ කී කාරණාව බොහෝ දෙනකුට වැටහුණේ නැත. ඒ නිසා සමහරු මූණට මුහුණ බලන්නට පටන් ගත්හ.

‘‘මම කිව්වේ දැන් බලන්න මේ තියෙන අර්බුද ගැන එක එක්කෙනා එක එක කතා කියනවා. ඇමැතිතුමා එකක් කියනවා. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා තව එකක් කියනවා. ඒ අතරේ අදාළ නැති වෙන වෙන ඇමැතිලත් එක එක ඒව කියනවා. ඒ අතරේ වෘත්තිය සමිති තව එකක් කියනවා. මම කියන්නේ එහෙම නැතුව අපි ඕගොල්ලන්ට මේ භාර දීල තියෙන්නෙ වගකීමක්නේ. ඔයාලා ඒ වගකීම තේරුම් අරගෙන වගකීම භාරගෙන ඒක ඉටු කරන්න. එක එක්කෙනා පත්තරවලට ආටිකල් ලියනවා. ටීවී වලට වොයිස් කට් දෙනවා. එක එක කතා තමයි කියන්නේ. එහෙම නැතුව හැමෝම සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන එක අදහසක් ජනතාවට යන විදියට කතා කරන්න පුරුදු වෙන්න. නැත්තං හැමදාම වෙන්නේ රටේ ජනතාව අනවශ්‍ය විදිහට බය වෙන එක…”

‘‘අනිත් එක මේ උගතුන්, මේ නිලධාරීන් ජනතා සේවයට කැප වූ ජනතා මුදලින් වේතන ලබන අය. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් බලලා ප‍්‍රශ්නවලට උත්තර හොයන්න. ජනතාවට විශ්වාසයක් ඇති වෙන විදිහට කතා කරන්න. බය කරන්න එපා. අපි ඉන්නේ ලයිට් දෙන්න මිස ලයිට් කපන්න නෙවෙයි.”

ඉන්පසුව සාම්පූර් වැනි විශාල බලාගාර පටන් නොගැනීම ගැන ද කතා බහක් ඇති විය…

‘‘ඒක නවත්වන්න තීන්දු කළේ මම නෙවෙයි. කලින් තිබුණු රජය. මම ඒව ගැන නෙවෙයි කතා කරන්නේ. පුනර්ජනනීය බලශක්තිය. දැනට පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන්න නිවාස මට්ටමින් ගෙනාපු ව්‍යාපෘති 5000 ගණනක් නතර කරල තියෙනවා. ඇයි ඒවට අනුමැතිය නොදෙන්නේ…”

‘‘අනුමත කරපු සූර්ය බලශක්තිය ව්‍යාපෘති මෙගා වොට් 40ක් තියෙනවො. ඒක ඉස්සරවෙලා පටන්ගන්න.”

සති දෙකක් ඇතුළත එම මෙගා වොට් 40 ජාතික පද්ධතියට එකතු කරගන්නට නිලධාරීන් එකඟත්වය පළ කළේය.

මේ අතර දුමින්ද දිසානායක තරමක් දැඩි ස්වරයෙන් කතා කළේ නිලධාරි මාෆියාවේ හා ඉංජිනේරු මාෆියාවේ වැඩ නිසා දැනට නතර වී ඇති ජාතික විදුලිබල ව්‍යාපෘති ගැන කරුණු දක්වමිනි.

‘‘අපි මේවා මේ වගේ තැන් වල එළිපිට කතා කරන්න ඕන ජනාධිපතිතුමනි. සමහර ඵලදායක ව්‍යාපෘති මේගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරුණු කියලා නතර කරගෙන ඉන්නෙ ඒ ව්‍යාපෘතිවල වැරදි නිසා නෙමෙයි. යෝජනාවල තිබිච්ච අකුරුවල ගැටලූ නිසා. රට ගැන හිතලා වැඩ කරනවා නම් මෙහෙම වෙන්න බෑ” දුමින්ද කීවේය.

‘‘අපිට මේ එන්න කියලා තිබුණ නිසා අපි ආවා. අපි තවම දන්නෑ අපිට මොකටද එන්න කිව්වේ කියලා. මෙතන කතා කරන්න දේවල් ගැන කලින් දැනුම් දුන්නා නම් අපි සූදානම් වෙලා එනවා උත්තර දෙන්න…” කුමාරවඩු මහතා වට පිට බලමින් තම නොමනාපය පල කරන්නාක් මෙන් කතා කළේය.

‘‘නෑ.. එන්න කිව්වේ ඔක්කොම එක්ක එකතු වෙලා රටට යහපතක් කරන්න වැඩ කරන්න කියලා ආරාධනා කරන්න. අපි කරන්නේ ජනතා සේවයක්නේ. ඉතින් වාද භේද තියාගන්නේ නැතුව රණ්ඩුනොවී එකතු වෙලා ඒ දේ කරමු…” ජනාධිපති ඉවසීමෙන් හා සන්සුන්ව හිනාවෙමින් එසේ කීවේය.

‘‘පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගේ කටයුතුවලට වෙනම නියාමනයක් අවශ්‍යයි. නැත්තම් මේගොල්ලොත් එක්ක මේ වැඬේ කරන්න බැහැ… දුමින්ද යෝජනා කළේය…

  • පුනර්ජනනීය විදුලියට
    වෙනම පාරිපාලනයක්…
බිත්තර මැර ප්‍රහාර හා නොහික්මුණු ඇමති පුත්තු

‘‘ඉතින් අපේ පුනර්ජනනීය බලශක්තියට වෙනම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කෙනෙක් පත් කරමු..” ජනාධිපති කීවේය.

විදුලිබල මණ්ඩලයෙන් ඉවත් වන්නට ලියුම භාරදුන් සභාපතිවරයාද මෙහිදී තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් කතා කළේය.

ඉන් පසුව මෙතන කතාබහ වූයේ ටෙන්ඩරයක් ඉදිරිපත් කර එය පාස් වීම සඳහා ගතවන අධික කාලය ගැනය… විවිධ හේතු ද කියවෙන්නට විය.

‘‘මෙතන ඉන්නේ ඉංජිනේරු මහත්තුරුනේ. උගත් අය. අපි නෙමෙයි ඔයාලා තමයි මේවා ගැන දන්නේ. ඉතින් ඕවට වැයවෙන වියහියදම් ගණන් බලලා ටෙන්ඩර් පිළිබඳ තීන්දු ගන්න. කල්ගත කරන්න එපා. වැඩ පටන් ගන්න….” ජනාධිපති උපදෙස් දුන්නේය.

‘‘ටෙන්ඩර්වලින් වුණත් වංචාවන් වෙනවා…” කුමාරවඩු මහතා කීය.

‘‘මං දන්නවා… මමත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙලා හිටියනේ. මම කියන්නේ ඕගොල්ලො උගත්තු. ටෙන්ඩර් මතම යැපෙන්නේ නැතුව ඕගොල්ලො තීන්දු ගන්න. පවතින මිල ගණන් එක්ක සසඳන්න.”

‘‘ඒක හොඳ යෝජනාවක් සර්…” වෘත්තීය සමිති ද එකඟ විය.

යම් යම් වෘත්තිය කරුණු සම්බන්ධයෙන් එදිරිවාදිකම් ඇති වෘත්තීය සමිති ද එහි සිටියත් අවසානයේ ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එම රැස්වීම අවසන් වූයේ ඉතා සුහදව පැවැති ඵලදායී සාකච්ඡාවක් ලෙසය. වෙනදා වෘත්තිය සමිති වුවමනාවන් මත ‘‘හෙට ඉඳලා අපි ලෙඩ වෙනවා…” යැයි කියමින් මහජනතාවගේ විදුලිබල අවශ්‍යතා හෑල්ලූවට ලක් කරමින් නිතර කතා කරන ඇතැම් වෘත්තිය සමිති නායකයන් පවා සාකච්ඡාව අවසානයේ ඉතා සුහදව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මන්නාරම බලා පිටත්ව ගියේය.

මන්නාරමේ සුවිශේෂතා බොහෝය. මන්නාරම වියළි කර්කශ දිස්ත‍්‍රික්කයක් වුවත් ලංකාවට බලපාන මෝසම් සුළං වර්ග දෙකෙන්ම අවුරුද්ද පුරා හොඳට හුළං හමන දිස්ත‍්‍රික්කයක් ලෙස මන්නාරම සැලකේ. මේ නිසා හුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී මන්නාරම ගැන කාගේත් අවධානය යොමු වීම පුදුමයක් නොවේ.

2014 මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සුළං බලය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයේ මෙහෙයවීමෙන් බලාගාරයකට මුල් ගල තැබුවේය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනාවක් යටතේ ඩොලර් මිලියන 135 ක වියදමින් මෙම ‘තම්බපවනී’ බලාගාරය නිමවීම සඳහා වැඩකටයුතු ආරම්භ විය.

ජනාධිපතිවරයා දෙවැනිදා මන්නාරමට ගියේ එම බලාගාරයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමටයි.

සුළං බලයෙන් විදුලිය නිපදවන මෙම බලාගාරයේ මෙගා වොට් 3.45 ධාරිතාවකින් යුතු ටර්බයින 30 ක් අන්තර්ගත විය. මෙහි සියලූ වැඩකටයුතු 2019දී අවසන් කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසින් 2020 දී විවෘත කිරීමෙන් අනතුරුව ජාතික පද්ධතියට මෙගා වොට් 103.5 ක විදුලියක් එකතු වී ඇත.

ජනාධිපතිවරයා මෙම බලාගාරයේ නිරීක්ෂණය කරන්නට ගුවනින් රවුමක් ගියේ දිගින් කිලෝමීටර් 12.5 ක් දුරට මෙම සුළං බලාගාර 30 ස්ථාපිතව තිබූ නිසාය. ඉන් පසුව ජනාධිපතිවරයා ප‍්‍රධාන කාර්යාලයට ගොස් සුළං බලාගාරය පිළිබඳ හැදෑරීම කළේ ඔවුන් විසින් සූදානම් කර තිබූ චිත‍්‍රපට දර්ශනයක් ද නරඹමිනි.

ජනාධිපතිවරයාට කුලූණකට නැග ටර්බයිනයේ ක‍්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනයක් කරන්නටද අවශ්‍ය විය.

‘‘මේකෙන් විදුලි ඒකකයක් හදන්න අපිට කොච්චර මුදලක් වැය වෙනවද..”

‘‘රුපියල් 8 ක් විතර….” ඉංජිනේරුවන් කීහ.

‘‘මන්නාරම තමයි හොඳටම සුළං තියන පළාත. බලන්නකො මේ පළාතේ අපිට මේ වගේ බලාගාර තව කීයක් හදන්න පුළුවන්ද කියලා… මේ වගේ ඉඩකඩ තියන තැන් පරිසර ප‍්‍රශ්න අවම නම් අපට ඉදිරියේදී කරන්න තියෙන හොඳම වැඬේ තමයි මේ වගේ දේවල්වලට අවධානය යොමු කරන එක… ” ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

‘‘ඒ විතරක් නෙවෙයි… හොඳට සුළං තියන පළාත්වල මේ වගේ බලාගාර හදන්න පුළුවන් තැන් ගැන අපි හොඳ අධ්‍යයනයක් කරන්න ඕන…” ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වූ එම පරිසරය ද තරමක් වෙනස් එකක් විය. නියම කරගත් වේලාවට වඩා වැඩිපුර විනාඩි 45ක් එහි සිටිමින් අවට තොරතුරු අධ්‍යයනය කරමින් අවට සොබා සෞන්දර්ය නරඹමින් ඔහු එහි කාලය ගත කළේ ඉතා සතුටිනි.

ඇමැති පුතෙක් විසින් එල්ල කළා යැයි කියන මැර ප‍්‍රහාරයක් ගැන ද කතාවක් කියවුණේ රාගම වෛද්‍ය විද්‍යාලය පැත්තෙනි.

වෛද්‍ය විද්‍යාලයේ අභ්‍යන්තරයේ සිදු වූ එක්තරා ‘නවක වධ සිද්ධියක් මුල්කරගෙන විශ්වවිද්‍යාලය තුළට වාහන දෙකකින් කඩාවැදුණු, අරුන්දික ප‍්‍රනාන්දු ඇමැතිවරයාගේ පුත‍්‍රයෙක් සහ පිරිසක් මේ මැර ප‍්‍රහාරයට සම්බන්ධව චෝදනා එල්ල විය. ඇමැති පුත‍්‍රයා තමන්ගේ මිත‍්‍රයකු නවක වධ සිද්ධියකින් බේරා ගැන්න යැයි කියමින් වාහන දෙකකින් විශ්වවිද්‍යාලය ඇතුළට ගොස් යකා නැටූ පුවත රට පුරා ප‍්‍රචලිත වන්නට වැඩි වේලා ගතවූයේ නැත…..

කෙසේ වෙතත් වැවිලි රාජ්‍ය ඇමැති අරුන්දික මුලින්ම මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළේය. තම පුත‍්‍රයා තම අමාත්‍යාංශයට අයත් වාහන හා තම බලය අවභාවිත කළේ යැයි කියන චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළේය.

‘‘ඔය සිද්ධියට මම සම්බන්ධයි කියන එක මම ප‍්‍රතික්‍ෂේප කරනවා. මම සම්බන්ධ නම් එක මොහොතක් මම මේ ඇමැති තනතුරේ ඉන්නේ නෑ…’’ ඔහු බදාදා රාත‍්‍රියේ කීවේය.

ඒ අතර ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් කැඳවීමක් ලැබිණි. අරුන්දික වහාම ජනාධිපතිවරයා හමුවන්නට ගියේ නැත. එසේ ගියහොත් සිදුවන සන්තෑසිය ඉවෙන් මෙන් අරුන්දිකට දැනෙන්නට ඇත. ඒ නිසා ජනාධිපතිවරයා හමුවන්නට නොගොස් දුරකථනයෙන් ඔහු අමතන්ට කල්පනා කළ අරුන්දික බ‍්‍රහස්පතින්දා දහවල් ජනාධිපතිවරයාට ඇමතුමක් ගත්තේය.

ඒ මොහොතේ ජනාධිපතිවරයා සිටියේ උදේ 11.00 ට ලේකම් කාර්යාලයට කැඳවා තිබූ ජාතික පොහොර කාර්යාංශයේ රැස්වීමකට සහභාගි වන්නට සූදානම්ව කාර්යාලයේ ය. අරුන්දිකගේ ඇමතුම පැමිණියේ ඒ මොහොතේ ය.

ජනාධිපතිවරයා කාටදෝ හිටි හැටියේම වහලේ උළු ගැලවෙන අන්දමේ වේගයකින් බැන වදිනු එළියේ සිටි ආරක්‍ෂක නිලධාරීන්ට ද ඇසණි. ඇසුණු වචනයක් දෙකක් ඇසුරින් ඒ බැන වැදුනේ කාටදැයි කියා ආරක්‍ෂකයන්ට පමණක් නොව රැස්වීමට පැමිණ ජනාධිපති එනතුරු මඟ බලා සිටි පොහොර කාර්යාංශයේ නිලධාරීන්ට ද අවබෝධ විය.

අරුන්දික තම ඉල්ලා අස්වීමේ ලියුම ජනාධිපති කාර්යාලය වෙත එවා තිබුණේ එම බැනවැදීමෙන් පැය භාගයකට පමණ පසුවයි.

කෙසේ වෙතත් සමහරු නම් අරුන්දිකගේ මේ ක‍්‍රියාව ඇගයීමකට ලක් කළේ මර්වින් සිල්වලා මෙන් තම පුතාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී නොසිට වරද කවුරු කළත් පරීක්‍ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතු යැයි ස්ථාවරයේ සිට අවසාන මොහොතේ හෝ ඉල්ලා අස්වී නීතියට හිස නැමීම පිළිබඳවයි.

  • මැර ප‍්‍රහාරය ගැන
    නාමල් ප‍්‍රසන්නගෙන් අහලා…

දඹුල්ලේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගිව සිටි ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාට පසුගිය ඉරිදා දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගෙනි.

‘‘අයියේ.. අයියා කොහෙද”

‘‘දඹුල්ලේ ටුවරිසම් ප්‍රෝග‍්‍රෑම් එකක”

‘‘බිත්තර කේස් එක දන්නෙ නැද්ද”

‘‘නැහැ මල්ලි, ඒ මොකක්ද”

‘‘අද කලගෙඩිහේනේ ජේ.වී.පී. මීටින් එකකට බිත්තර ගහලලූ”

‘‘බිත්තර ගහලා… කාටද”

‘‘සෝශල් මීඩියාවලින් එක එක දේවල් කියනවා. අනුර කුමාරට ගැහුවාලූ. වාහනේට ගහලාලූ. මීටින් එකට ගහලාලූ. දෙන්නෙක්ව අල්ලගෙන”

‘‘මල්ලි කියනකල් මම දන්නෙ නැහැනේ.”

‘‘ඒ වුණාට අයියාත් සම්බන්ධ වෙලා මේක කළා කියලා තමයි කියන්නෙ. අල්ල ගත්ත අය අයියගෙ නමත් කියලාලූ”? නාමල් කීවේය.

දුරකථන සංවාදය අවසන් වූ වහාම ඇමැතිවරයා සමාජ මාධ්‍යවල පල වී තිබූ සිද්ධියට අදාළ තොරතුරු කියෙව්වේය.

‘‘මමවත් නොදැන මම කරලා තියෙන දෙයක්” කී ඇමැතිවරයා නැවත දුරකථනය ගෙන ගම්පහ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇමතිතුමක් ගත්තේය.

‘‘නියෝජ්‍ය පොලිස්පතිතුමා, කළගෙඩිහේනේ මොකක්ද වෙලා තියෙන්නේ”

පොලිසියට වාර්තා වූ තොරතුරු හා සැකකරුවන් දෙදෙනෙක් හසුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විස්තර කළේය.

‘‘ඔය සිද්ධියේ ඇත්ත හොයාගන්න. නැත්නම් අපේ නම් කැත වෙන්නේ. පරීක්ෂණයක් කරලා සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න. මම ඔබතුමාට මේකට මගේ සම්පූර්ණ සහාය දෙනවා. මට ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්න වුමනාවක් නෑ යැයි ඇමැතිවරයා කීවේය.

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් අවසන් වූ විගස රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගත්තේය.

‘‘සර්, කළගෙඩිහේනේ සිද්ධිය ගැන දන්නවාද?”

‘‘ඔව්. ප‍්‍රසන්න මට ඒ ගැන ආරංචියි”

‘‘මගේ නමත් ගෑවිලාලූ”

‘‘කලබල වෙන්න එපා. මම දැනටමත් පොලිස්පතිවරයාට කිව්වා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.” ජනාධිපතිවරයා කීවේය.

‘‘ගම්පහ භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට මමත් කතා කළා. මටත් ඕනේ මේ සිද්ධියේ ඇත්ත නැත්ත එළියට ගන්න.” ප‍්‍රසන්න කීවේය.

‘‘ප‍්‍රසන්න කවුද කියලා අපි දන්නවා. පොලිස්පතිතුමාට කියලා තියෙන්නේ මේ සිද්ධිය ගැන හරියට පරීක්ෂණ කරන්න කියලා.” ජනාධිපතිවරයා නැවත කීවේය.

‘‘මේක හිතාමතාම ඔබතුමාත් රජයත් අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක්” ප‍්‍රසන්න කීවේය.

‘‘මටත් එහෙම තමයි හිතෙන්නේ” ජනධිපතිවරයා ද කීවේය.

මේ අතර ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ දුරකථනයට ඇමතුම් ගලා එන්නට වූයේය. එක් දුරකථන ඇමතුමක් අවසන් වන විටම තවත් දුරකථන ඇමතුමක් එයි. ඒ අතර දුරකථන ඇමතුම් ගැනීමට උත්සාහ කළ අයගේ ඇලට් මැසේජ් ය. ඒ සෑම ඇමතුමකින්ම කියන්නේ කළගෙඩිහේනේ සිද්ධිය ගැනය.

‘‘මේක නම් හරියන්නෑ. මට එකම උත්තරේ දීලා ඇතිවෙලා. මගේ පේජ් එකේ පණිවිඩයක් දාමුයි” කී ඇමැතිවරයා එදින රාත‍්‍රියේම කළගෙඩිහේනේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට වූ පණිවිඩයක් මුහුණු පොතේ පළ කළේය.

පසුදින ඇමැතිවරයා ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි දෙකක් යැව්වේය. ඔහු එමගින් අවධාරණය කළේ කළගෙඩිහේනේ බිත්තර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට වහා නීතිය ක‍්‍රියාත්මක කළයුතු බවයි. ඕනෑම පුද්ගලයකුට දේශපාලන මතයක් දැරීමේ අයිතියට ගරු කරන තමන් ඕනෑම දේශපාලන පක්ෂයකට රැස්වීමක් පැවැත්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ද ගරු කරන බව ඔහු කීවේය. මේ නිසා මේ බිත්තර ප‍්‍රහාරයට වගකිව යුත්තන් වහා රටට හෙළිදරව් කළයුතු ඇතැයිද ප‍්‍රසන්න ජනාධිපතිවරයාට ලීවේය.

ඉන් අනතුරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් ඇමතුමක් ගත්තේය.

‘‘ආ… ප‍්‍රසන්න.”

‘‘ඇමැතිතුමා මම ගත්තෙ අර කළගෙඩිහේනේ සිද්ධිය……”

‘‘ ඕවා ඔහොම තමයි. මට මොන තරම් කතා කියනවද. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ” කී මුදල් ඇමැතිවරයා සිනහසුනේය.

මේ අතර ඇමැතිවරයාට මාධ්‍ය ආයතනවලින් දුරකථන ඇමතුම් ගණනාවක් ලැබිණි. ‘‘අපි ප‍්‍රකාශයක් කරමු මේ ගැන. නැත්නම් හරියන්නෙ නැහැ” කී ඇමැතිවරයා මෙවැනි දෙකයි පනහේ වැඩවලට තමා සම්බන්ධ නොවන බව සඳහන් කළේය.

මේ අතර අත්තනගල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාද ඇමැතිවරයාට කතා කළේය.

‘‘ඇමැතිතුමා,’’

‘‘ඔව් සභාපතිතුමා, කළගෙඩිහේනේ සිද්ධිය ගැන අහන්නද ගත්තේ”

‘‘නෑ.. නෑ.. සිද්ධියට සම්බන්ධ වෙන කාරණයක් කියන්න”

‘‘ඒ මොකක්ද”

‘‘ඔය රැස්වීමට දුන්නේ අපේ කොඩිකණු ටික”

‘‘ඔයාලද කොඩිකණු දුන්නේ”

‘‘සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරිය අපෙන් කණු ටික ඉල්ලූවා. අපි නොමිලෙමයි කණු දුන්නේ”

‘‘කොඩි කණු ටිකත් දීලා, බිත්තර ගැහුවා කියලා අහගත්ත” කියමින් ඇමැතිවරයා සිනාසුනේය.

‘‘මම ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ. ඔය වැඩෙන් වුණේ කළගෙඩිහේනේ රැස්වීමට අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් ලැබුණ එකයි.” ඔය 3% කට්ටිය අපිට අභියෝගයක් නෙමෙයි. ඇමැතිවරයා නැවතත් කීය.

‘‘ඇමැතිතුමා තවත් හොඳ කතාවක් තියෙනවා” සභාපතිවරයා කීවේය.

‘‘ඒ මොකක්ද”

‘‘ඔය රැස්වීමට දුන්න කණු බැසිල් මහත්තයා ආර්ථික සංවර්ධන ඇමැති විදිහට ප‍්‍රාදේශීය සභාවලට දුන්නු ඒවා. ඔය කණු දුන්නට බැසිල් මහත්තයට නඩුත් දැම්මා. ජ.වි.පෙ. කට්ටිය සෑහෙන්න දොස් කිව්වා. අද ඒ අයටත් රැස්වීමක් තියන්න ඒ කණු ටික නැතුව බෑ සභාපතිවරයා කීවේය.”

එදින සවස අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්විණි.

දඹුල්ලේ සිට සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් හමුවට එක්වූ ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කළේය.

මේ අතර එම සමාජ මාධ්‍යවල තිබූ එක් වීඩියෝවක බිත්තර ගැසීමට පැමිණි බව කියන පුද්ගලයන්ගෙන් එක් අයකු ප‍්‍රශ්න කිරීම්වලදී වීරසිංහ නැමැති අයකු තමාව එවූ බවත් ඔහු ප‍්‍රසන්න රණතුංගගෙන් ඕනෑම වැඩක් කරගත හැකි යැයි කියූ බවත් සඳහන් කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කලින් දිනයකදී මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ ප‍්‍රකාශය නිසා ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාට ගැළවීමක් නැති බවයි. ඊට පසුදින යූටියුබ් නාලිකාවක් ඔස්සේ සාකච්ඡාවකට එක්වූ විජිත හේරත් මන්ත‍්‍රීවරයා නැවත සඳහන් කළේ වීරසිංහ නැමැති කෙනෙක් ගැන අත්අඩංගුවට පත්වූ සැකකරු කරන ප‍්‍රකාශය ප‍්‍රබන්ධයක්ද විය හැකි බවයි.

”වීරසිංහ කියලා කෙනෙක් ඉන්නත් පුළුවන්. නොඉන්නත් පුළුවන්. අපි දන්නෙ නෑනේ ගැළවෙන්න මේ වගේ කතාවක් කිව්වද කියලා.” විජිත කියා තිබුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක ගැන පසුගිය දිනවල සමාජයේ වැඩිපුර කතාබහ වූයේ රාජගිරිය සිද්ධිය නිසා ය. අධිකරණය හමුවේ තිබෙන පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිමය ලෙස කටයුතු කරන්නට චම්පික සෙවූ සියලූ විකල්ප මාර්ග අවහිර විය. ඔහු අධිකරණයට ඉදිරිපත් විය යුතුම බව තහවුරු විය. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළේද චම්පිකට පක්ෂව මෙන්ම විපක්ෂව ද කරුණු හුවමාරු නොවූවා නොවේ.

සරත් ෆොන්සේකා හා සජිත් පේ‍්‍රමදාස ද මේ ගැන මහත් උනන්දුවෙන් කතා කරන ආකාරය අපට දැකගත හැකි විය.

ඒ අතරතුර සමඟි ජන බලවේගය ඇතුළේ සාකච්ඡාවට ලක් වූ තවත් උණුසුම් මාතෘකාවන් ගණනාවක්ම තිබිණි.

  • නිදහස් උත්සවය
    සජිත්ලට එපාලූ…
බිත්තර මැර ප්‍රහාර හා නොහික්මුණු ඇමති පුත්තු

පෙබරවාරි 4 වැනිදා උදාවන නිදහස් දිනයේදී යම් යම් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින වැරදිකරුවන්ට සමාව දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙවර එම ජනාධිපති සමාව ලබා දෙනු ලයිස්තුවට රන්ජන් රාමනායකගේ නම ඇතුළත් කර ගැනීම සඳහා පසුගිය දිනවල සමාජයේ ලොකු කතිකාවක් ඇති විය. ඇත්ත නැත්ත කුමක් වුවත් කතාව ගියේ මේ රටේ ප‍්‍රසිද්ධ කලාකරුවන් පිරිසක් ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති හමු වී ඒ පිළිබඳ ඉල්ලීම්ක් කළ බවයි.

ඔවුන්ගේ අභිලාෂය වන්නට ඇත්තේ නිශ්ශංක සේනාධිපති හරහා එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ගෙන යෑම විය හැකිය. කෙසේ වෙතත් ආණ්ඩුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකින් ඒ පිළිබඳ සතුටුදායක උත්තරයක් නම් එළියට ආවේ නැත.

තත්ත්වය මෙසේ තිබිය දී සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු ද මේ සඳහා විවිධ උත්සාහයන් ගනිමින් සිටියහ. ඒ කිසිදු උත්සාහයක් ඵල දරා ඇතැයි කියා කතාවන් ද නොවීය.

කෙසේ වෙතත් පසුගිය සතියේ 3 වන බ‍්‍රහස්පතින්දා සවස සිරකරුවන් 197 දෙනකුගේ නම් ඇතුළත් නිවේදනයක්ද ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබීය. එහෙත් එහි කිසිදු තැනක රන්ජන් රාමනායකගේ නම නොවීය.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය තුන් වෙනි බ‍්‍රහස්පතින්දා හවස් වන්නේ සමගි ජන බලවේගය නායක සජිත් පේ‍්‍රමදාස රන්ජන් රාමනායක හමුවන්නට බන්ධනාගාරයට ගියේය.

ඔබව නිදහස් කරගන්න අපි මේ වෙලාවේ හැම උත්සාහයක්ම දරමින් ඉන්නවා‘‘ සජිත් කීවේය.

‘‘ස්තූතියි…. මං හිතනවා මාව නිදහස් කරයි කියලා”

රන්ජන් සජිත් සමග කියා තිබුණේය. රන්ජන්ගේ සුව දුක් බැලූ සජිත් පිටතට පැමිණ නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ රංජන් නිදහස් කරන ලෙස ය.

‘‘කලාකරුවෙක් විදියට කලා ක්ෂේත‍්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉෂ්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක‍්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප‍්‍රසාද ප‍්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස්කම වෙනුවෙන්.” යැයි සජිත් පැවසීය. එහෙත්,

නිදහස් දින සිරකරුවන්ගේ නිදහස් කිරීමේ ලයිස්තුවට රන්ජන් රාමනායකගේ නම ඇතුළත් නොකිරීම ගැන සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් කලකිරීමෙන් කතා කරන්නට වූහ. රන්ජන්ව නිදහස් කළේ නැත්නම් නිදහස් උත්සවයේ කිසිදු කටයුත්තකට විපක්ෂ නායකයා විදිහට අපේ නායකතුමා සහභාගි විය යුතු නෑ…. ඇතැම් මන්ත‍්‍රීවරු කෙළින්ම සජිත්ට එසේ යෝජනා කරන්නට පවා ඉදිරිපත් වූහ.

ඒ වනවිට නිදහස් උත්සවයට සහභාගි වන ලෙස විපක්ෂ නායක සජිත්ට ද ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණේය.

ඒ පිළිබඳව ඔහු තම මන්ත‍්‍රී කණ්ඩායම සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අමතක නොකළේය.

‘‘ඔබතුමා මේ නිදහස් උත්සවයට යන එක ගැන නම් අපේ මනාපයක් නැහැ …..‘‘මන්ත‍්‍රීවරු කීහ.

‘‘මේ රටේ තියෙන තත්ත්වය ඉතාම අවදානම්. මිනිස්සු ජීවත් වෙන්නේ මැරි මැරී. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. නිදහස අභිමානයෙන් සමරන එක ගැන ගැටලූවක් නැහැ. හැබැයි මේ නාස්තිකාර සෝබන බොරු වියදම් කරලා කරන සැණකෙළිවලට අපිට එකඟ වෙන්න බෑ” සජිත් කීවේය.

‘‘නායකතුමා කියන කතාව ඇත්ත. මේ වෙලාවේ කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරලා කොහොමද උත්සවයක් කරන්නේ?. බොහොම චාම්ව නිදහස් දිනය සමරන්න තිබුණ. ලෝකේ හැම රටක්ම කරන්නේ එහෙම.” මහ ලේකම් රංජිත් කීවේය.

‘‘ගෙදරට මරගාතේ. ලෝකෙට පරකාසේ කියලා අපේ පරණ මිනිස්සු කිව්වෙ ඔන්න ඕකට….‘‘ තිස්ස කීවේය.

‘‘දැන් නං මේ ආණ්ඩුව ලෝකෙටත් මරගාතේ ගෙදරටත් මරගාතේ” ගයන්ත කරුණාතිලක කීවේය.

මන්ත‍්‍රී කණ්ඩායම් සාකච්ඡාව අවසාන වුණේ නිදහස් උත්සව උළෙලට සහභාගි නොවන බවට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයා තීන්දු කිරීමෙන් අනතුරුවය.

‘‘මේ ගැන විශේෂ නිවේදනයක් මහ ලේකම්තුමාගේ අත්සනින් නිකුත් කරන්න” සජිත් උපදෙස් දුන්නේය.

  • තරුණයන්ට රනිල්ගෙන්
    ඉතිහාස පාඩමක්….

පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ද හදිසියේම පුත්තලම බලා පිටත්ව ගියේය. ඒ සමාජ ක‍්‍රියාකාරීන් හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් පිරිසක් හමුවීමට ය. එම හමුව පැවැතියේ ‘‘බෙතනි බංගලාව‘‘ නම් ස්ථානයේය. සුදු ජාතිකයන් විසින් ඉදිකරනු ලැබූ මෙම බංගලාවට දේශපාලන ඉතිහාසයක් ද තිබෙන බව අද සිටින සමහර තරුණ දේශපාලනඥයෝ නොදනිති. රනිල් මෙහි විස්තර එතන සිටි තරුණ නායකයන්ගෙන් විමසන්නට වූහ.

‘‘ඔබ දන්නවාද මේ බෙතනි බංගලාවේ ඉතිහාසය ගැන.” නායකයා එහි සිටි තරුණයකුගෙන් විමසද්දී ඔහු එය දැන සිටියේ නැත. ‘‘මේවා දැනගන්න ඕනා ළමයා” යැයි කී නායකයා කළ ඉතිහාස විස්තරය බොහෝ දෙනකු අසා සිටියේ ඇස් උඩ දල්වාගෙනය.

සුදු අධිරාජ්‍යවාදීන් ඉදිකළ මෙම බංගලාව පසු කලෙක හිමිවූවේ බදියුදීන් මුහමද් නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටි අධ්‍යාපන ඇමැතිවරයාට ය. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් වූ අභ්‍යන්තර රහස් සාකච්ඡා ගණනාවක් පවත්වා තිබුණේද මෙම බෙතනි නිවස්නයේය.

රනිල් වික‍්‍රමසිංහ ද සිය ඊළඟ දේශපාලන බලපෙරළය වෙනුවෙන් කතිකා කර ගැන්මට මෙම ස්ථානය යොදා ගැනීම ද විශේෂත්වයකි. එහිදී නායකයාගේ ප‍්‍රධානත්වයෙන් වැඩමුළුවක් ද පැවැති අතර සමාජ නිර්මාණවේදීන්ගේ කණ්ඩායම නමින් එම කණ්ඩායම නම් කෙරිණි. අනතුරුව පක්ෂය ජනතාව අතරට ගෙනයෑම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙළ ගැන මෙහිදී සැලසුම් රැසක් සකස් කෙරිණි.

  • රනිල්ට කළ අභියෝගය
    ආපස්සට කැරකිලා

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහට අභියෝග කළ එජාප නායකයෝ බොහෝය. ඒ සෑම කෙනකුට ම මුහුණපාන්නට සිදු වූ පොදු ඉරණම වූයේ පසු කලෙක පක්‍ෂයෙන් ඉවත්ව යන්නට සිදුවීමය. අද සමගි ජන බලවේගයේ සිටින බහුතරයක් දෙනා එම ඉරණමට මුහුණ පෑ අය බව නොදන්නා කෙනෙක් නැති තරම් ය.

මෑතක දී සිදු වූ සිදුවීම් කීපයක් මුල් කරගෙන එම ඉරණමට නුදුරේම මුහුණ දෙන පුද්ගලයා ලෙස පසුගිය සතියේ කැපී පෙනුණේ අනුරාධපුරයේ සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක ය.

පක්‍ෂ නායක රනිල්ට සජිත් පේ‍්‍රමදාස වැනි සෙසු නායකයෝ පසුගිය කාලවල අභියෝග කරද්දී රනිල්ට නිරතුරුව සවියක් වූ තරුණ නායකයා කස්තුරි අනුරාධනායකය. එහෙත් කස්තුරි පසුගිය කාලයේ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පිළිබඳව ද ලොකු විවේචනයක් ගෙන ආවේය. රුවන් විජයවර්ධන, නවීන් දිසානායක, රවි කරුණානායක, අර්ජුන රණතුංග වැනි නායකයන්ට වැඩ කරන්නට ඉඩ නොදී සියලූ වැඩ තනියම කරට ගෙන කරන්නට ගොස් රනිල් නිරතුරුවම අසාර්ථක වීම සම්බන්ධයෙන් කස්තුරි එළිපිට ම විවේචන ගෙනාවේ මේ නායකයාගේ වැඩ නිසා පක්‍ෂයට අංශභාගය හැදී ඇතැයි චෝදනා කරමිනි.

මෙයින් හොඳට ම කිපුණු රනිල් වික‍්‍රමසිංහ කස්තුරිට දඬුවම් කරන්නට කල්පනා කළේය. තමන්ට එරෙහිව නොබියම විවේචන ගෙන එමින් සෙසු නායකයන් වෙනුවෙන් කතා කරන මේ මිනිසා පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට නොගැළපේය යන්න ඔහුගේ තර්කය විය. රනිල් වහාම කස්තුරිට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් කළේය. පළමුවැන්න පක්‍ෂය බිම් මට්ටමේ සංවිධාන කටයුතු පැහැර හැරීමය. දෙවැන්න පක්‍ෂය භේදභින්න වන සේ හැසිරීමය.

මේ චෝදනා දෙක මත කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නෙරපා දැමූ කස්තුරිට වහාම තමන් හමුවන ලෙස නායකයා නිවේදනයක් ද නිකුත් කර සිටියේය.

මේ අතර කස්තුරි අනුරාධනායක රුවන් විජයවර්ධනගේ නායකත්වයෙන් පක්‍ෂයේ තරුණ පෙරමුණේ වැඩමුළුවක් ද ඒ වනවිට රාමඩා හෝටලයේ දී පවත්වන්නට කටයුතු සංවිධානය කර තිබිණි. පසුගිය ජනවාරි 30 වැනිදා පවත්වන්නට යොදා ගෙන සිටි එම තරුණ වැඩමුළුවල ද අවලංගු කර දමන ලෙස රනිල් තම නියෝජ්‍ය නායකයාට අණ කළේය. කොවිඞ් හේතුවෙන් මේ වැඩමුළුව කල් දමන්නට ලැබුණු නියෝගය පිළිපඳින්නට රුවන් විජයවර්ධනට ද සිදුවිය.

එහෙත් ඒ අතරතුර රනිල් තම අවශ්‍යතාවය අනුව පසුගිය ඉරිදා සිරිකොතේ දී වෙනත් තරුණ සමුළුවක් කැඳවනු ලැබීය. යොවුන් පෙරමුණ යළි ශක්තිමත් කර ස්ථාපිත කිරීම වෙනුවෙන් එම කටයුත්ත සංවිධානය කිරීම රනිල් භාර කළේ අලූතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට තේරී පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනකු වන ෂෙහාර හේරත් හා දිනුක් කොළඹගේට ය.

රාමඩා හෝටලයේ සමුළුව කොවිඞ් නිසා කැන්සල් විය. සිරිකොතේ තරුණ සමුළුව තරුණ නියෝජිතයන් 140කගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මේ තරුණ සමුළුවට සමගාමීව දිස්ත‍්‍රික්කයෙන් දිස්ති‍්‍රක්කයට ගොස් මෙවන් තරුණ සම්මේලන කැඳවා සංවිධානය කිරීමේ වගකීම එජාප යොවුන් පෙරමුණ වෙනුවෙන් දිනුක්ට හා ෂෙහාරට භාර දෙන්නට මෙහි දී පක්‍ෂ නායකයා කටයුතු කළේය.

එජාප තරුණ සංවිධානය දේශපාලනයෙන් පමණක් නොව කලාවෙන්, සාහිත්‍යයෙන්, ක‍්‍රීඩාවෙන් හා සංස්කෘතික අංගවලින් ද පෝෂණය කරන්නට රනිල් මේ තරුණ නායකයන් දෙදෙනාට උපදෙස් ලබා දුන්නේය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment