බිඳ වැටුණු ප්‍රභූතන්ත්‍රය සහ ඓතිහාසික දේශපාලන උරගල!

456

ශ්‍රී ලංකාවේ ලක්ෂ දෙසිය විස්සකට නොඅඩු සමස්ත ජනතාවගේ ඉරණම මෙන්ම රටේ සමාජ – දේශපාලන, ආර්ථික ක්‍රියාදාමය මෙහෙයවීමේ භාරකාරත්වය පැවරිය යුත්තේ කවර දේශපාලන කණ්ඩායමකටද යන උභතෝකෝටිකය විසඳීම සඳහා තව දින තුනකින් එනම් මෙම 14 වැනිදා මේ රටේ ඡන්ද හිමි ජනයා තම ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානය කරා යෑමට සූදානම්ව සිටිති. දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබන ජනතා පරමාධිපත්‍ය තම හෘදය සාක්ෂියට එකඟව මෙන්ම වෙනත් කරුණු මතද පිහිටමින් ලබාදෙන ජනතාවට තම වගකීම්වලින් නිදහස් වී කිසියම් මානසික සැහැල්ලුවක් ලබාගැනීමටද එයින් හැකිවනු ඇත.

එහෙත් ඒ පැන්සල් කොටයෙන් සිදුවන ක්‍රියාදාමය ඔවුන් විසින් අපේක්ෂා කරනු ලබන සමාජ-දේශපාලන ආර්ථිකය අර්ථවත් කෙරෙන්නක් දැයි නිශ්චිතව දැන මැන ගැනීමට තවත් වසර කීපයක් බලා සිටීමටද ඔවුන්ට සිදුවනු ඇත. එය සාමාන්‍යයෙන් වසර පහකට සීමා වන්නක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් ගෙවී ගිය හැත්තෑ හය වසරකට නොඅඩු ඒ ඉතිහාසය තුළ මෙරටේ බලය අත්පත් කරගත් අය විසින් මේ රටට ලබාදෙන ලද ජයග්‍රහණ-ප්‍රතිලාභ කෙබඳු ද යන්නත් මැනවින් වටහාගත් ප්‍රබුද්ධ ජන කොටස් ද මෙරටේ සිටිති.

කෙසේ හෝ මෙම 14 වැනිදා මෙරටේ ජනතාව ඡන්ද පොළට යන්නේත් තම ඡන්දය පාවිච්චි කරන්නේත් සුවිශේෂ තත්ත්වයක්, පෙර නොවූ විරූ සමාජ දේශපාලන පසුබිමක් තුළය. ඒ වූ කලී නිදහසින් පසු මෙරටේ පාලන බලය හුවමාරු කරගත් ප්‍රභූන්ගේ ආධිපත්‍ය, ප්‍රතික්ෂේප කරමින් ඒ බලය පොදු ජනතාව අතරින් ආ දේශපාලන නායකත්වයකට පවරා තිබෙන අලුත් සමාජ දේශපාලන සමාරම්භයකට රට යොමුව තිබෙන නිමේෂයකි.

එසේම එය මෙරටේ සාම්ප්‍රදායික වාමාංශික නායකයන්ට සිය ජීවිත කාලය තුළ ලබාගැනීමට නොහැකි වූ රාජ්‍ය බලය වමේ සන්නාමයක් සහිත පක්ෂයක නායකයකුට දිනාගත හැකි වී තිබෙන ඓතිහාසික අවස්ථාවකය. මේ හැරුණු විට නිදහසින් පසු මෙරටේ බිහි වූ පක්ෂ වශයෙන් හා සන්ධාන ලෙසද ප්‍රමුඛ දේශපාලන ධාරාවන්වී තිබුණු එජාපය හා ශ්‍රීලනිප යන නාමයන් පවා දේශපාලන භූමිකාවෙන් මැකී ගොස් තිබෙන වාතාවරණයක් තුළය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඔහුගේ පක්ෂයේ කීපදෙනෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස මේ මැතිවරණයේ ක්‍රියාකාරීව සිටිති.

බිඳ වැටුණු ප්‍රභූතන්ත්‍රය සහ ඓතිහාසික දේශපාලන උරගල!

එහෙත් රනිල් මැතිවරණයට තරග කරන්නේද නැත. ඔහු සිය පක්ෂ ලකුණ වන අලියාද අත්හැර දමා ගෑස් සිලින්ඩර ලකුණින් තමන් සමග පසුගිය දෙවසරක පමණ කාලය ඇතුළත රට පාලනයට දායක වූ පිරිසක් සමග මේ මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටියි. ශ්‍රී.ල.නි.පයේ හිමිකාරත්වය තම පාර්ශ්වයට ලැබී ඇතැයි පවසන හිටපු ඇමැති නිමල් සිරිපාල ඇතුළු කීපදෙනෙක්ද රනිල්ගේ අලුත් පෙරමුණෙන් මෙවර තරග කිරීමද විශේෂත්වයකි. පක්ෂයේ ලේකම් බව පවසන දයාසිරි ඉන්නේ ඔවුන්ට පසමිතුරු සජබ කණ්ඩායමේය.

මේ අතර එජාපයෙන් බිඳුණු කණ්ඩායමක් වන සජබය-සජිත්ගේ නායකත්වයෙන් මෙවර තරග කරද්දී ශ්‍රීලනිපය හැර ශ්‍රී ලංකා පොදු පෙරමුණ ලෙස මහින්ද රාජපක්ෂ පාර්ශ්වයද වෙනම තරග කරති. රාජපක්ෂවරුන්ගේ දේශපාලන කලාපය හම්බන්තොට උරුමය වෙනුවෙන් රාජපක්ෂවරයෙක් ඉදිරිපත් වී නොසිටීමද මෙවර තවත් විශේෂත්වයකි.

මෙරටේ වමේ පුරෝගාමී නායකයකු වූ වාසුදේව නානායක්කාර ද මෙවර සක්‍රීය දේශපාලන චරිතයක් නොවන අතරම ම.එ.පෙ. නායක මෙන්ම හිටපු අගමැතිවරයකු ද වන දිනේෂ් ගුණවර්ධන රනිල්ගේ පෙරමුණ තෝරා ගෙන සිටීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඇත්ත වශයෙන්ම හැත්තෑව – අසූව දසකවල මෙරටේ දේශපාලන ක්ෂේත්‍රයෙහි සිටි සෑහෙන පිරිසක්ද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව නොසිටිති. රනිල්ට හා සජිත්ට අමතරව විපක්ෂයේ බහුතර බලයක් ඉල්ලා සිටින දිලිත්ගේ සර්වජන බලය, රන්ජන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ, උවිඳු විජේවීරගේ දෙවන පරපුර, මෙරටුගාමී පක්ෂයේ අරගල සන්ධානය ඇතුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්ද මෙවර මැතිවරණ, සටනේ සිටිති.

මේ සියල්ල මතුපිටින් බලා කළ හැකි සරල විග්‍රහය වන්නේ ජනාධිපති අනුර, අගමැතිනි හරිනි, ඇමැති විජිත නියෝජනය කරන ආණ්ඩුව තනි දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් අනෙක් සියල්ලෝම ඔවුන්ට විරුද්ධ එහෙත් විසිරුණු සංවිධාන ලෙසත් මේ මැතිවරණයට තරග වදින බවය. දකුණේ මේ කැළඹිලි සහිත දේශපාලනය උතුරු – නැඟෙනහිර හා කඳුකරයේද අපට දැකගත හැකිය. මේ වනවිට දකුණේ ඇතිවූ සමාජ දේශපාලන අභිලාෂයන්හි කම්පනය උතුරු නැඟෙනහිර ජනතාවටද දැනෙන එකක් බව ඒ බොහෝ දෙමළ නායකයෝද වටහා ගත යුතු වෙති.

ජනාධිපති අනුර කුමාර විසින්ද ඒ අදහස් තහවුරු කරනු ලැබ ඇත. විශේෂයෙන් උතුර නැඟෙනහිර ජනතාවද අලුත් ජීවිත අපේක්ෂාවලින් සිටින පිරිසකි. මේ දක්වා ඔවුන්ගේ දේශපාලන නායකයන්ට එබඳු වෙනසක් සිදු කිරීමට නොහැකි වූ සැබෑ හේතු මොනවාද යන්නත් අද ඔවුහු දනිති. සිංහල සමාජය තුළ සිදු වූ දේශපාලන බල අරගලය හා සමාන පසුගාමී දේශපාලනයකින් උතුරු නැඟෙනහිරද අඳුරේ තැබීම ඒ නායකයන්ට හැකිවිය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වෙනුවෙන්ද ඒ ජනතාවට කඹුරන්නටද සිදු වූ ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඒ තරුණ පරපුරට අද තිබේ. කොළඹ සිට යාපනය දෙස බලන බොහෝ දෙමළ නායකයන් ගෙවූ වරප්‍රසාද සහිත ජීවිත ඒ පළාත්වල පොදු දෙමළ සමාජයට ලැබුණේ නැත. උතුරේ ත්‍රස්තවාදය අවසන් වුවත් ඒ ජනතාවගේ ජීවන රටාව වෙනස් වී නැත.

ජනාධිපති අනුර පවසන පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන්න උතුරු නැඟෙනහිර ජනතාවද අපේක්ෂා කරති. ශ්‍රී ලාංකික ජාතියක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වල සමාජ සංස්කෘතික බැඳීම් හා වෙනස්කම්ද වටහා ගත් ප්‍රබල සංකල්පයක් බව වටහා ගත් පිරිස් අද තල්වැටෙන් එහාත් සිටිති. වාමාංශික සන්නාමයක් සහිත ජනාධිපතිවරයකු තෝරා ගත් ජනතාව ඒ ජනාධිපතිවරයාගේ ගමනට බල ශක්තිය ලබාදිය යුතු බව එයට දායක වූවෝ මෙන්ම සම්මාදම් නොවූ අයද දනිති. එසේම මෙම මහ මැතිවරණය ඒ බලය උරගා බලන ඓතිහාසික උරගල බව ජනතාව මෙන්ම තම බලඅධිකාරය ගිලිහී යෑමෙන් කම්පතිවූවෝද දනිති.

හිටපු ජනාධිපති රනිල් රටට පවසන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීමට තිබෙන මේ අවස්ථාවේදී පළපුරුදු තම කණ්ඩායමට විපක්ෂයේ බලය ලබාදිය යුතු බවය. මෙය ධනේශ්වර දේශපාලන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාව ඉදිරියට දමමින් සිදුකරන මෙහෙයුමක් බව දේශපාලන පුනරුදයක් අපේක්ෂා කරන අයගේ විවේචනය වී තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ රනිල් මන්ත්‍රී තරගයද මඟහැර සිටින්නකු බවය. ඔහු රටට කියන්නේත් තමන් දිගු කලක් ඒ දේශපාලනයේ නියැලී සිටි බවත් එය ප්‍රමාණවත් බවත්ය. එහෙත් ඔහුගේ පාර්ශ්වයේ සමහරුන්ට අනුව මේ ආණ්ඩුව අසාර්ථකව රට යළි කඩා වැටුණෙත් පළපුරුදු හා කළ පුරුදු ඇති රනිල් යළි කැඳවීමට සිදුවන බවය. එහෙත් එය සත්‍යය යටපත් කර ජනතාව නොමග යැවීමට කරනු ලබන ප්‍රකාශයකැයි ඔහුගේ තරම දන්නා දේශපාලනඥයෝම පවසති. ඇත්ත වසයෙන්ම අද විපක්ෂයේ ප්‍රබලව විවේචකයා ඔහුය. ඔහු පවසන පළපුරුදු කණ්ඩායම මෙරටේ ජනතාවගේ ප්‍රසාදයට ලක් වූවෝද? පසුගිය ජනාධිපතිවරණයේදී රනිල්ට හිමි වූයේ ද තුන්වන ස්ථානයයි. එහි තේරුම ඔහුට තිබෙන ජනප්‍රසාදයේ ප්‍රමාණය පිරිහී ඇති බව නොවේද?

පසුගිය දිනක ඔහු ප්‍රකාශ කළේ මෙම ඡන්දයේදී පාර්ලිමේන්තුවේ බලය ඉල්ලන සජිත් ප්‍රේමදාසගේ බලවේගය වැඩකට නැති එකක් බවත්, කාඩ්බෝඩ් අනුර දිසානායකගේ බලවේගයත් වැඩක් නැති බවත්ය. සිය අදහස උපමාවකින් ද හැඩ කරන ඔහු පවසන්නේ නිසි පුහුණුවක් නැතිව KDU බසය එළවූ රියදුරා එයින් මහා විනාශයක් කළ ආකාරයටම පුරුදු නැති අයට පාර්ලිමේන්තුවේ බලය දීමෙන්ද මහා විනාශයක් වන බවය.

ඔහු පවසන මේ KDU බසය යනු පසුගියදා ආරක්ෂක විශ්වවිද්‍යාල සිසු සිසුවියන් අනතුරකට පත් කළ පෞද්ගලික බස් රථයයි.

රනිල් වික්‍රමසිංහට තබා ඔහුගේ දේශපාලන ගුරුවරයා ද වූ ජේ. ආර්. ජයවර්ධනටවත් මෙරටේ සමාජ – ආර්ථික – දේශපාලන ප්‍රබෝධයක් ඇති කළ නොහැකි විය. ඒ යුගයේ සිට මේ දක්වා සිටි රනිල්ගේ සමත්කම් ගැන ද අටුවා ටිකා අවශ්‍ය නැත. රාජපක්ෂලා රටේ ආර්ථික කඩා වැටීමට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළ දෙයකි. එනිසා නිසි සැලසුම් නැති, ගැඹුරු ආර්ථික – දේශපාලන දැක්මක් නැති පාලකයන් මේ රටට කළ විනාශය ජනතාව ද දනිති. “පැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත – ගොරතර මහා දුකටත් වැඩියෙන් විපත” කැයි සුභාෂිතයක් ද ඇත. එනිසා ඒ සියලු සමාජ දේශපාලන පීඩාවලින් විපතට පත් ජනතාව අද ඉල්ලන වෙනස රනිල් ද අයත් දේශපාලන බමුණු කුලයට ලබාදිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ රට දේශපාලන ගොහොරුවක් බවට පත් කිරීමේ වගකීම, අල්ලස, දූෂණය, වංචාව, අක්‍රමිකතාව රට වෙළා ගත් ව්‍යසනයක් බවට පත්වීම ඇතුළු සදාචාර විරෝධී දේශපාලන මුග්ධ ක්‍රියාවල විපාක ඒ ඒ යුගවල නායකයෝ බෙදා ගත යුතු දේවල්ය. වරප්‍රසාද, ප්‍රතිලාභ විඳිමින් ජනතාව පීඩාවට පත් කළ අයගේ වතගොත දූෂිත මෙහෙයුම් ද රටම දන්නා දේවල්ය. පවුල්වාද, ඥාති සංග්‍රහ, නීතිය අයාලේ යෑම ඒ පාලන යුගවල සාමාන්‍ය කරුණුය. මේ ආණ්ඩුව මාසයක් හා සති තුනකටත් අඩු කාලය තුළ කළ සාධනීය දේවල් මෙන්ම අඩුපාඩු ද තිබේ. වේදිකාවල පැවසූ දේවල් කළ නොහැකිවූ බවද සැබෑය. හාල් අර්බුදය විසඳී නැත. තෙල්, විදුලි බිල අඩු කළ නොහැකි විය. ඇතැම් පත්කිරීම් මෙන්ම ජාජබයේ සමහරුන්ගේ ප්‍රකාශද ප්‍රශ්නකාරී බවද ඇත්තය. හාල් මෝල් ආධිපත්‍ය එහි මිල පාලනය අතට ගෙන තිබේ. පාස්පෝට් අවුල ද පසුගිය ආණ්ඩුවෙන් ඉතිරි කර ගිය ගිනි බෝම්බයකි. ඒ අස්සේ ජාජබයේම ඇතැම් අයගේ ගොන් පාට් ද තිබේ. කටවල්වලට බ්‍රේක් නැති වාචාල කතා කියන අය හැම පක්ෂයකම සිටිති. ඒවා පාලනය කිරීම ද ප්‍රශ්නයකි. දේශපාලන විසිල් හා බල්ටි වුවමනා ජනකොටස් ද සිටිති. එහෙත් ඒ සියල්ල අද නිෂ්ක්‍රීය දේවල් බවට පත්ව තිබේ.

බිඳ වැටුණු ප්‍රභූතන්ත්‍රය සහ ඓතිහාසික දේශපාලන උරගල!

ජනාධිපති අනුර දින කීපයකට පෙර පෞද්ගලික රූපවාහිනි නාළිකාවකදී තම අපේක්ෂා පිළිබඳවත් පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධයෙනුත් කළ විශ්ලේෂණ හරවත්ය. ගැඹුරුය. සිල්ලර දේශපාලන විවේචන ගිලීමට පුරුදු වී සිටින සමාජයක් වෙනස් කළ යුත්තේ කෙසේදැයි ජනාධිපති අනුර පැහැදිලි කළ ආකාරය අපිදු බලා සිටියෙමු. එක් දෙයක් පමණක් උපුටා දක්වමු. ඒ හාල් මිල ගැනය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය ඇතුළු අදාළ ආයතන පද්ධතිය බිඳ වැටී තිබෙන අයුරුත් හිටපු ඇමතිලාගේ අමන වැඩත් මේ සියල්ලට හේතු වී තිබෙන බව ජනාධිපති අනුර සාක්ෂි ඇතිව පෙන්වා දුන්නේය. රාජ්‍ය බැංකුවලින් ගත් ණය, ගොවියන් සරණාගතයන් බවට පත් කළ නිලධාරීන් මෙන්ම හාල් මෝල්ලුන්ගේ මකර රාජ්‍ය ගැන ද ජනාධිපතිවරයා විග්‍රහ කළේ ඒ සියල්ල අවසානයට පැමිණ තිබෙන බව සහතික කරමින්ය. පාස්පෝට් අර්බුදය ද ගසා කෑම් මෙහෙයුමක විපාකයකි. එයත් අවසන් බව කීවේය. හොඳයි අපි බලමු.

මේ සියල්ල වෙනස් විය යුතුය. රේගුවේ කෝටි ගණනක වංචාව කළ අයට තිස් පස්වසරක හිර දඬුවමක් හා කෝටි ගණනක දඩයක් ද වෙන වෙනම චූදිත නිලධාරීන්ට ලබාදී ඇත. මවකගෙන් අල්ලසක් ගත් රාජ්‍ය ඇමැතිවරයෙක් හිරේය. විවාදාත්මක පාස්කු නඩුවක තීන්දුව අවලංගු කර තිබේ. සැප රිය ජාවාරම් කළ දේශපාලන බලවතුන් දෙදෙනෙක් නීතිය ඉදිරියට පමුණුවා සිටිති. මේවා රටේ නීතිය, ගමන් මග පිළිබඳ අර්ථවත් සංඥාවක් බඳුය. දේශපාලන ප්‍රමිතිකරණය, වරප්‍රසාද, ප්‍රතිලාභ අහෝසි කිරීම, ජනතා සම්පත් අවභාවිතය වැළැක්වීම දේශපාලන ප්‍රතිවාදීන්ට රිදවන දේවල් නොවේ. විශ්‍රාමික ජනාධිපතිවරුන් රැකීමට මිලියන 1100ක මුදලක් වසරකට අවශ්‍ය බවද කියති. මෙය පොලිස් රෝහලට වෙන් කරන මුදලට ද වඩා වැඩි වූවකි. මේවා වෙනස් වියයුතු නැද්ද? අද මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් දේශපාලන සරණාගතයන් බවට පත් කරමින් ඔවුන් වෙනුවෙන් නැගෙන අඳෝනා ද ඇසෙයි. ඔවුන්ගේ අභිමානයට ද කැළලකි. ඒ හැම දෙයක්ම විධිමත්ව වෙනස් කළ යුතු කාලය එළඹ තිබේ.

ජනාධිපති අනුර පවසන පරිදි දේශපාලනය මහජන සේවාවක් බවට පත් කළ හැකි නම් කොතරම් විශිෂ්ටද? ගම්වල දහස් ගණන් දුගී ජනතාවගේ ජීවිත වෙනස් කළ හැකි නම් ඒ තරම් උතුම් පින්කමක් මේ මිහිමත තිබේද? නිසි රිසි ඔසු නැතිව රෝහල්වල හූල්ලන අසරණ රෝගීන් ගසා කන එකාට, ඇමැතියා ද නිලධාරියා ද, වෙනත් කිසිවෙක් ද යන නිල බල නොතකා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි නම් කුමට එරට අධිකරණයැයි ලිවීම වැරදිද? තවමත් මෙරටේ රාජ්‍ය ආයතන පරිහානියට ලක්ව තිබෙන බව ජනතාව ද කියති. පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ගැනීම කෙබඳු දැයි ඒවාට ආගිය පුරවැසියෝ දනිති. ඉතා මෑතකදී ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසියම් නිෂ්පාදන සහතිකයක් ලබා ගැනීමට ගිය සුළු ව්‍යවසායකයෙක් පැවසූ කතාවකින් මම මවිතයට පත්වීමි. මේ අමන නිල – බල – තවමත් ජනතාවට ඔජ වඩවන අයුරු මතු දිනයක සවිස්තරව දැක්විය යුත්තකි.

කෙසේ හෝ ජනාධිපති අනුර පවසන පතිරූප දේශයක්, සත් පුරුෂ සමාජයක්, සංවේදී ජනතාවක් අද රටට අවශ්‍යව තිබේ. එහි පළමු සාධනීය පියවර රට හදන තැන පිරිපහදු කිරීමයි. ඒ සඳහා එළඹෙන මහ මැතිවරණය යොදා ගත යුතු බව ජනාධිපතිවරයාගේ යෝජනාවය. එය මහා ශ්‍රමදානයක් – පවිත්‍රීකරණයක් ලෙස හැඳින්වීම ද අර්ථවත්ය. ගුණාත්මක, වෙනසක් රටට වුවමනා බව ජනාධිපතිවරයා පවසයි. වාචාල කතා, කාන්තා ගෞරවය කෙලෙසන මුග්ධයන්ගේ අශිෂ්ට වාග් සරඹ පමණක් නොව ගුටි කෙළි – මිරිස් කුඩු – අවිගත් නරුමයන්ගේ හැසිරීම ද ආදී බොහෝ දේ පාර්ලිමේන්තුවට ද ගලා ගිය යුගයක් තිබුණි. ඒවාට කප් ගැසූ පුරුදු පුහුණු ඇති අය ද හිඟ නොවෙති. එහෙත් ඒ ශාපයෙන් මිදුණු අලුතින් සිතන අලුතින් කියවන ශිෂ්ටයන්ගෙන් ඒ ආයතන පිරවිය යුතු කාලය එළඹ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment