බිඳක් දක්වමි උදක් ඔකඳින්…..

97

පන්සැත්තෑ වසක් සැපිරෙන මාතර වීරබා මහ පිරිවෙන

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර මහෝත්තමයාණන් වහන්සේගෙන් ප්‍රභව වූ සඟ පරපුරෙන් බිහිවූ සංඝයා වහන්සේ නමක් ක්‍රි. ව. 1800 දී පමණ මාතර, නූපේ, තොටමුණ ජයමහා විහාරස්ථානය ආරම්භ කර ඇති බවට සාධක විද්‍යාමාන වේ. විහාරස්ථානයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල වන පොහොය සීමා ගෙය නිර්මාණය කළ වර්ෂය බු. ව. 2339 ලෙස එහි පිහිටුවා ඇති ශිලා ලේඛනයේ “සුගතාබ්දම් ඨූලීගොත්‍රම්” යනුවෙන් දක්වා ඇත. ජයමහා විහාරස්ථ විහාර මන්දිරයේ හා ධර්ම ශාලා මන්දිරයේ ඇති චිත්‍ර මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයත් වන බව ඉතිහාසඥයන්ගේ මතයයි. මේ අනුව ශතවර්ෂ දෙකකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ පුණ්‍යක්ෂේත්‍රයක් විලසින් කුසලාභිවර්ධන කරමින් සිදුකෙරෙන ශාසනික සේවාව ප්‍රශංසනීයහ.

සිංහල රාජවංශ ඉතිහාසය හා මාතර සම්බන්ධකම් ඇත්තේ ස්වල්ප වශයෙනි. දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ බෑණනු වීරබාහු කුමරු රජකමට පත්කොට එවීමෙන් දෙවිනුවර මහා විහාරස්ථානයත් උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයත් දියුණු කරවා ඇති බවත්, එසේම වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ කිරීමත් ආදිය නිසා රජතුමාට මහත් සෙත සැළසුණු බව ඉතිහාසයේ සඳහන් වේ. වීරබාහු කුමරුගේ මේ සම්බන්ධකම් ස්මරණය කරමින්, මාතර නූපේ තොටමුණ ජයමහා විහාරස්ථානයේ 1949.01.01 දින ආරම්භ කළ පිරිවෙනට වීරබා පිරිවෙන ලෙස නම් තබන ලද බව විශ්වාස කෙරේ.

බිඳක් දක්වමි උදක් ඔකඳින්…..

මාතර නූපේ තොටමුණ ජයමහා විහාරස්ථානයේ අධිපතිත්වය ඉසිලූ ලෝක ශාසන ඉතිහාසයේ සුපතල පඬිවරුනක් වූ, ඓතිහාසික මාතොට පුරවරයට අධ්‍යාපනික, ශාසනික, සමාජීය හා ආගමික වශයෙන් සුවිශාල මෙහෙවරක් කළ “කල්‍යාණිවංශධ්වජ කීර්ති ශ්‍රී විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී මේධානන්ද නාහිමිපාණෝ” මාර/වීරබා පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණාහ.

1980 දශකය වන විට මාර/වීරබා මූලික පිරිවෙනේ පැවැති අධ්‍යාපන, අනධ්‍යයන ආදී සෑම ක්‍ෂේත්‍රයකම වූ මනා පරිපාලනය හා දියුණුව මෙන්ම ශිෂ්‍යයන්ගේ ත්‍රිවිධ අධ්‍යාපනික කුසලතාවන්ගේ වූ දියුණුව සලකා බලමින්, මූලික පිරිවෙන මහ පිරිවෙනක් බවට උසස් විය. 1940 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ගිහි පැවිදි උගත් පරපුරක් බිහි කරන අධ්‍යාපන ආයතනයක් වශයෙන් සුවිශාල මෙහෙවරක් සිදු කිරීමට වීරබා මහ පිරිවෙන් මාතාවට හැකියාව ලැබී ඇත.

විද්‍යාර්ථින්ගේ ධර්ම ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරනු වස් වීරබාවෙන් ප්‍රකාශිත ග්‍රන්ථයක් පහත අයුරින් දැක්විය හැකිය.

  • සාර පූජා (අති පූජනීය දොඩම්පහල අමරවංශ නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය) 1995 විභාවිනී (අතිපූජනීය මාතර ශ්‍රී මේධානන්ද මහා නායක ස්වාමීන්ද්‍ර, අතිපූජනීය දොඩම්පහල අමරවංශ සංඝනායක ස්වාමීන්ද්‍ර අභිසම්මෝදනා ශාස්ත්‍රීය සංග්‍රහය) 2013 අභිවන්දනා (අතිපූජනීය දොඩම්පහල අමරසිරි නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය) 2014 මාර/වීරබා මහ පිරිවෙනේ නූතන නියමුවරයාණන් වන්නේ අති පූජනීය දොඩම්පහල අමරසිරි හිමිපාණන් වහන්සේය. 1989 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා පරිවෙණාධිපති ධුරය උසුලමින් ද තදනන්තරව කෘත්‍යාධිකාරි ධුරය දරමින් ද මාර/වීරබා මහ පිරිවෙනේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් උන්වහන්සේ සිදු කළහ.

“උත්තම පූජා ගුරු අභිවන්දනා” වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේද ඇගයීමට පාත්‍ර වූ එවන් එක් වැඩසටහනකි.

අතිපූජ්‍ය දොඩම්පහල අමරසිරි නාහිමිපාණන් වහන්සේගෙන් පසු පරිවේණාධිපති ධුරයට පත්වූ, වීරබා මහ පිරිවෙනෙහි ම ආදි ශිෂ්‍යයකු වූ වත්මන් පරිවේනාධිපති අතිපූජ්‍ය ගොයම් බොක්කේ මහින්ද හිමිපාණන් වහන්සේද, දොඩම්පහල අමරසිරි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් හා මඟ පෙන්වීමෙන් සුපෝෂිත ව උන්වහන්සේ සතු අද්විතීය කළමනාකරණ ශක්තියෙන්, නොපසුබට උත්සාහයෙන්, අප්‍රතිහත කැපකිරීමෙන් හා දූරදර්ශී නායකත්වයෙන් ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය පිරිස මනා මෙහෙයවීමෙන් ද ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය පිරිසේ මනා දායකත්වයෙන්ද වත්මන වනවිට සුවිශාල ජයග්‍රහණයන් සමූහයක් දායාද කරන්නට සමත්ව ඇත්තාහ.

මෙලෙස පන්සැත්තෑවසක කාලයක් අධ්‍යාපන ආයතනයක් වශයෙන් සිදුකරමින් එන අද්විතීය ධර්ම ශාස්ත්‍රීය සේවාවන් ඉදිරියටත් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අනලස්ව සිදු කිරීම වස් වීරබා මහ පිරිවෙන් ප්‍රජාව වෙත තුනුරුවනේ ආශිර්වාදය හා ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු දෙවියන්ගේ දේවාශිර්වාදය පතමින් ශුභාශිංසන පිරිනමන්නාහ.

දෙවිනුවර පරම විචිත්‍රාරාමාධිපති, කල්‍යාණ වංශ නිකායේ මහානායක ධුරන්ධර
දෙවිනුවර සිරිසුනන්ද මහ නාහිමිපාණෝ

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment